ජාත්‍යන්තරය හිතන කොට අපි කරල ඉවරයි
ජාත්‍යන්තරය හිතන කොට අපි කරල ඉවරයි
පියංකර ජයරත්න
සිවිල් ගුවන්සේවා ඇමැති
සිවිල් ගුවන්සේවා
ක්‍ෂේත්‍රයට 2012 වසර සුවිශේෂී වසරක්. ඒ ප්‍රථම ගුවන්යානය ගුවන්ගත කර සියවසක්
සැමරීම නිමිති කොට ගෙනයි. එ පිළිබඳත් නිල් ගුවන ජයගනිමින් ගුවන්සේවා ක්‍ෂේත්‍රය
මෙහෙයවන ආකාරය පිළිබඳත් සිවිල් ගුවන්සේවා අමාත්‍ය පියංකර ජයරත්න මහතා දිනමිණ සමඟ කළ
සංවාදයකි මේ.
* 2012 වසරේදී සිවිල් ගුවන් සේවාව සිය ශත සංවත්සරය සමරනවා. ඒ පිළිබඳ
සඳහනක් කළොත්?
1911 සැප්තැම්බර් මස 11 වෙනිදා තමයි ශ්‍රී ලංකාවට ප්‍රථම ගුවන්යානය ගෙන ආවේ.
ඒත් 1911 දෙසැම්බර් මාසයේදී තමයි මෙම ගුවන් යානය ප්‍රථම වරට ගුවන් ගත කර
තිබෙන්නේ. ඒ නිසා සිවිල් ගුවන් සේවාවේ ශත සංවත්සරය මේ වසරේ සමරනවා.
මේ මොහොත වන විට ලෝකයේ ගුවන්සේවා කර්මාන්තය විශාල ලෙස දියුණුවට පත් වී
තිබෙනවා. අපි අභියෝගවලට මුහුණ දෙමින් 30 වසරක් පුරා පැවති යුද්ධය නිමා කළ
රටක් ලෙස අපේ ගුවන්සේවා කටයුතු සංවර්ධනය කරමින් පවතිනවා.
නිල් ගුවන ජය ගැනීම මහින්ද චින්තනයේ එක් අරමුණක්. ශ්‍රී ලංකාව ආසියාවේ ගුවන්
කේන්ද්‍රස්ථානයක් බවට පත් කරලීමට කටයුතු සැළසුම් සකස් කොට තිබෙනවා.
අන්තර්ජාතික සිවිල් ගුවන් සේවා සංවිධානයේ වාර්තාවලට අනුව ලෝකයේ සිවිල් ගුවන්
ක්‍ෂේත්‍රය තුළ ඇතිවන ශීඝ්‍ර වර්ධනයත් සමඟ ඉදිරි වසර 20 තුළ ගුවන් සමාගම්වලට
සිය පිය සැරියන් සඳහා නව ගුවන්යානා 25000 ක් පමණ යෙදවීමට සිදුවන බවට නිගමනය
කර තිබෙනවා.
මෙම ගුවන්යානා නඩත්තු කිරීමට ගුවන් යානා තාත්ෂණික ශිල්පීන් 480000
ක් පමණද ගුවන් නියමුවන් 35000 ක් පමණද අවශ්‍ය වෙනවා. මෙම ගුවන්සේවා ඉල්ලුමට
පහසුකම් සැපයීමට හැකි නම් විදේශ විනිමය විශාල ප්‍රමාණයක් අපට ඉපයිය හැකියි.
ගෘහ සේවිකාවන් 30 දෙනෙකුගෙන් ලැබෙන විදේශ විනිමය එක් ගුවන් නියමුවකු බිහි
කිරීමෙන් ලබාගත හැකියි.
මේ තුළින් අපේ රටට ඉමහත් කීර්තියක් ගෞරවයක් ලබාගත හැකියි. ලොව ප්‍රථම
ගුවන්යානය නිපදවා එය පියාසර කරවා ඇත්තේ රාවණා රජු බව ඉතිහාසය කියා පානවා.
* සිවිල් ගුවන්සේවා අමාත්‍යවරයා ලෙස ඔබ වෙත පැවරී ඇති වගකීම් මොනවාද ?
මහින්ද චින්තන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරමින් ශ්‍රී ලංකාව ආශ්චර්යමත් රටක්
බවට පත්කරලීමට සංවර්ධන ව්‍යාපෘතීන් රැසක් ක්‍රියාත්මක කෙරනවා.
මෙහිදී ගුවන් ක්‍ෂේත්‍රයට පැවරී තිබෙන්නේ සුවිශාල වූ වගකීම් රැසක්. ගුවන්
තොටුපළ සුවිශේෂී ස්ථානයක් වන්නේ ඕනෑම අයකු රටින් පිටවන සහ රට තුළට ළඟාවන
ස්ථානය වන නිසයි. සියලුම අන්තර් ජාතික හුවමාරු සිදුවන ප්‍රධාන දොරටුව වන්නේද
ගුවන්තොටුපළයි.
මෙහිදී සිදුකරන සියලු ක්‍රියාවලින් කාර්යක්ෂමව සහ නිවැරදිව සිදුකිරීම
ගුවන්සේවා අමාත්‍යාංශයට පැවරී ඇති වගකීමයි. අපේ අමාත්‍යාංශය යටතේ පවතින
සියලුම ආයතන මේ පිළිබඳ දැඩි අවධානයකින් ක්‍රියාකරනවා. එමෙන්ම මෙම ආයතන
රැසකට රට ආර්ථික අතින් ඉහළට ගෙන ඒමේ අභියෝගයද පැවරී තිබෙනවා. ගුවන්තොටුපළ
හා ගුවන්සේවා සමාගම මත්තල නව අන්තර්ජාතික ගුවන්තොටුපළ ඉදිකරමින් පවතින අතර
එය මෙම වසර අවසානයේ ජනතා අයිතියට පත්කිරීමට නියමිතයි.
සහනදායී ණයක් ලෙස චීන රජයෙන් ලැබුණු ඇමරිකානු ඩොලර් බිලියන 190 ක මුදලක්ද
ගුවන්තොටුපළ හා ගුවන්සේවා සමාගම ඇමරිකානු ඩොලර් බිලියන 19 ක මුදලක් ද මේ
සඳහා යොදවා තිබෙනවා. චයිනා හාබර් ඉංජිනේරු සමාගම මෙහි ඉදිකිරීම් කටයුතු
සිදුකරනු ලබනවා. මත්තල අන්තර්ජාතික ගුවන්තොටුපළ පිළිබඳ විවිධ විවේචන
තිබෙනවා. ඒවා සද්භාවයෙන් සිදුකරන විවේචන නොවෙයි.
මේ වසර අවසානයේ මේ ගුවන්තොටුපළ ජාත්‍යන්තර කටයුතු සඳහා විවෘත කරනවා. රට
අභ්‍යන්තරයේ තවත් ගුවන්තොටුපළක් ඉදිකළාම අපගේ සංවර්ධන ක්‍රියාදාමයේ
සමතුලිත ස්වභාවයක් ඇති වෙනවා. ගුවන්තොටුපළක් ලෙස ඉදිවෙන මත්තල
ගුවන්තොටුපළ දියුණුවීමෙන් හම්බන්තොට විතරක් දියුණු වෙන්නේ නෑ. මුළු රටම
දියුණු වෙනවා.
මත්තල මහින්ද රාජපක්ෂ අන්තර්ජාතික ගුවන්තොටුපළ ධාවන පථයේ ඒ- 380 වැනි අති නවීන
ගුවන්යානා මෙහෙයුම් සිදුකිරීමටත් හැකිවේ. ගුවන්යානා ධාවන පථයේ වරකට ගුවන්
යානා 9 ත් 11 ත් අතර ප්‍රමාණයක් යොමු කළ හැකියි.
වසරකට ගුවන් මගීන් මිලියනයකට පමණ පහසුකම් සැපයීමට හැකි මෙම
ගුවන්තොටුපළ මෙට්‍රික් ටොන් 49000 ක ධාරිතාවයකින් යුත් ගුවන් භාණ්ඩ හුවමාරු
කළ හැකියි.
* දැනට පවතින කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපළ සංවර්ධනය කිරීම පිළිබඳ කතා
කළොත් ?
මේ වන විට එය සංවර්ධනය කිරීමේ කටයුතුවල දෙවන අදියර ආරම්භ කර තිබෙනවා.
මේ රටේ සාමය ස්ථාපිත වීමත් සමඟ මෙරටට පැමිණෙන සංචාරකයින්ගේ ප්‍රමාණය වැඩි
වුණා. මෙයට සමගාමීව කටුනායක ගුවන්තොටුපළේ මගී ධාරිතාවද වැඩි වුණා. මෙම
වැඩිවීම පසුගිය වසරට සාපේක්ෂව සියයට 20 ක ප්‍රමාණයක්.
කටුනායක ගුවන්තොටුපළේ මගීන් හැසිරවීමේ උපරිම ධාරිතාව වන වසරකට මිලියන 6
ක මගී සංඛ්‍යාවක් පසුගිය වසර තුළ හසුරවනු ලැබුවා. මෙම මගීන්ට අවශ්‍ය සියලු
පහසුකම් ලබාදීමටද අප ක්‍රියා කළා.
ගුවන්තොටුපළ තුළ නවීනතම අතරමැදි මගී හෝටලයක්, පිටත්වීමේ පර්යන්තයේ මගී
ධාරිතාවය වැඩි කිරීම සඳහා පවතින පර්යන්තයට තවත් කොටසක් එක්කර නවීකරණය
කිරීමටද ප්‍රභූන් සඳහා “සිල්ක් රූම්” නමින් නව පිටත්වීමේ පර්යන්තයක්ද අති නවීන
අංග සහිතව ඉදිකළා.
දෙවන අදියර වසර 2016 දී නිම කිරීමට නියමිත අතර දැනට හසුරුවන මගීන් මිලියන 6
වෙනුවට මගීන් මිලියන 12 ක් හැසිරවිය හැකි නව මගී පර්යන්තයක්ද ඉදිකිරීමට
නියමිතය.
මෙම නව පර්යන්තය තුළ පැමිණීමේ හා පිටත්වීමේ මගීන්ට වෙන් වෙන්ව
පහසුකම් සැලසිය හැකි ගුවන් මගී පාලම් 16 කින් යුත් පිටත්වීමේ ශාලා 8 කින් යුත්
මගී රැඳවුම් මණ්ඩපයක් ඉදිකෙරෙනවා.
ගුවන්තොටුපළේ ප්‍රධානතම ගැටලුවක් වන වාහන තදබදයට පිළියම් ලෙස ගුවන්
තොටුපළට පැමිණෙන ප්‍රධාන මාර්ගය හා ගුවන්තොටුපළ පිවිසුමද නවීකරණය කරනවා.
ඒ විතරක් නෙමෙයි ගුවන් යානා 9 ක් නැවැත්විය හැකි පරිදි ගගන යාත්‍රාංගණයක්ද
ඉදිකෙරෙනවා.
* ගුවන් සේවා ක්‍ෂේත්‍රය පිළිබඳ පාසල් සිසුන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ඔබ
අමාත්‍යාංශය මඟින් සිදුකෙරුණා. එහි අරමුණ කුමක්ද ?
දුෂ්කර ප්‍රදේශවල දරුවන්ට මෙම ක්‍ෂේත්‍රවල දොරවල් වැහිලා තියෙන්නේ. මෙම
ප්‍රදේශවල අති දක්ෂ දරුවන් සිටිනවා. දක්ෂ වුවත් මේ ක්‍ෂේත්‍රය පිළිබඳ නිසි
දැනුමක් ඔවුන්ට නෑ. ඒ නිසයි සිවිල් ගුවන්සේවා ක්‍ෂේත්‍රය ජනතාව දැනුවත් විය
යුතු ක්‍ෂේත්‍රයක් ලෙස මා හිතන්නේ. සිවිල් ගුවන්සේවා අධිකාරි පනතේම තිබෙනවා මේ
සම්බන්ධව විධිමත් දැනුමක් ලබාදිය යුතු බවට. සිවිල් ගුවන්සේවා
ප්‍රතිපත්තියක් බිහි කරන්න අපි මහන්සි වෙන්නේ මේ නිසයි. ගැමි ජනතාව සිවිල්
ගුවන් සේවාව කියන්නේ මොකක්ද කියාවත් දන්නේ නැහැ.
මහින්ද චින්තන ප්‍රතිපත්තිය වන්නේත් ගම හදා රට නඟමු කියායි. ජාත්‍යන්තර
ගුවන්තොටුපළක් ගමට ගෙනගොස් ගමේ දක්ෂ දරුවන්ට එහි රැකියා අවස්ථා
හිමිකරදීමයි අපේ අරමුණ. ඔවුන්ට අවශ්‍ය මාර්ගෝපදේශනය මෙම වැඩසටහන තුළින්
අප ලබා දෙනවා.
මෙම සංකල්පය පටන් ගත්තේ මෙයට වසර තුනකට පෙරදී. අපි මේ වන විට බොහෝ දුර ඇවිත්.
ඒත්
මේ මෑතකදී අන්තර්ජාතික සිවිල් ගුවන්සේවා සංවිධානය අන්තර්ජාලය තුළින් තරගයක්
ප්‍රකාශයට පත් කළා. දරුවන් සිවිල් ගුවන්සේවා ක්‍ෂේත්‍රයට සම්බන්ධ කර ගත හැකි
ආකාරයේ දැන්වීමක් නිපදවන ලෙසට. ජාත්‍යන්තර සිවිල් ගුවන්සේවා සංවිධානය
රටවල් 192 කින් සමන්විතයි. අපි එදා තේරුම් ගත් දේ මේ අය හිතන්නේ දැනුයි.
අන්තර්ජාතික සිවිල් ගුවන්සේවා සංවිධානය පැවැත් වූ මේ තරගයෙන් අපේ රටේ සිවිල්
ගුවන්සේවා අධිකාරියේම නිලධාරියකු ජයග්‍රහණය කළා. රටවල් 50 ක් එක්ක තරග
කරලයි එම නිලධාරියා ජයග්‍රහණය කළේ.
* පළාත් සභා මැතිවරණයක් ඉදිරියේ දී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. දැඩි
නියඟයකට මුහුණ දෙමින් බඩු මිල ඉහළගොස් ඇති අවධියක මෙම මැතිවරණය ඔබ
දකින්නේ කොහොමද ?
මේ රටේ ජීවත්වෙන්නේ ඉතාමත් බුද්ධිමත් ජනතාවක්. මේ බව අපිට හොඳින් අවබෝධ කරගත
හැකියි පසුගිය මැතිවරණ දෙස බැලුවාම.
මේ රටේ ජීවත්වන බහුතරයක් ජනතාව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ආදරෙයි.
හේතුව වන්නේ හිටපු පාලකවරුන්ට විසඳිය නොහැකි වූ ත්‍රස්තවාදි ප්‍රශ්නය එතුමා
විසඳපු නිසා. නිවැරදි නායකත්වයක් ලබා දී ත්‍රස්තවාදය මුලිනුපුටා දැම්මා
විතරක් නෙවෙයි අවි අතටගත් ත්‍රස්තවාදීන් ලෙස කටයුතු කළ බොහෝ දෙනෙක්
පුනරුත්ථාපනය කර සමාජගත කළා.
මේ අය අද සතුටින් ඉන්නවා. ඒ වගේමයි රටේ
සංවර්ධනයට විරාමයක් නොතබා යුද කාලයේ පටන්ම ඉදිරියට ගෙනාවා.
නියඟය කියන්නේ ජනාධිපතිතුමා හෝ රජය ඇති කළ දෙයක් නෙමෙයි. ස්වභාවධර්මය
හේතුවෙන් ඇතිවූවක්. ඊට මුහුණදීමට අවශ්‍ය පියවර රජය ගෙන තිබෙනවා. ඉන්දියාවේ
විදුලිබල නිෂ්පාදනය අප රට වඩා උස්තැනක තිබුණත් පැය 8 ක් 10 ක් විදුලිය
කපනවා. අපේ රටේ මේ වනතෙක් විදුලි කප්පාදුවක් සිදුකර නෑ.
උදැල්ල, කැත්ත අතට ගත්
ගොවි ජනතාව මේවා දන්නවා. නගරයේ වෙසෙන සුළුතරයක් ධනවාදී පිරිසට
ජනාධිපතිතුමා වටා සිටින ජනපවුර කඩන්නට බැහැ.
ජාත්‍යන්තරය කොතරම් උත්සහ කළත්. මේ රටේ ජනතා පවුර බලවත් බව ඔවුන් අද වටහාගෙන
තිබෙනවා. පළාත් සභා මැතිවරණය නෙමෙයි තවත් මැතිවරණ ගණනාවක් ආවොත්
ජනාධිපතිතුමා තවත් ශක්තිමත් වෙනවා. මරණ බියෙන් සිටි මේ රටේ ජනතාව නිදහසේ
හුස්ම ගන්න බව ඔවුන් කිසිදා අමතක කරන්නේ නෑ. සටහන
සුභාෂිනී සේනානායක
.
|