එෆ්.ඒ.කුසලාන පාපන්දු අවසන් වටයේදී ත්‍රිවිධ හමුදාව හා පොලීසිය ඉදිරියට

එෆ්.ඒ.කුසලාන පාපන්දු අවසන් වටයේදී ත්‍රිවිධ හමුදාව හා පොලීසිය ඉදිරියට

එෆ්.ඒ.කුසලාන පාපන්දු තරගාවලියේ පෙර අවසන් පූර්ව වටයේ ඊයේ පැවැති තරග වලදී නිව්යංග්ස්,රත්නම්,නාවික හා දොන් බොස්කෝ කණ්ඩායම් ජයග්‍රහණ වාර්තා කර අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබ ගත්හ.එම කණ්ඩායම් හතර පෙරේදා පැවැති තරග වලදී ජයග්‍රහන ලබා ගත් යුද හමුදාව,ගුවන් හමුදාව,පොලිස් හා රිනවුන් සමග ලබන සති අන්තයේදී අර්ධ අවසන් පූර්ව වටයේදී තරග කරනු ඇත.

මේ තරගාවලියට සහභාගීවූ ත්‍රිවිධ හමුදාවේ හා පොලිසියේ පාපන්දු කණ්ඩායම් ඉතා දක්ෂ ලෙස තරග කරමින් ජයග්‍රහණ ලබා ගැනීම මෙහිදී කැපී පෙනෙන සිදුවීමකි.

කලුතර වර්නන් ප්‍රනාන්දු පිටියේ පැවැති කලුතර පාක් - නාවික හමුදාව අතර තරගයෙන් නාවික හමුදාවට ගෝල් 3-0ක පහසු ජයක් අත් විය.පළමු භාගයේදී චතුර සංජීව නාවික හමුදාවට ගෝලයක් එක් කළ අතර ‍දෙවැනි භාගය ආරම්භයේදීම නාලක රොෂාන් තවත් ගෝලයක් ලබා දුනි.ප්‍රසාද් අතුකෝරළ හා මලිත් මිගාර නාවික හමුදාව වෙනුවෙන් ගෝල් ලබා ජයග්‍රහණය පහසු කළහ.

නාරාහේන්පිට ශාලිකා පිටියේ ඊයේ පැවැති ශ්‍රී ලංගම - නිව්යංග්ස් තරගයේ ජය ගෝල් 3-1ක් ලෙස වෙන්නප්පුව නිව්යංග්ස් පිලට ජය හිමි විය.පලමු භාගය නිමාවෙද්දී දෙපිලම ගෝල් 1-1ක් ලෙස සිටි අතර දෙවැනි භාගයේදී ආක්‍රමණශීලී තරග රටාවක් අනුගමනය කළ නිව්යන්ග්ස් ක්‍රීඩකයෝ තවත් ගෝල් දෙකක් වාර්තා කළහ.

මාතර උයන්වත්ත ක්‍රීඩා පිටියේ පැවැති මාතර සිටි හා රත්නම් අතර තරගයෙන් රත්නම් පිලට ගෝල් 4-0ක පහසු ජයක් හිමි විය.පළමු භාගය නිමා වෙද්දී ගෝල් 3-0ක් ලෙස රත්නම් ඉදිරියෙන් සිටියේය.දෙවැනි භාගයේදී රත්නම් පිලට තවත් ගෝලයක් හිමි විය

දොන් බොස්කෝ - ජාවාලේන් අතර මීගමුවේදී පැවැති තරගයෙන් දොන් බොස්කෝ පිලට ගෝල් 2-0ක ජයක් හිමි විය.

තරග විනිසුරුට කාන්තා විරෝධයක්

එෆ්.ඒ.කුසලාන පාපන්දු පෙර අවසන් පූර්ව වටයේ පැවැති පෙලිකන්ස් හා යුද හමුදාව අතර තරගයේ විනිසුරුට නරඹන්නන්ගේ ප්‍රබල විරෝධය හේතුවෙන් පොලිස් රැකවල් මැද පිටියෙන් ඉවත්වීමට සිදුවිය.මේ පාපන්දු තරගය නැරැඹීමට කාන්තාවන් විශාල පිරිසක් පැමිණ සිටි අතර ඔවුන්ගේද විරෝධය විනිසුරුට එරෙහිව එල්ලවීම කැපී පෙනුණි.

පෙලිකන්ස් පිලට ලැබිය යුතු දඩුවම් පහරක් ලබා නොදීම හේතුවෙන් උරණවූ ප්‍රේක්ෂකයෝ ක්‍රීඩා පිටිය මැදට කඩා වැදී විනිසුරුට පහර දීමට උත්සහ කළ අතර පොලිසියේ හා හමුදාවේ නිලධාරීහූ එය වලක්වා ලූහ.

කැලණිය පාපන්දු පිටියේ පැවැති මේ තරගයේදී පෙලිකන්ස් පිල ගෝල් 1-0කින් පරාජය කිරීමට යුද හමුදාව සමත්වූ හෙයින් පෙලිකන්ස් තරගාවලියෙන් ඉවතට ගියහ.පෙල්කන්ස් පිල මේ තරගයේදී ආකර්ෂනීය ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කිරීම කැපී පෙනුණි.

මූලික වටයේදී ප්‍රබල සෝන්ඩර්ස් පිල පරාජය කළ පෙලිකන්ස් අනාගතයේදී පාපන්දු පිටියේ කැපී පෙනෙන කණ්ඩායමක් වනු ඇතැයි විචාරක මතය වේ.

මේ අතර ගුවන් හමුදාව හා බ්ලූස්ටාර් අතර කලුතර වර්නන් ප්‍රනාන්දු පිටියේ පැවැති තරගයෙන් දඩුවම් පහර 4-2ක් ලෙස ගුවන් හමුදාව ජය හිමි කර ගත්තේය.

තරගයේ නියමිත කාලයේදී ගෝල 1-1ක් ලෙස සම තත්වයක පැවැතුණි.

පොලිස් පිටියේ පැවැති පොලිස්-ඕල්ඩ් බෙන්ස් අතර තරගයෙන් පොලිසියට ගෝල් 2-0ක ජයක් හිමිවීම හේතුවෙන් සිටි ලීග් පිටියේ පැවැති රිනවුන්-ඕල්ඩ් බෙන්ස් අතර තරගයේ පළමු භාගයේදී ගෝල් 1-1ක් ලෙස සමවූ අතර තරගය අවසානයෙදී ගෝල් 3-1ක ජයක් රිනවුන් හිමි කර ගත්තේය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා