සැප්තැම්බර් 08ට පෙර....

සැප්තැම්බර් 08ට පෙර....

නූතන දේශපාලනය තුළ ඉතා ලාබදායී වචනය ප්‍රජාතන්ත්‍රවාදය යි. අන්ත දක්ෂිණාංශික ඒකාධිපතියෝද ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරති. අන්ත වාමාංශික විප්ලවවාදීහුද ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරති. ඒ වෙනුවෙන් පෙනී සිටිති. ඉරාකයේ හිටපු ජනාධිපති සදාම් හුසේන් මහතාද ප්‍රජාතන්ත්‍රවාදයක් ගැන කතා කළේ ය. ඉරාකය ආක්‍රමණය කොට ඒ රට විනාශ කළ ජෝර්ජ් බුෂ් ද ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කළේ ය. මේ සියලු දෙනාගේ පොදු ලක්ෂණය නම්; මැතිවරණවලට හෙවත් ඡන්දවලට බිය වීම ය.

එහෙත් ශ්‍රී ලංකාවේ වත්මන් ආණ්ඩුව මැතිවරණවලට බය නැත. එක්සත් ජාතික පක්ෂය මුලින් කියා සිටියේ මේ මොහොතේ මැතිවරණ අවශ්‍ය නැත කියා ය. ජනතා විමුක්ති පෙරමුණෙහි අදහස ද එය ම විය. ආණ්ඩුව දිගට - හරහට විවේචනය කරමින් ජනතාව වෙනුවෙන් පෙනී සිටින්නේ යැයි කියන දේශපාලන පක්ෂ මැතිවරණවලට බය වීම එක අතකින් පුදුමයකි. ආණ්ඩුවට රතු සිග්නල් එක් දීමට අවශ්‍ය නම් ; විපක්ෂයට ඒ සඳහා කාලය පැමිණ තිබේ.

1931 සිට මේ දක්වා මහා මැතිවරණ 16ක් ද, ජනාධිපතිවරණ 06ක් ද, පළාත් සභා හා පළාත් පාලන මැතිවරණ රාශියක් ද පවත්වා මහජන නියෝජිතයන් පත්කරගෙන තිබේ. එය ප්‍රජාතන්ත්‍රවාදයේ ඉහළ ම ලක්ෂණයකි. ශශ්‍රී ලංකාව තුළ පවත්නා මේ දේශපාලන ස්වභාවය මිනිසාගේ පාලන තන්ත්‍රයේ විශිෂ්ටත්වය සංකේතවත් කරයි. ඉස්ලාම් රටවල් රැසක පැවැති ඒකාධිපති පාලන ව්‍යූහය මේ වනවිට අර්බුදයට ලක් ව තිබේ. එම රටවල ජනතාව මැතිවරණ ඉල්ලා පාරට බැස පාලනාධිකාරයට අභියෝග එල්ල කරති. මැතිවරණ යනු ජනතාවගේ අවශ්‍යතාවකි. පාලකයා ඊට කන්දිය යුතුය.

දැන් තවත් පළාත් සභා මැතිවරණයක් අත ළඟට පැමිණ තිබේ. පළාත් සභා යනු ඉන්දියාවේ මැදිහත් වීම මත අපගේ පාලන ව්‍යූහයට ඇතුළත් වූ නව දේශපාලන උපාය මාර්ගයකි. එහි එක් අර්ථයක් වූයේ ජනවාර්ගික අර්බුදයට විසැඳුම් සැපයීම ය. ප්‍රාදේශීය පාලනය එම පළාත්වල නියෝජිතයන් වෙත ම බාර කිරීම එහි තවත් අර්ථයකි. කුමක් වුව මේ ක්‍රමය දැන් යථාර්ථයකි. අප ඊට මුහුණ දිය යුතුය. පළාත් සභාව සුදු අලියෙකු’යි කියූව ද; එය විවේචනය කළ ද යථාර්ථයට මුහුණ දිය යුතු ය. එම මැතිවරණ පැවැත්විය යුතු ය.

මේ මැතිවරණයේ දී ආණ්ඩු පක්ෂය හෙවත් සන්ධානය ගනු ලැබූ වැදගත් දේශපාලන තීන්දුවක් තිබේ. එනම්; දූෂිත පුද්ගලයන් සිය දේශපාලන කණ්ඩායමෙන් ඉවත් කිරීම ය. ප්‍රාදේශීය දේශපාලන නායකයන් විවිධ වූ දූෂිත ක්‍රියාවලට හා වංචාවලට සම්බන්ධ බවට ප්‍රබල චෝදනාවක් එල්ල වී තිබේ. ස්ත්‍රී - දූෂණ , ළමා අපචාර, මිනීමැරීම් හා මත්ද්‍රව්‍ය වෙළෙඳාමට ප්‍රාදේශීය දේශපාලන නායකයන් සම්බන්ධ යැයි චෝදනා එල්ල වී ඇති අතර කිහිප දෙනකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. තවත් අය සඳහා නඩු විභාග පැවැත්වේ. මේ තත්ත්වය ඉතා නරක ය. එය නිවැරැදි කළ හැක්කේ ද දේශපාලනයට පමණි.

දේශපාලන බලය බොහෝ සාධකවලට වඩා ඉහළින් පවතින බව අප දන්නා සත්‍යයෙකි. එම බලය මත දූෂිතකම් කිරීමටත්, එම වරදට ලැබෙන දඬුවමෙන් මගහැර සිටීමටත් හැකියාවක් ලැබේ. පුද්ගලයන්ගේ සැබෑ තත්ත්වය කිරා මැන බලා දේශපාලන අවස්ථාවන් ලබා දීමේ ක්‍රමයක් අපට තිබුණේ නැත. ඇතැම් විට දේශපාලනයට සුදුස්සකු වූයේ පවුල් පදනම මත ය. තවත් විටෙක උගත්කම හා අත්දැකීම අනුව ය. පුද්ගලයාගේ චරිත සහතිකය සැලැකිල්ලට ගත්තේ අන්තිමට ය. දැන් එය පළමු තැනට පත් ව තිබේ.

සමහන් කළ නොහැකි ගැටලු රාශියක් අපේ සමාජය තුළ පවතී. ඇතැම් ගැටලු දේශපාලනයෙන් විසැඳිය නො හැකි ය. ආර්ථිකයෙන් විසැඳිය නො හැකිය. ඒවා මිනිස් සමාජයේ පිහිටවිය යුතු උසස් චින්තනයෙන් පමණක් විසඳා ගත යුතු වේ. නිදසුනක් කිවහොත් ප්‍රචණ්ඩත්වය ගලා එන්නේ මිනිස් ස්වභාවයකින් ය. ඊට විසැඳුම් දේශපාලනයේ නැත. ආර්ථිකයේ නැත. එහෙත් මැතිවරණයත් සමඟ ප්‍රචණ්ඩත්වය හිස ඔසවන්නට පුළුවන. ආණ්ඩුව සාධාරණ හා යුක්ති සහගත මැතිවරණයක් පැවැත්වීම සඳහා ප්‍රතිඥා දී ඇත. සෙසු පක්ෂ ද ඒ ක්‍රමය අනුගමනය කරන්නේ නම් යහපත් ය.

පළාත් සභාවලට මුලින්ම විරුද්ධ වූයේ ජනතා විමුක්ති පෙරමුණ ය. පළාත් සභා මැතිවරණයේ දී මුලින්ම ඡන්දය පාවිච්චි කරන තැනැත්තා මරා දමන බවට ඔව්හු එදා තර්ජනය කළහ. එහෙත් ජනතා විමුක්ති පෙරමුණ අද පළාත් සභා සඳහා තරග කරයි. කැබලි නොවූ රටක වාර්ගික සමගිය සඳහා හොඳම ඖෂධය පළාත් සභාව බව පිළිගන්නට අද ඔවුනට සිදු වී තිබේ. ඔවුන් ජනතාව සමඟ සිටින්නේ නම් මේ මැතිවරණයෙන් විශාල ප්‍රගතියක් අත්පත් කරගත යුතු ය.

රට හදන තැන පාර්ලිමේන්තුව යැයි කතාවක් තිබේ. රටට අවශ්‍ය පනත් සම්මත කර ගන්නේ එහි දී ය. එසේ නම්; පළාත හදන්නේ පළාත් සභාව ය. පළාතක් සංවර්ධනය කිරීමට අවශ්‍ය ප්‍රතිපත්ති හා තීන්දු එහි දී ගනු ලැබේ. ගැටලුව ඇත්තේ එම ප්‍රතිපත්ති යෝජනා කිරීම සඳහා ද, තීන්දු ගැනීම සඳහා ද සුදුසු ම පුද්ගලයන් තෝරා පත්කර ගැනීම ය. උතුරු මැද පළාත රටේ කෘෂිකර්මයේ ප්‍රධාන ක්ෂේම භූමිය යි. සබරගමුව යනු මැණික් ආදී වටිනා සම්පත් ද, රබර් ආදී වෙළෙඳ වගාවන් ද පවතින පළාත යි. නැඟෙනහිර යනු අර්ථ ගණනාවකින් සමන්විත පළාතකි. එහි මැතිවරණයක් පැවැත්වීම ගැන ලෝක ප්‍රජාවගේ ප්‍රසාදය ද හිමි වනු ඇත.

නැඟෙනහිර පළාත ව්‍යසන කිහිපයකට ද මුහුණ දුන් ප්‍රදේශයකි. වසර තිහක් පැවැති ත්‍රස්තවාදය එක් ව්‍යසනයකි. සුනාමිය තවත් ඛේදවාචකයකි. එහෙත් ත්‍රස්තවාදයේ නිමාවත් සමඟ මේ කලාපය ශීඝ්‍ර සංවර්ධනයකට යොමු වී තිබේ. එහි ධීවර කර්මාන්තය හා සංචාරක කර්මාන්තය වේගවත් දියුණුවක් අත්පත් කරගෙන තිබේ. ගොඩනැගිලි ඉදිකිරීම හා මාර්ග සංවර්ධනය ද වේගවත් ය. අධ්‍යාපනය, කෘෂිකර්මය ආදී ක්ෂේත්‍රවල ද කැපී පෙනෙන දියුණුවක් තිබේ. එම පළාතේ මැතිවරණයක් පැවැත්වීම සඳහා හොඳම කාලය පැමිණ තිබේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා