හැව්ලොක්ස්-නාවික-මහනුවර-අප්කන්ට්‍රි ලයන්ස් ඩයලොග් රගර් තරගාවලියේ දෙවැනි
වටයට
හැව්ලොක්ස්-නාවික-මහනුවර-අප්කන්ට්‍රි ලයන්ස් ඩයලොග් රගර් තරගාවලියේ දෙවැනි
වටයට
ෆවුස් මොහොමඩ්
අන්තර් සමාජ ඩයලොග් ලීග් රගර් පළමු කොටසේ තරගාවලියේ අවසන් තරග වටය
නිමාවනවිට ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියෙන් පසුවන හැව්ලොක්ස්, නාවික, මහනුවර
ක්‍රීඩා සමාජය සහ අප්කන්ට්‍රි ලයන්ස් කණ්ඩායම කුසලානය සඳහා වන දෙවැනි වටයට
සුදුසුකම් ලබාගැනීමට සමත්වූහ.
හැව්ලොක්ස්
පළමු තැනට
ලීග් තරගාවලියේ අවසන් වටයේ දී අප්කන්ට්‍රි පිල ලකුණු 32-22කින් පරාජය කළ
හැව්ලොක්ස් පිල තරගාවලියේ පළමු තැනට පත්විය. නාවලපිටියේ පැවැති මේ තරගයේ
පළමු භාගයේ ලකුණු 8-5ක් ලෙස ඉදිරියෙන් සිටි හැව්ලොක්ස් පිල ගෝල් 2ක්, උත්සාහක
දිනුම් 3ක් සහ දඬුවම් පහරක් එල්ල කළ අතර අප්කන්ට්‍රි ලයන්ස් පිල ගෝලයක් සහ
උත්සාහක දිනුම් 3ක් වාර්තා කළේය.
නාවික හමුදාවට
විශිෂ්ට ජයක්
අපරාජිත මහනුවර කණ්ඩායමට එරෙහිව වැලිසර පැවැති තරගයෙන් ලකුණු 25-14ක
විශිෂ්ට ජයක් වාර්තා කිරීමට නාවිකයෝ සමත්වූහ. තරගයේ පළමු භාගය නිමාවනවිට
ලකුණු 15-14ක් ලෙස ඉදිරියෙන් සිටි නාවිකයෝ ගෝල් 2ක්, උත්සාහක දිනුමක් සහ
ඩ්‍රොප් ගෝල් 2ක් මගින් ලකුණු සංඛ්‍යාව සම්පූර්ණ කළහ. මහනුවර කණ්ඩායම රැස්
කළේ ගෝල් 2ක් පමණි.
තරගය පුරාම නිවැරැදි විනිශ්වයක යෙදී සිටි නිසාම් ජමාල්දීන් මහතා පළමු භාගයේ දී
මහනුවර ක්‍රීඩකයෙකුට නීතිවිරෝධි ලෙස අවහිර කළ නාවික හමුදා පිලේ විදෙස්
ක්‍රීඩක රටූ තනීලාට කහ කාඩ්පත ලබාදීමට කටයුතු කළේය. දෙවැනි භාගයේ දී අදාල
ක්‍රීඩකයා යළිත් වරක් වරදකට හසුවීමේ හේතුවෙන් ඔහුට රතු කාඩ්පත ලබාදීමට
ජමාල්දීන් මහතා පියවර ගත්තේය.
සී.ආර් පිල ජය ගනී
සී.එච්. කණ්ඩායමට තරගාවලියේ 8වැනි පරාජයත් අත්කර දෙමින් ලකුණු 43-20ක ජයක්
වාර්තා කිරීමට සී.ආර් කණ්ඩායම සමත්විය. ලොන්ඩන් පෙදෙසේ පැවැති මේ තරගයේ පළමු
භාගය නිමාවනවිට දෙපිලම ලකුණු 10 බැගින් රැස්කර තිබිණි. සී.ආර්. පිල ලැබූ ලකුණු
සංඛ්‍යාවට ගෝල් 5ක්, උත්සාහක දිනුමක් සහ දඬුවම් පහරක් වාර්තා කළ අතර
සී.එච්.පිල ගෝලයක්, උත්සාහක දිනුම් 2ක් සහ දඬුවම් පහරකින් සිය ලකුණු සංඛ්‍යාව
සම්පූර්ණ කළේය.
පොලිසිය
සිවුවැනි ජය ලබයි
මේ අතර පොලිස් කණ්ඩායම සහ ගුවන් හමුදා කණ්ඩායම අතර පොලිස් පිටියේ පැවැති
තරගයෙන් ලකුණු 31-14ක ජයක් අත්කර ගැනීමට පොලිසිය සමත්විය. තරගයේ පළමු භාගය
නිමාවනවිට ලකුණු 24-0ක් ලෙසින් පෙරමුණ ගත් පොලිසිය ගෝල් 3ක් සහ උත්සාහක
දිනුම් 2කින් සිය ලකුණු සංඛ්‍යාව සම්පූර්ණ කළ අතර ගුවන් හමුදාව ගෝල් 2ක් වාර්තා
කළේය.
තරගයේ 79වැනි මිනිත්තුවේ දී පොලිස් පිලේ විදෙස් ක්‍රීඩක සෑම් ඔලේලේ ගුවන් හමුදා
ක්‍රීඩකයෙකු හා ඇතිකරගත් ගැටුමක් හේතුවෙන් පිටියේ උණුසුම්කාරී තත්වයක්
ඇතිවිය.අදාල විදෙස් ක්‍රීඩකයාට නරඹන්නන්ගේ ද දැඩි විරෝධතා එල්ල විය. මේ අනුව
විදෙස් ක්‍රීඩකයාට රතු කාඩ්පත ලබාදීමටත්, අදාල ගුවන් හමුදා ක්‍රීඩකයාට කහ
කාඩ්පත ලබාදීමටත් විනිසුරු ඒ.සී.තෙන්නකෝන් මහතා පියවර ගත්තේය.
.
|