ලෝක ශූරයන් හා අනු ශූරයන්ගේ ගැටුම අද සූරියවැවදී

ලෝක ශූරයන් හා අනු ශූරයන්ගේ ගැටුම අද සූරියවැවදී

2011 ලෝක කුසලාන ශූරයන් වන ඉන්දියාව හා අනු ශූර ශ්‍රී ලංකාව අතර තරග පහකින් සමන්විත ජාත්‍යන්තර එක්දින තරගමාලාව ආරම්භ කරමින් පළමු තරගය අද සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

ලෝක කුසලාන තරගාවලියේ උරුමයන් වන සූරියවැව ක්‍රීඩාංගණයේදී දෙපිල අතර මුල් තරග දෙකත්, ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී තෙවැනි හා සිවුවැනි තරගත්, අවසාන තරගය පල්ලෙකැලේදීත් පැවැත්වෙනු ඇත.

පාකිස්තානයට එරෙහිව පැවැති ජාත්‍යන්තර විස්සයි20, එක්දින මෙන්ම ටෙස්ට් තරගමාලාවද ජයග්‍රාහීව අවසන් කර සිටින මහේල ජයවර්ධනගේ කණ්ඩායම එම ජයග්‍රාහී රැල්ල දිගටම පවත්වා ගෙන යාමේ අරමුණින් පසුවේ.

මේ තරගමාලාව සම්පූර්ණයෙන්ම ජයග්‍රහණය කිරීමට අවශ්‍ය දක්ෂතාව ශ්‍රී ලංකාව සතුව තිබේ. අනෙක් පැත්තෙන් බලන විට ඉන්දියාව තරග බිමට පිවිසෙන්නේ සති හතක විරාමයකින් පසුවය. එය ජයග්‍රහණවලින් ප්‍රාණවත්ව සිටින ශ්‍රී ලංකාවට වාසියකි.

ශ්‍රී ලංකා මුල් පෙල පිතිකරුවන් මෙන්ම මැද පෙල හා අග පෙල පිතිකරුවන්ද ලකුණු රැස් කිරීමට හපනුන් බව පසුගියදා නිමාවූ පාකිස්තානයට එරෙහි තරගවලදී හොඳින් ප්‍රදර්ශනය විණි.

තිලකරත්න ඩිල්ෂාන්, උපුල් තරංග, කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, දිනේෂ් චන්දිමාල්, ඇන්ජලෝ මැතිව්ස් හා ලහිරු තිරිමාන්න ලොව ඕනෑම පන්දු ප්‍රහාරයකට මුහුණ දීමට සමත් පිතිකරුවෝ වෙති.

ශ්‍රී ලංකා පන්දු යවන්නන් අතුරින් ‘යෝකර්’ පන්දුවලට නමක් දරා සිටින ලසිත් මාලිංග ඉන්දියානු පිතිකරුවන්ට මහත් හිසරදයක් වනු ඇතැයි අපේක්ෂා කළ හැක.  පසුගිය වසරේ අප්‍රේල් මාසයේ මුම්බායිහි පැවැති 2011 ලෝක කුසලාන අවසාන මහා තරගයේදී මාලිංග ශ්‍රී ලංකාවට ජයග්‍රාහී බලාපොරොත්තු උපදවමින් ඉන්දියා ප්‍රබල පිතිකරු යුගළයක් වන විරේන්ද්‍ර සෙවාග් හා සචින් ටෙන්ඩුල්කාර් ඉක්මනින්ම දවාලුවද එතැනින් පසුව සිදුවූයේ කුමක්දැයි යන්න තවමත් අභිරහසකි.

අවසානයේදී ඉන්දියාව කඩුලු 6කින් ශ්‍රී ලංකාව පරදවමින් වසර 28කින් පසුව ප්‍රථම වතාවට ලෝක කුසලානය හිමිකර ගත්තේය. ඒ නීරස පරාජයේ වාඩුව ගැනීම කෙරෙහිද ශ්‍රී ලංකාවේ අවධානය යොමුවනු නිසැකය. ඉන්දියාව සති හතක විරාමයක් ලබා සිටියද ඔවුන් මෙහි පැමිණ සිටින්නේ මනා පුහුණුවකින් පසුවය.

අසල්වැසි ඔවුනට ශ්‍රී ලංකාව අමුතු තැනක් නොවේ. පසුගිය වකවානුවේ දෙපිල අතර වසරකට වරක් එක්දින තරගමාලා පවත්වා තිබේ. සමහර අවස්ථාවල වසරකට තරගමාලා දෙකක්ද ක්‍රීඩා කොට තිබේ. මේ තරගමාලාව 5–0කින් ජයග්‍රහණය කිරීම මහේන්ද්‍ර සිං දෝනිගේ කණ්ඩායමේ ඒකායන අරමුණ වනු ඇත. මන්ද, එවැනි ජයග්‍රහණයක් අත්කර ගතහොත් ඉන්දියාවට නැවත වතාවක් ලෝක එක්දින ශ්‍රේණිගත කිරීම්වල අංක 1 ට පිවිසීමට හැකිවන හෙයිනි.

විරේන්ද්‍ර සෙවාග්, ගෞතම් ගම්භීර්, විරාට් කෝලි, සුරේෂ් රයිනා, රෝහිත් ෂර්මා හා නායක දෝනි වැන්නවුන් ප්‍රබල පිතිකරුවෝ වෙති. එහෙත් ඔවුනට සාර්ථක අභියෝගයක් එල්ල කිරීමේ හැකියාව නුවන් කුලසේකර, තිසර පෙරේරා, ඇන්ජලෝ මැතිව්ස් යන වේග පන්දු යවන්නන් මෙන්ම රංගන හේරත්, සචිත්‍ර සේනානායක හා ජීවන් මෙන්ඩිස් යන දඟ පන්දු යවන්නන් සතුව තිබේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා