අපේ සමාජය මේ තරමින් හෝ රැකී තිබෙන්නේ දහම නිසයි

අපේ සමාජය මේ තරමින් හෝ රැකී තිබෙන්නේ දහම නිසයි

ආචාර්ය දීගල්ලේ මහින්ද හිමි

එංගලන්තයේ බාත් ස්වා විශ්වවිද්‍යාලයේ ආගමික හා සංස්කෘතික අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය

නූතන සංකීර්ණ සමාජයට බුදු දහමේ අදාළත්වය පිළිබඳ ජාත්‍යන්තරව සාකච්ඡාවට ගැනුණු පර්යේෂණ පත්‍රිකා කිහිපයක් ඉදිරිපත් කර ඇති දීගල්ලේ මහින්ද හිමි අමෙරිකාවේ හාවඩ් විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධිය හා චිකාගෝ විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධිය සම්පුර්ණ කර ඇත. එංගලන්තයේ බාත් ස්වා විශ්වවිද්‍යාලයේ ආගමික හා සංස්කෘතික අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සහ පේරාදෙණිය, බෞද්ධ අධ්‍යයන හා පර්යේෂණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ලෙසද කටයුතු කරන උන් වහන්සේ ඉහළ යන අපරාධ රැල්ල හා බෞද්ධ පුනරුදය ගැන උන්වහන්සේ දැක්වූ අදහස් මෙසේය.

l නූතන තරුණ පරපුර අතර බෞද්ධාගම කෙරෙහි විශාල නැමියාවක් ඇතිව තිබෙන්නේ ඔවුන් දහම ගැන පැහැදීම නිසාද? නැතහොත් වෙනත් හේතුවක් නිසාද?

තරුණ පරපුර බෞද්ධ පත පොත කියවන්නේ විලාසිතාවකට කියලා චෝදනා කිරීම අසාධාරණයි. විලාසිතාවකට වුවත් ඔවුන් කියවන්නේ බෞද්ධාගමික දේවල් නම් එයින් කාටවත් අයහපතක් වෙන්නේ නැහැනේ. අදහස් යා යුත්තේ තරුණ පරපුර අතරටයි. සංස්කෘතිය අයිති තරුණ පරම්පරාවටයි. වැඩිහිටියන් කරන්නේ සංස්කෘතිය ආරක්ෂා කිරීම පමණයි. බුද්ධාගම, සිංහල භාෂාව, සංස්කෘතිය වගේ අපේ හර පද්ධති තරුණ පරපුර අතර ප්‍රචලිත විය යුතුයි. ඔවුන් අතරට ඒ දැනුම යන්නේ නැත්නම් ජාතිය වඳ වෙනවා.

l මෑතක සිට අපේ සමාජයේ පවතින දුරස්ථ බව ඔබ වහන්සේ දකින්නේ කොහොමද?

අතීතයේ අපේ සමාජයේ තිබුණ එකමුතුකම දැන් නැහැ. මම ළඟදී දැක්ක අක්‍රීය වූ වාහනයක් රියැදුරා එක අතකින් තල්ලු කරන ගමන් අනිත් අතින් සුක්කානම පදවන අවස්ථාවක්. කාලයකට ඉස්සර වාහනයක් කැඩුනවිට උදව් ඉල්ලන්නේ නැතිව වුණත් කී දෙනෙක් උපකාර කරන්න ඉදිරිපත් වෙනවද? වර්තමානය වන විට හැමෝම තමන්ගේ දේවල් බලාගෙන ඉන්න පුරුදු වෙලා. කිසිවෙක් කිසිවෙක්ට වෛර කරන්න එපා කියලා පුරුදු කළ සමාජයක් දැන් කවුරුවත් කාටවත් උදව් නොකරන සමාජයක් බවට පත් වෙලා. මේක භයානක තත්ත්වයක්.

l ඔබ වහන්සේ දකින ආකාරය මෙයට බලපෑ හේතුව හා ඒ නිසා ඇතිවූ ප්‍රතිඵල සඳහන් කළ හැකිද?

මේ තත්ත්වය ඇති වෙන්න ප්‍රධානව බලපෑවෙ යුද්ධයයි. සන්නිවේදන පහසුකම් පුළුල්වීම නිසා හා ජංගම දුරකථන ව්‍යාප්ත වීම නිසා මානව සම්බන්ධතා අඩුව තිබෙනවා. එකිනෙකා අවිශ්වාසය කරන තත්ත්වයක් ඇතිව තිබෙනවා. බටහිර සමාජවල නම් මේ ස්වභාවය තිබුණා. මානව සබඳතා අහිමිවීම පෙරදිගට බටහිරට වඩා දරුණු අකාරයට බලපා තිබෙනවා.

බටහිර සමාජවල පුද්ගලයන් අතර සබඳතා අඩුවීම අනිත් කෙනාට හානියක් ඇති කරන්නේ නැහැ. නීතිය හා පිළිවෙල එම සමාජවල ඉහළින්ම ක්‍රියාත්මක වීම එයට හේතුවයි. අපේ සමාජයේ සෑම දෙයක්ම අතීතයේ සිටම ක්‍රියාත්මක වුණේ මානව සබඳතා සමඟයි. ඒ නිසා මානව සබඳතා අහිමිවීම අපිට බටහිරට වඩා තදින් දැනෙනවා.

l සන්නිවේදන පහසුකම් වැඩිවීම නිසා මිනිස්සු තමන්ගෙ දෙයක් බලාගෙන සිටීමට වගේම ධර්මය කෙරෙහි වැඩි නැඹුරුවක් ඇතිවීමටත් හේතුව තිබෙනවා නේද?

පසුගිය කාලය තුළදී ගුවන් විදුලි හා රූපවාහිනී නාලිකා සංඛ්‍යාව වැඩිව තිබෙනවා. ඒ වගේම එම නාලිකාවලින් බෞද්ධ වැඩසටහන් සඳහා ලබාදෙන විකාශන කාලය 80% දක්වා වැඩිවෙලා තිබෙනවා. ගුවන්විදුලි හා රූපවාහිනී ආයතනවල මිනිස්සු වැඩියෙන්ම අහන වේලාවන්වල විකාශය වන වැඩසටහන් අතර බෞද්ධ වැඩසටහන් ද තිබෙනවා. බෞද්ධ වැඩසටහන් සඳහාම වෙන්වූ රූපවාහිනී ආයතන පවා ඇතිව තිබෙනවා. එය හොඳ දෙයක්.

අද කාලේ හැටියට මිනිස්සු කාර්යබහුල වෙලා. ඒ නිසා එකතැනක වාඩිවෙලා බණ අහන්න කාලයක් නැහැ. වෙනත් වැඩක් කරන ගමන් බණ ඇහීමේ කිසිම වරදක් නැහැ. සංකීර්ණ සමාජයේ ජීවත්වෙන නූතන මිනිස්සුන්ට පේවෙලා. බණ අහන්න තරම් මානසික වාතාවරණයක් නැහැ.

l මිනීමැරුම් හා කාන්තා අපචාර දුෂ්චරිත මෙන්ම ධර්මයට ඇති නැඹුරුවත් එකලෙසම ඉහළ යාමට හේතුව කුමක්ද?

මිනිස්සුන්ගේ ජීවිත සංකීර්ණ වෙලා. ඔවුන්ගේ අවශ්‍යතා වැඩිව තිබෙනවා. ඒ නිසාම ප්‍රශ්නත් වැඩියි. හැමෝම රැල්ලකට අසුව තිබෙනවා. ඒ රැල්ල අනුව හැමෝටම ජීවත්වීමට සිදුව තිබෙනවා. ජංගම දුරකථනයක් අද හැමෝම පාවිච්චි කරනවා. එය සුඛෝපභෝගී භාණ්ඩයක් නෙවෙයි. නමුත් තවත් ආකාරයකට ජංගම දුරකථනය සුඛෝපභෝගී දෙයක්. එයට හේතුව ජංගම දුරකථනය අත්‍යවශ්‍ය දෙයක් නෙමෙයි.

නූතන වෙළඳ සංස්කෘතිය විසින් අත්‍යවශ්‍ය නොවන දේවල් රාශියක් මේ ආකාරයට අත්‍යවශ්‍ය භාණ්ඩ බවට පත්කර තිබෙනවා.

දැන් ගෙදරට වෙලා රූපවාහිනිය දිහා බලාගෙන සිල් ගන්ත සමාජයක් හැදිලා තිබෙනවා. එහෙම වෙන එක හොඳයි. මේ ආකාරයට හෝ දහමට නැඹුරු වුණේ නැත්නම් මෙයට වඩා අපේ සමාජය අයහපත් වේවි. බණ නොඅහන පිරිස් වැඩි වුවහොත් තමයි ගැටලු වැඩිවෙන්නේ. මේ ආකාරයට බණ අහන සිල් රකින පිරිසක් සිටීම ගැන අපි සතුටු විය යුතුයි.

මුදල් පසු පස හඹායන සමාජයක කාමභෝගී දේවල් වෙළඳපළ භාණ්ඩයක්ව තිබෙනවා. එවැනි තත්වයක මිනිස්සු කම් සැපතට නැඹුරුවීම ස්වාභාවිකයි. තරුණයන්ට නිදහස ලබාදිය යුතු බව හා ඔවුන්ට ධර්මය ගැන අවබෝධයක් ලබා දිය යුතු බව මා පවසන්නේ ඒ නිසයි. ධනවාදී ආර්ථික ක්‍රමය පසුපස හඹා යනවිට සදාචාරයට පටහැනි දේවල් සිදුවෙනවා. අදහසක් හැටියට ශාන්තුවරු ඉන්න සමාජයක් පරිකල්පනය කළ හැකි වුවත් ඇත්ත තත්ත්වය ඊට වැඩිය වෙනස්. ඕනෑම සමාජයක අපරාධ සිදුවිය හැකියි. ඒ ගැන පුදුම විය යුතු නැහැ. අපට කළ හැක්කේ අපරාධවල ආදීනව පැහැදිලි කර ඒ තත්ත්වයෙන් මුදා ගැනීමයි. ශ්‍රවණය කිරීම වැඩිවීම හා මිනීමැරුම් වැඩිවීම අතර සම්බන්ධයක් දකින්න බැහැ. තිබෙනවා නම් තිබෙන්නේ ආර්ථික අර්බුදවල පමණයි.

l විදේශ ධර්මදූත සේවයේ නිරත භික්ෂුවක ලෙස ඔබ වහන්සේ එම රටවල බෞද්ධාගමේ ව්‍යප්තියක් දකිනවාද?

විශාල ව්‍යාප්තියක් ඇතිව තිබෙනවා. 1948 දී එංගලන්තයේ තිබුණේ එක පන්සලයි. අද ලන්ඩන් නුවර පමණක් ලංකාවෙන් ඇති කළ පන්සල් දහයකට වැඩිය තිබෙනවා. 1960 ගණන්වල මහණ වූ සුදු ජාතිකයන් හිටියේ බොහොම ටික දෙනයි. මේ වනවිට මහණ වූ සුදු ජාතිකයන් දහස් ගණනක් එංගලන්තයේ පමණක් සිටිනවා. දැන් පාරම්පරිකව බෞද්ධයින් වන සුදු ජාතිකයින් ඉන්නවා. මේ විදිහට විශාල ව්‍යාප්තියක් අමෙරිකාව, ජර්මනිය, ඔස්ට්‍රේලියාව, ස්වීඩනය, ප්‍රංශය වැනි රටවල ඇතිව තිබෙනවා.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා