ගනේෂන් නිමලරූබන්ගේ සිරුර මවුපියන්ට බාර දීමට පියවර ගන්නවා

ගනේෂන් නිමලරූබන්ගේ සිරුර මවුපියන්ට බාර දීමට පියවර ගන්නවා

නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වයි

ඉකුත් ජූනි මස 29වැනිදා වව්නියාව බන්ධනාගාරයේ ඇති වූ කලහකාරී සිද්ධියෙන් පසු මහර බන්ධනාගාරයට මාරුකර යැවීමෙන් අනතුරුව රාගම රෝහලේ දි මිය ගිය ගනේෂන් නිමලරූබන් නමැති රැඳවියාගේ මෘත ශරීරය වව්නියා ප්‍රදේශයට ගෙන යාම සඳහා ඔහුගේ මව් පියන් වෙත මෙම ජූලි මස 23 වැනි සඳුදා බාර දීමට අවශ්‍ය පියවර ගන්නා බව නීතිපතිවරයා ඊයේ (20) ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා සිටියේ ය.

මිය ගිය රැඳවියාගේ මව් පියන් සහ නීතිපතිවරයා අතර ඇති වූ එකඟවත්වක් මත මෙලෙස කටයුතු කරන බව දන්වා නීතිපතිවරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ෂවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා ඉදිරි පත් කළ මෝසමක මේ බව සඳහන් විය.

අගවිනිසුරු ආචාර්ය ශිරාණි බන්ඩාරනායක මහත්මිය සහ පී.ඒ. රත්නායක, චන්ද්‍රා ඒකනායක යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ නිල මැදිරිවල දී මෙම මෝසම සලකා බැලීමෙන් අනතුරුව එහි සඳහන් පරිදි කටයුතු කිරිමට අවසර දෙන ලදි.

ඒ අනුව මහර මහේස්ත්‍රාත්වරයාගේ නියෝගයක් පරිදි මේ වන විට රාගම රෝහලෙහි මෘත ශරීරාගාරයෙහි තබා ඇති මෙම රැදවියාගේ මළ සිරුර වව්නියාව ප්‍රෙද්ශයට ගෙන යාම සඳහා ඔහුගේ මව් පියන් වෙත ලබා දිමට අවශ්‍ය පියවර ගන්නා ලෙස පොලිසියට නියෝග කිරිමට නීතිපතිවරයා කටයුතු කරනු ඇත.

මෙම කරුණ මහර මහේස්ත්‍රාත්වරයාගේ අවධානයට යොමු කර එම අධිකරණයෙන් ලැබෙන තීන්දුවකට යටත්ව මෘත ශරීරය බාර දිමේ කටයුතු ජූලි මස 23වැනි දින සිදු කිරිමට පොලිසිය කටයුතු කරනු ඇත.

මළ සිරුර වව්නියා ප්‍රෙද්ශයට ගෙන යන්නේ කෙසේද යන්න සහ අවමංගල කටයුතු සිදු කරනු ලබන්නේ කෙසේද යන්න පිළිබඳව වව්නියා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා සමඟ රැඳවියාගේ මව් පියන් සාකච්ජා කරනු ඇත.

මිය ගිය ගනේෂන් නිමලරූබන් නමැති රැඳවියාගේ මව්පියන් වන අම්බලම් ගනේෂන් සහ ගනේෂන් රාජේෂ්වරී මීට පෙර මෝසමක් ඉදිරිපත් කරමින් ඉල්ලා තිබුණේ ඉකුත් ජූලි මස 05වැනිදා රාගම රෝහලේ දි මිය ගිය සිය පුතුගේ දේහය වව්නියාවට ගෙන යාම සඳහා තමන්ට අවසර දෙන ලෙසය.

ඉකුත් ජූනි මස 29වැනිදා වව්නියා බන්ධනාගාරයෙහි රැඳවියන් සහ බන්ධනාගාර නිලධාරින් අතර කලහකාරි සිද්ධියක් ඇතිවිය. ඉන් පසුව මෙම රැඳවියා ජූනි මස 30 වැනිදා අනුරාධපුර බන්ධනාගාරයට මාරුකර එදිනම මහර බන්ධනාගාරයට මාරු කර යවා ඇත.පසුව රෝහල් ගත කළ ඔහු මිය ගොස් තිබේ.

අනතුරුව මහර මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ මෙම රැඳවියාගේ පශ්චාත් මරණ පරීක්ෂණය රාගම ප්‍රෙද්ශයේ දි පවත්වනලෙසත් මළ සිරුර රාගම ප්‍රෙද්ශයෙන් පිටතට ගෙන නොගොස් අවසන් කටයුතු රාගම ප්‍රෙද්ශයේ දිම සිදු කරන ලෙසත් ය.

එහෙත් මළසිරුර තමන් පදිංචි වව්නියාව ප්‍රෙද්ශයට රැගෙන යාමට අවශ්‍ය බව මෝසම ඉදිරිපත් කරමින් ඔහුගේ මව් පියන් මිට පෙර ප්‍රකාශ කර ඇත. හින්දු ආගමිකයන්ට අවමංගල්‍ය අවස්ථාවක දි සිදු කිරිමට ඇති ආගමික චාරිත්‍ර රැසක් සිදු කිරිමට ඇති අතර තමන්ටද එම චාරිත්‍ර ඉටු කිරිමට අවශ්‍ය බව ඔවුන් ප්‍රකාශ කර ඇත.

මිය ගිය පුද්ගලයා 2009 වසරේ දී අත්අඩංගුවට ගෙන ඇත්තේ වව්නියා පොලිසියේ අපරාධ අංශයේ නිලධාරින්ය. එවකට 26 හැවිරිදිව සිටි ඔහු අලෙවි නියෝජිතවරයකු ලෙස කටයුතු කර ඇත. වව්නියාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රැඳවුම් නියෝග මත වව්නියාව බන්ධනාගාරයෙහි රඳවා තබා ඇත.

එම සිදුවීම මගින් සිය මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවට පැමිණිලි කරමින් ඔහු නීතිඥයකු මගින් මීට පෙර ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය. තමන් වහාම නිදහස් කර හරින ලෙසත් සිය මූලික අයිතින් කඩ කිරීම වෙනුවෙන් රුපියල් ලක්ෂ දෙකක වන්දි මුදලක් අයකර දෙනමෙන් එම පෙත්සම මගින් අධිකරණයෙන් ඉල්ලා තිබිණි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා