හාරිස්පත්තුව මැදවල රජමහා විහාරයේ නටබුන් සහ සිතුවම් විනාශවීමේ අවදානමක

හාරිස්පත්තුව මැදවල රජමහා විහාරයේ නටබුන් සහ සිතුවම් විනාශවීමේ අවදානමක

ඓතිහාසික ගෘහ නිර්මාණ, කලා නිර්මාණ මෙන්ම ලේඛන රැසකින් යුත් හාරිස්පත්තුවේ මැදවල රජමහා විහාරයට වසර 2100 ක් සපිරේ. මේ විහාරය අනුරාධපුර යුගයේ සිට මහනුවර යුගය තෙක් රජ කළ රජවරුන්ගේ සංරක්‍ෂණයට, ආරක්‍ෂාවට මෙන්ම ගෞරවයට ද පාත්‍ර වී ඇත.

හාරිස්පත්තුවේ කඳු මුදුනක පිහිටි මේ විහාරයේ ටැම්පිට විහාරය, බුදුගෙය, ශෛල මය චෛත්‍ය, විහාරගෙය, බදාමෙන් නිම කළ දර්ශනීය පිවිසුම් තොරණ, ගලින් නිමකළ පියගැටපෙළ සහ වෙනත් විහාරස්ථානවල දැකීමට නොමැති ඓතිහාසික පෝය ගෙය මෙහි දැකගත හැකිය.

අද මේ රජමහා විහාරය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සංරක්‍ෂණය යටතේ පැවතියත් කලකින් මෙහි සංරක්‍ෂණ කටයුතු සිදුකර නොමැත. විහාර භූමියේ ඇති සෙල්ලිපිය පාසි බැඳී හඳුනාගත නොහැකි ආකාරයට විනාශ වෙමින් පවතී. ටැම්පිට විහාරයේ ලීයෙන් නිම කළ පියගැටපෙළ කැඩී ඇති අතර බරාදයේ ලී කඳන් තැනින් තැන වේයන්ගේ ග්‍රහණයට හසු වී ඇත. පහත බිම් මහලේ තැනින් තැන හුඹස් මතුකොට ඇත. වහලය වටා ඇති ගෘහ නිර්මාණ විනාශයට පත්වෙමින් පවතී. ඓතිහාසික පෝයගෙය වටා ඇති බිත්තියේ වේගුළු මතු වී ඇති අතර වහලයේ තැනින් තැන වර්ෂා ජලය කාන්දු වෙමින් පවතී.

විහාරාධිපති දෙහිගම චන්දරතන නාහිමි – අප විහාරයේ සංරක්‍ෂණ කටයුතු සිදුකෙරෙන්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන්. මෙහි ඇති ඓතිහාසික ගෘහ නිර්මාණ බිතු සිතුවම් විනාශයට පත්වීම ගැන වාචිකව සහ ලිඛිතව කිහිප වරක් දැනුම්වත් කළා. කලකට ඉහත නිලධාරිණියක් මෙහි පැමිණ පරීක්‍ෂා කොට ගියා. මෙතෙක් කිසිවකු මෙහි පැමිණියේ නෑ. අපේ බෞද්ධ උරුමයන් අනාගත පරපුර වෙනුවෙන් ආරක්‍ෂා කළ යුතුයි. මෙයට වගකිවයුතු බලධාරීන්ගේ අවධානය යොමුකර මේ විහාරස්ථානය සංවර්ධනය කරන ලෙස ඉල්ලනවා.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා