අවසන් එක්දින තරගයේ ජයත් ඉන්දියාවට
තිරිමාන්නගේ-මෙන්ඩිස්ගේ උත්සාහය අපතේ යයි
අවසන් එක්දින තරගයේ ජයත් ඉන්දියාවට
වර්නන් ගුණසේකර
පල්ලෙකැලේ සිට
ලහිරු තිරිමාන්න හා ජීවන් මෙන්ඩිස් පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට්
ක්‍රීඩාංගණයේදී පෙරේදා පැවැති පස්වැනි හා අවසාන එක්දින තරගයේදී ඉන්දියාව තුළ
බියක් ඇති කරවමින් අගනා වේගවත් පිතිහරඹයක නියැලුනද අවසානයේ එය
ප්‍රමාණවත් නොවී ශ්‍රී ලංකාව ලකුණු 20ක පරාජයක් ලැබීය.
ඉන්දියාවට මේ ජයග්‍රහණයත් සමග තරගමාලාවේ 4–1ක ජයක් හිමිවූ අතර ඒ අනුව
ඔවුන් ජගත් ක්‍රිකට් කවුන්සලයේ ජාත්‍යන්තර එක්දින ශ්‍රේණිගත කිරීම්වල අංක 2 ට
පිවිසියේය.
ලකුණු 295ක අසීරු ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකාව ඕවර 45යි පන්දු 4කදී ලකුණු 274කට
දැවී ගියේය. ප්‍රබල සටනක් දෙමින් තිරිමාන්න හා මෙන්ඩිස් ද, ඉන්පසුව තිසර පෙරේරා
(18) ද,පන්දුවට පහර දෙමින් සිටියදී ශ්‍රී ලංකාව යළි තරගයේ පෙරමුණට පිවිසියද
එය යළි තමන් වෙත ග්‍රහණය කර ගැනීමට ඉන්දියානුවෝ සමත් වූහ.
ජීවන් මෙන්ඩිස් ඔහුගේ මංගල ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් අර්ධ ශතකය විශිෂ්ට
අයුරින් වාර්තා කරමින්ද, ආකර්ෂණීය පිතිහරඹයක නියැලෙමින්ද, තිරිමාන්න සමග
එක්ව තරගය උඩු යටිකුරු කරමින් විටෙක ජයග්‍රාහී බලාපොරොත්තු ශ්‍රී ලංකා
කණ්ඩායම තුළ ඇති කිරීමට සමත් විය. ලකුණු 102කට කඩුලු 5ක් බිඳ වැටී තිබියදී
කඩුල්ලේ එක්වූ මේ දිරිය පිතිකරු යුගලය ඕවර 20යි පන්දු 4කින් ලකුණු 102ක් රැස්
කරමින් ශ්‍රී ලංකා ඉනිම මුළු ලකුණු 204 දක්වා ඉහළට ගෙන ආහ.
36 වැනි ඕවරයේදී තිරිමාන්න අවාසනාවන්ත ලෙස දුවද්දී දැවී යාම තරගය යළි
ඉන්දියාව පැත්තට හැරවූ තීරණාත්මක අවස්ථාව විය. සිය සිවුවැනි ජාත්‍යන්තර
එක්දින අර්ධ ශතකය වාර්තා කරමින් සුපිරි පිතිහරඹයක් දියත් කළ තිරිමාන්න පන්දු
96කින් ලකුණු 77ක් ලබා ගත්තේය. මෙය ඔහුගේ ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් දිවියේ ලබා
ගත් වැඩිම ලකුණු ප්‍රමාණය විය. ඒ අගනා ඉනිමට හතරේ පහර 5ක් හා හයේ පහර 3ක් ඇතුළත්
විය. මින් හයේ පහර 2ක් මනෝජ් ටිවාරිගේ පන්දුවලට තිරිමාන්න එල්ල කළේ එකම
ඕවරයකදීය.
මෙන්ඩිස් ද තිරිමාන්න ට දෙවැනි නොවී ආක්‍රමණශීලීව පිත්ත හසුරුවමින් ඔහුගේ
මංගල ජාත්‍යන්තර එක්දින අර්ධ ශතකය වාර්තා කළේය. පන්දු 71කින් ලබා ගත් එම අර්ධ
ශතකයට හතරේ පහර 4ක් ඇතුළත්ව තිබිණි. ඉන් නොනැවතුණු මෙන්ඩිස් තවත් හතරේ පහර
2ක්ද එල්ල කරමින් අවසානයේ දැවී ගියේ පන්දු 88කින් ලකුණු 72ක් රැස් කිරීමෙන්
පසුවය.
මෙන්ඩිස් මෙන්ම ඔහුට පෙර තිසර පෙරේරා ද 43 වැනි ඕවරයේදී දැවී ගියේ ඉර්ෆාන් පතන්ගේ
පන්දුවලටය. ඉනිම මුලදී තිලකරත්න ඩිල්ෂාන් හා උපුල් තරංග යන ආරම්භක
පිතිකරුවන් ද දවාලූ පතන් ඔහුට සීමා වූ ඕවර දහයේ අවසන් පන්දුවේදී සචිත්‍ර
සේනානායක (7) ගේ කඩුල්ල ද ලබා ගනිමින් සමස්ත තරගයේ ලකුණු 61කට කඩුලු 5ක් ලබා
ගත්තේය. ඒ හපන්කම පතන් ට ‘තරගයේ වීරයා’ වීරයා සම්මානය ගෙන ආවේය. ශ්‍රී ලංකාව
මෙල්ල කිරීම සඳහා ඉන්දියානුවන් ඔවුන්ගේ පන්දු යවන්නන් 8 දෙනෙකුම යෙදවූහ.
තරගමාලාවේ වීරයා වූ විරාට් කෝලි ට ජීප් රථයක් ප්‍රදානය කෙරිණි. ඔහු එහි
බොනට්ටුව මතට නැංගේය. කෝලිගේ සගයෝ වාහනයේ දොරවල් ඇරගෙන එයට ගොඩවූහ. ඉන්දියා
ජයග්‍රහණයේ නියමුවා මහේන්ද්‍ර සිං දෝනි මොහොතකට පිත්ත අමතක කොට සුක්කානම
අතට ගනිමින් ඉන්දියා කණ්ඩායමේ රියැදුරා බවට පත්විය. නරඹන්නන්ට ආචාර කරමින්
රථය පිටිය වටා ධාවනය වන්නට විය.
කාසියේ වාසිය දිනා ගෙන ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඉන්දියාවේ කඩුලු 7කට ලකුණු
294ක ජයග්‍රාහී ඉනිම ගෞතම් ගම්භීර් හා මනෝජ් ටිවාරිගේත්, මහේන්ද්‍ර සිං දෝනි හා
ඉර්ෆාන් පතන්ගේත් කඩුලු සබඳතා මත ගොඩනැගිණි. පතන් (නොදැවී ලකුණු 29) හැරෙන්නට
අනෙක් තිදෙනාම අර්ධ ශතක වාර්තා කළහ. නායක දෝනි ශ්‍රී ලංකාවට එරෙහිව ලකුණු 2000
පසු කිරීමත් ඔහු දවාලමින් ලසිත් මාලිංග ඔහුගේ 200 වැනි ජාත්‍යන්තර එක්දින
කඩුල්ල ලබා ගැනීමත් ඉන්දියා ඉනිමේ අනෙකුත් විශේෂ සිදුවීම් වූහ. මාලිංග මේ
තරගයේදී කඩුලු 3ක් ලබා ගත්තද ඒ සඳහා ඔහු ලකුණු 64ක් ලබා දුන්නේය. නුවන් ප්‍රදීප්
ලකුණු 63ක් ලබා දෙමින් කඩුලු 2ක් ලබා ගත්තේය.
මේ තරගය සඳහා ඉන්දියාව එක් වෙනසක්ද ශ්‍රී ලංකාව වෙනස්කම් දෙකක්ද සිදුකොට
තිබිණි. ආක්‍රමණශීලී පිතිකරු විරේන්ද්‍ර සෙවාග් වෙනුවට අජින්කා රහානි කැඳවා
තිබූ අතර නායක මහේල ජයවර්ධන හා රංගන හේරත් වෙනුවට සචිත්‍ර සේනානායක හා චාමර
කපුගෙදර ක්‍රීඩා කළහ. ඇන්ජලෝ මැතිව්ස් ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීය.
මහේන්ද්‍ර සිං දෝනිගේ කණ්ඩායම ඔවුන්ගේ 2012 ශ්‍රී ලංකා තරග සංචාරය අවසන් කරමින්
හෙට පල්ලෙකැලේදී ජාත්‍යන්තර විස්සයි 20 තරගයකට සහභාගි වෙයි.
ඉන්දියාව- 294/7 (ඕවර50) ගෞතම් ගම්භීර් 88, මනෝජ් තිවාරි 65, මහේන්ද්‍ර සිං දෝනි
58, ඉර්ෆාන් පතන් නොදැවී 29 (ලසිත් මාලිංග 64/3, නුවන් ප්‍රදීප් 63/2)
ශ්‍රී ලංකාව – 274 (ඕවර 45.4) ළහිරු තිරිමාන්න 77, ජීවන් මෙන්ඩිස් 72, උපුල් තරංග
31 (ඉර්ෆාන් පතන් 61/5, අශෝක් දින්දා 55/2)
.
|