දිවයින පුරා අධිකරණවල නඩු කටයුතු අඩපණ වෙයි
දිවයින පුරා අධිකරණවල
නඩු කටයුතු අඩපණ වෙයි
කුමුදු හෙට්ටිආරච්චි රෝෂාන් තුෂාර හා සිරන්ජනී කුමාරි
මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයට පසුගිය 18 වැනිදා උද්ඝෝෂකයන් පිරිසක්
විසින් ගල් මුල්වලින් පහරදීමේ සිද්ධියට විරෝධය පාමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය
අධිකරණ කටයුතුවලට සහභාගි නොවීමට ගත් තීරණය මත ඊයේ (20) දිවයින පුරා
අධිකරණවල නඩු කටයුතු සියල්ල අඩපණ විය.

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ
සංකීර්ණයේ, මහාධිකරණ, සංකීර්ණයේ හා දිසා අධිකරණ සංකීර්ණයේ ඊයේ (20)දිනට
කැඳවීමට නියමිතව තිබූ දහස් සංඛ්‍යාත නඩුවලින් කිසිදු නඩුවක් නොකැඳවුණු අතර
නඩු කටයුතුවලට සහභාගිවීමට පැමිණි විශාල පිරිසක් බොහෝ වේලාවක් අධිකරණ
භූමිවල රැඳී සිටීමෙන් අනතුරුව ආපසු යනු දක්නට ලැබිණි.
එම අධිකරණ සංකීර්ණයන්හි ඊයේ (20) දිනට කැඳවීමට නියමිත වූ සියලු නඩු සඳහා
විනිසුරුවරු සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව අධිකරණ ලේඛකාධිකාරිවරුන්
විසින් දිනයන් ලබාදී තිබූ අතර එම දිනයන් නඩු කටයුතුවලට පැමිණි පිරිසට දැක
ගැනීමට හැකිවන සේ අධිකරණ සංකීර්ණයන්හි දැන්වීම් පුවරුවල සටහන් කැර තිබුණි.
ඊයේ (20) දිනට කැඳවීමට තිබූ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ සියලු නඩු මෙම 23
වැනි දිනට කල්තබා තිබූ අතර කොළඹ මහාධිකරණයේ සියලු නඩු මෙම 27 වැනිදාට කල්තබා
තිබිණ.
බන්ධනාගාර අධිකාරිය විසින් සුපුරුදු පරිදි රැඳවියන් නඩු සඳහා අධිකරණයන්ට
ඉදිරිපත් කැර තිබූ අතර එම රැඳවියන්ගේ රිමාන්ඩ් දීර්ඝය පමණක් විනිසුරු
නිලමැදිරි තුළදී සිදු කරන ලදී.
නව පැමිණිලි හා එම පැමිණිලිවලට අදාළ සැකකරුවන් පොලිස් ස්ථාන මගින් කොළඹ
මහේස්ත්‍රාත් අධිකරණයට සුපුරුදු පරිදි ඉදිරිපත් කළ අතර එම නව පැමිණිලිද
මහේස්ත්‍රාත්වරුන්ගේ නිල මැදිරි තුළ කැඳවන ලදී.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණ භූමිය තුළ ඊයේ (20) විශේෂ පොලිස් ආරක්ෂාවක්
යොදා තිබුණු අයුරුද දක්නට ලැබුණි.
.
|