නැඟෙනහිරට තනිවම තරග කළත් රජය සමඟ සහයෝගයෙන් වැඩ කරනවා
නැඟෙනහිරට තනිවම තරග කළත්
රජය සමඟ සහයෝගයෙන් වැඩ කරනවා
- ඇමැති රාවුෆ් හකීම්
පණ්ඩුක සමරසේකර
එළැඹෙන පළාත් සභා මැතිවරණයේ දී නැඟෙනහිරට තනිවම තරග කළත් දිගින් දිගටම රජය
සමඟ සංධානගතව සහයෝගයෙන් කටයුතු කරන බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක
අධිකරණ ඇමැති රාවුෆ් හකීම් මහතා ඊයේ (20) කොළඹ දී පැවති නැඟෙනහිර පළාත් සභා
මැතිවරණයට මුස්ලිම් කොංග්‍රසය තනිව තරග කිරීමට ගත් තීරණය පිළිබඳව මාධ්‍ය
දැනුවත් කිරීමේ මාධ්‍ය සාකච්ඡාවේ දී පැවැසීය.
එම මාධ්‍ය සාකච්ඡාවේ දී තවදුරටත් අදහස් දැක්වූ රාවුෆ් හකීම් ඇමැතිවරයා
මෙසේද පැවසීය.
එක්සත් ජාතික පක්ෂයත් ද්‍රවිඩ ජාතික සංධානයත් අපට ඔවුන් සමඟ එක්ව නැඟෙනහිර
පළාත් සභාව සඳහා තරග කරන්න ඇරැයුම් කළා. අපි පැහැදිලිවම කීවා රජය සමඟ එක්ව තරග
කරන බව. අපේ දේශපාලන මණ්ඩලයේ අවම කොන්දේසි මත රජය සමඟ කටයුතු කරනවා.
එය පැහැදිලිවම තනතුරු තානාන්තර සඳහා බලය ලබාගෙන පාලනය භාර ගන්නා වූ
කොන්දේසි නොවන බව කිව යුතුයි.
රජය තුළ හෝ ඉන් පිටත සිට තරග කළත් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය තීරණාත්මක
බලවේගයක්.
ඒ නිසා විකල්ප මාර්ග දෙකක් ඔස්සේ තරග කිරීමට උත්තරීතර සභාව තීරණය
කළා. එක්කෝ රජය සමඟ එක්ව තරග කිරීම නැතිනම් පක්ෂයක් හැටියට තනිව තරග කිරීමයි.
මේ සඳහා අපි අවම කොන්දේසි රජයට ඉදිරිපත් කළා.
ඉතාම සාධාරණ කොන්දේසි පමණයි අප
ඉදිරිපත් කළේ. නමුත් රජය සමඟ එක්ව මේ මැතිවරණ සටන ගෙනයාමට බැරිවීම ගැන මම
කනගාටුවෙනවා. අපේ පක්ෂයේ අනන්‍යතාවත් රැකගත යුතුයි.
තනිවම තරග කරන්න තීරණය කළේ රජය සමඟ සුහද සාකච්ඡාවකින් පසුවයි.
ඒ පිළිබඳ මැති
ඇමැතිවරු ප්‍රකාශ නිකුත් කර තිබෙනවා. ඒවාට අප එකඟවෙනවා. අපේ පක්ෂය රජය සමඟ
ඇති විශ්වාසය කඩවීමේ කිසිදු කාර්යයක් කර නැහැ.
ඒ නිසා මේ තීරණය රජය සමඟ එක්ව කටයුතු කිරීමේ දී කිසිදු බාධාවක් කර ගන්නෙත් නැහැ.
නැඟෙනහිර පළාත් සභා මැතිවරණය සඳහා මඩකළපුව, අම්පාර, ත්‍රිකුණාමලය
දිස්ත්‍රික්කවලට හ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නාමයෝජනා 19දා භාර දුන්නා.
යම් පිරිසකට මේ තීරණය පිළිබඳව අප්‍රසාදයක් තිබෙන්න පුළුවන්. නමුත් උපරිම
උත්සාහය අපි දැරුවේ රජය සමඟ තරග කරන්නයි.
අපි පක්ෂයක් හැටියට තනිව තරග කළත්
ඕනෑම අවස්ථාවක රජය සමඟ සංධානගතව ඉදිරියටත් කටයුතු කරන්න මෛත්‍රිපාල
සිරිසේන, සුසිල් ප්‍රේමජයන්ත, ඩලස් අලහප්පෙරුම, බැසිල් රාජපක්ෂ යන
ඇමැතිවරු සමඟ එකඟ වුණා. ඒ එකඟතා කිසිදු ලෙසකින් පළුදු කරන්නේ නෑ.
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නියෝජ්‍ය නායක හාෆිස් නසීර් අහමඩ්, පාර්ලිමේන්තු
මන්ත්‍රීවරුන් වන ෆයිසාල් කාසිම් සහ එම්. එස්. එම්. අස්ලිම් යන මහත්වරු මේ
අවස්ථාවට සහභාගී වූහ.
.
|