ගිරාඳුරුකෝට්ටේ සතිපොළ ඩෙංගු බෝකරන තිප්පොළක්

ගිරාඳුරුකෝට්ටේ සතිපොළ ඩෙංගු බෝකරන තිප්පොළක්

කැළිකසළ ඉවත්කරන්න සිටින සේවක පිරිස ප්‍රමාණවත් නෑ

ගිරාදුරුකෝට්ටේ සතිපොළේ සභ නගරයේ කැළිකසළ සතිපොළ භූමියේ ගොඩගසා ඇත. එහි ඩෙංගු මදුරුවන් බෝවේ. මේ පිළිබඳව මහජන සෞඛ්‍ය බලධාරින් මුනිවත රකින බවට නගරවාසීහු චෝදනා කරති.

සෞඛ්‍ය බලධාරින් ගිරාදුරුකෝට්ටේ සතිපොළ භූමියේ, නගරයේ සහ රෝහලේ කැළි කසළ මෙන්ම කුණු කාණු සුද්ධ පවිත්‍ර කිරීමට පියවර නොගෙන සෞඛ්‍ය සේවකයින් ගම්මානවලට යවා ඉටිරෙදි සෙවිළි කළ ගැමියන්ගේ පැල්පත් කඩා දැමීමට පෙළඹී සිටින බව ප්‍රදේශවාසීහු කියති.

මහියංගන ප්‍රාදේශීය සභාවෙන් ගිරාදුරුකෝට්ටේ නගරයේ, සතිපොළේ සහ රාජ්‍ය ආයතනවල කැළිකසළ සුද්ධ පවිත්‍ර කිරීමට කම්කරුවන් තිදෙනකු යොදවා ඇත. නමුත් අවශ්‍ය පහසුකම් ලබා දී නොමැති බවට කසළ කම්කරුවෝ මැසිවිලි නගති. ඔවුන්ට කොසු , ඉදල්, කූඩා ආදිය මාස හයකින් ලැබී නොමැත. සතිපොළ භූමියේ කුණු ඉවත්කිරීමට ටැක්ටරයද ලබා දී නැත. කුණු පල් වී මැසි මදුරුවන් බෝවී දුගඳ හමන බවත් මේ නිසා නගරවාසීන්ගේ බැණුම්වලට මුහුණ පා තමන් දැඩි අපහසුතාවයට පත්ව සිටින බවද එම කම්කරුවෝ වැඩිදුරටත් පැවසූහ.

කම්කරුවන්ගේ චෝදනා ප්‍රතික්ෂේප කළ මහියංගන ප්‍රාදේශීය සභාවේ සභාපති ඩබ්.ඇම්.සුනිල් මහතා කියා සිටියේ කම්කරුවන්ගේ වැඩ පිළිබඳ සොයා බැලීමට නිලධාරියකු නොමැතිකමින් කම්කරුවන් හරියාකාරව වැඩ නොකිරීම මේ තත්ත්වයට හේතු වී ඇති බවයි. නගරයේ පවිත්‍ර කටයුතු කඩිනම් කිරීමට පියවර ගන්නා බවද ඔහු කීවේ ය.

ගිරාදුරුකෝට්ටේ මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ප්‍රේමවර්ධන මහතා මෙසේ පැවසීය. ගම්වලට නිලධාරින් යවා ගම්වාසින් දැනුවත් කර මදුරුවන් බෝවීම වැළැක්වීමට කටයුතු කරනවා. දැනුවත් කිරීම පිළිනොගන්නා අයට නඩු පවරනවා.

කෙසේ වෙතත් ගිරාදුරුකෝට්ටේ නගරයේ පමණක් නොව රෝහලේද කුණු කාණු ද අපවිත්‍රය.

මේවා සොයන්නට සෞඛ්‍ය බලධාරින් නොමැති බව ප්‍රදේශවාසීහු පෙන්වා දෙති.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා