යාපනය ශික්ෂණ රෝහලේ මූල්‍ය අක්‍රමිකතා ගැන පරීක්ෂණ අවශ්‍යයි

යාපනය ශික්ෂණ රෝහලේ මූල්‍ය අක්‍රමිකතා ගැන පරීක්ෂණ අවශ්‍යයි

- රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

යාපනය ශික්ෂණ රෝහලේ සිදුවී ඇතැයි කියන මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් රෝහල් අධ්‍යක්ෂවරිය ඇතුළු පිරිසට එරෙහිව ලබන 24වැනිදාට පෙර විධිමත් විනය පරීක්ෂණයක් පැවැත්වීමට සෞඛ්‍ය අමාත්‍යංශය කටයුතු නොකළහොත් උතුරු පළාතේ සියලුම මහ රෝහල් හා පළාත් සභාව යටතේ පවතින වෛද්‍ය ආයතනවල වෛද්‍යවරුන් ඉදිරියේදී දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට යාමට නියමිත බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

වෘත්තීය සමිති ක්‍රියාමාර්ග අනුගමනය කළත් සියලු අත්‍යවශ්‍ය හා හදිසි රෝගී සත්කාර කටයුතු  අඛණ්ඩව පවත්වගෙන යාමට කටයුතු යොදා ඇති බවත්, සාමාන්‍ය ජනතාවට සිදුවන සියලු දුෂ්කරතාවන්හි වගකිම සෞඛ්‍ය අමාත්‍යංශ බලධාරීන් භාරගත යුතු බවත් සංගමය පවසයි. මේ සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිකුත් කර ඇති නිවේදනයේ මෙසේද සඳහන්වේ.

යාපනය ශික්ෂණ රෝහලේ සිදුවූ මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් වෛද්‍යවරුන් විසින් සෞඛ්‍ය අමාත්‍යංශය වෙත කරන ලද පැමිණිල්ල අනුව එහි විමර්ශන ඒකකය මඟින් පවත්වන ලද මූලික විමර්ශනයෙන් අදාළ චෝදනාවල සත්‍යතාවක් ඇති බවත්, රෝහල් අධ්‍යක්ෂවරිය ඇතුළු තවත් අයවලුන්ට එරෙහිව විධිමත් පරීක්ෂණයක් පැවැත්විය යුතු බවත් නිර්දේශවීඇත.

එහෙත් ඉතා කනගාටුදායක ලෙස සෞඛ්‍ය අමාත්‍යංශයේ උසස් නිලධාරීන් වුවමනාවෙන් ම අපක්ෂපාතී පරික්ෂණයක් පැවැත්වීමේ කටයුත්තට අකුල් හෙළන අතර, යාපනය රෝහලේ වෛද්‍යවරුන්ගේ තත්ත්වය තව දුරටත් අනාරක්ෂිත වෙමින් පවතී.

මෙහි නවතම සිදුවීම වනුයේ යාපනය රෝහලේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ ශාඛා සමිතියේ සභාපති වෛද්‍ය එස්. නිමලන් මහතාට පසුගිය පෙරේදා (19) ලැබුණු නිර්ණාමික මරණ තර්ජනයයි.මේ සම්බන්ධයෙන් සැලකීමේදී මීට මාසයකට පමණ පෙර පිළිකා රෝග විශේෂඥ ජයකුමාරන් මහතාගේ නිවෙසට කරන ලද මැර ප්‍රහාරය සලකා බැලීම ද වැදගත්ය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා