යුද්ධය දිනූ පසු ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා බහුලයි

‘යුද්ධය දිනූ පසු ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා බහුලයි’

යුද ජයග්‍රහණයෙන් පසු සමාජ හා ආර්ථික වශයෙන් ශීඝ්‍ර දියුණුවක් කරා ගමන් කරන ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා විශාල වශයෙන් නිර්මාණය වී තිබෙන බව සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු කණ්ඩායම අවධාරණය කරයි.

දේශීය මෙන්ම විදේශීය ආයෝජකයන්, ව්‍යාපාරිකයන් සඳහා තම ව්‍යාපාර කටයුතු කරගෙන යාමට හිතකර පරිසරයක් ශ්‍රී ලංකාවේ උතුරු හා නැඟෙනහිර ප්‍රදේශවල නිර්මාණය වී තිබෙන බවද ශ්‍රී ලංකාවේ ආයෝජනයන් කිරීම සඳහා බ්‍රිතාන්‍ය ආයෝජකයන් වැඩි කැමැත්තක් දක්වන බවද බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ ප්‍රධානී ජෙම්ස් වොට්සන් මහතා පවසයි.

ඒ මහතා මේ බව සඳහන් කළේ කොළඹදී ඊයේ (05) පැවැති මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි.

සය දින සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම උතුරු පළාතේ කිලිනොච්චි දිස්ක්‍රික්කයේද නැඟෙනහිර පළාතේ ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කයේ සහ දකුණු පළාතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ සංචාරය කරමින් ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය නිරීක්ෂණය කළ අතර පවතින ආයෝජන හා ව්‍යාපාරික අවස්ථාවන් සම්බන්ධයෙන් සොයා බැලූහ.

රජයේ නියෝජිතයන්, විපක්ෂයේ නියෝජිතයන් මෙන්ම දෙමල ජාතික සංධාන මන්ත්‍රීවරුන් සහ සංචාරය කළ ප්‍රදේශයන්හි විවිධ පුද්ගලයන් සමඟ කතාබහ කළ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම යුද ජයග්‍රහණයෙන් පසුව ශ්‍රී ලංකාව ලබා තිබෙන ප්‍රගතිය සම්බන්ධයෙන් සතුට ප්‍රකාශ කළහ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සඳහන් කළේ නැවත පදිංචි කිරීම, පුනරුත්ථාපනය ඇතුළුව උතුරු හා නැඟෙනහිර පළාත්හි විශාල දියුණුවක් ලබා තිබෙන බවයි.

මේ වනවිට උතුරු හා නැඟෙනහිර පළාත්හි දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක වන බව පෙන්වාදුන් ජෙම්ස් වොට්සන් මහතා යුද ගැටුම් හේතුවෙන් විනාශයට පත් උතුරු හා නැඟෙනහිර ප්‍රදේශයන්හි වත්මන් සංවර්ධනය සම්බන්ධයෙන් සතුටට පත්වන බවද ඒ ඒ ප්‍රදේශයන්හි තරුණ තරුණියන් සඳහා නව රැකියා අවස්ථාවන් විශාල ප්‍රමාණයක් නිර්මාණය වී තිබෙන බවද සඳහන් කළේය.

ආර්ථික හා සංස්කෘතික ආදී සෑම අංශයකින්ම ශ්‍රී ලංකාවට දිගු ඉතිහාසයක් තිබෙන බව සඳහන් කළ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ ප්‍රධානියා යුද ජයග්‍රහණයෙන් පසුව මෙරට ලබා තිබෙන ප්‍රගතිය සම්බන්ධයෙන් සතුටට පත්වන බවද ප්‍රකාශ කළේය..

මේ අතර ඒ මහතා සඳහන් කළේ ශ්‍රී ලංකාවේ සංචාරය සඳහා අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ හා බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් වෛද්‍ය ක්‍රිස් නෝනිස් මහත්වරුන්ට ස්තුතිවන්ත වන බවයි.

උතුරු අයර්ලන්ත පාර්ලිමේන්තු මන්ත්‍රී ඉයන් පේස්ලි, බ්‍රිතාන්‍ය කොන්සවේටි පක්ෂයේ මන්ත්‍රීවරුන් වන මැතිව් ඔෆර්ඩ්, ඒඩ්න් බර්ලි, මාර්ක් මෙන්සිස්, ඇන්ඩ්‍රෝ ස්ටෙෆන්, ඩේව්ඩ් මොරිස්, බොබි බ්ලැක්මන් මහත්වරුද විදේශ කටයුතු අමාත්‍යාංශයේ සන්නිවේදන අංශයේ අධ්‍යක්ෂ ජනරාල් සරත් දිසානායක මහතාද මේ අවස්ථාවට එක්ව සිටියහ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා