මුද්‍රණය සඳහා

 
අභිමානවත්ව ජීවත්වෙන්න වැඩිහිටියන්ට ඉඩ දෙන්න

අභිමානවත්ව ජීවත්වෙන්න වැඩිහිටියන්ට ඉඩ දෙන්න

* වැඩිහිටියා හුදකලා බවින් මුදා ගනිමු

* නවක පරපුර යුතුකම් ගැන දැනුවත් විය යුතුයි

ක්තෝබර් 01 ට යෙදෙන ජාත්‍යන්තර වැඩිහිටි දිනය අළලා සැකසුණු ලිපියකි මේ.

ශ්‍රී ලංකාවේ සමාජ සංස්කෘතියට අනුව වැඩිහිටියා යනු සම්පතකි. සැමදා වැඩිහිටියන්ට ගරු කළ අපේ පවුල නිර්මාණය වී තිබුණේ මව, පියා, දූදරුවන්, ආච්චි, සීයා ආදී වශයෙන් එකම නිවසක් තුළ සතුටින් ජීවත්වීමටය. මේ පසුබිම තුළ අතීතයේ වැඩිහිටි නිවාස බිහි නොවූ තරම්ය. එහෙත් මිනිසුන් ආර්ථික වශයෙන් දියුණුව ලබත්ම සමාජයේ දියුණුව ඇතිවීමත් සමඟ විවිධ සමාජ ආර්ථික ගැටලු නිවස තුළ සිටින වැඩිහිටියන්ට බලපෑවේ ඉතා අවාසනාවන්ත ලෙසින්ය.

මේ ගැටලුව කෙතෙක් බැරෑරුම් වීද යනු මව්පියන් දරුවන්ට බරක් වන තරමට පුළුල් වී ගියේය. මෙහිදී අසරණ වූ වැඩිහිටියන් බොහෝ දෙනාට බලපෑවේ තමන්ට මහලු වියේදී කාහටත් අතනොපා ජීවත්වීමට ප්‍රමාණවත් ආදායමක් නොවීමයි.

තම තුරුණුවියේ දී ශ්‍රමය කාලය කැප කර උපයාගත් සියලු සේසතම දූදරුවන් නමට පවරා දී ජීවිතයේ සැඳෑ සමයට එළඹි වැඩිහිටියන්ට සැමදා දුක කඳුල උරුමකර නොදෙන්නට රාජ්‍ය අංශයෙන්ද යම් අත්වැලක් සැපයීමට සමාජ සේවා අමාත්‍යාංශය පියවර ගෙන ඇත්තේය. සාරධර්මවලින් පිරිපුන් අප සමාජය, වැඩිහිටියන්ට සැලකීමේ උතුම් ගුණධර්ම අතීතයේ සිටිම ඉටු කරනු ලැබීය. එහෙත් වර්තමාන පරපුර අතින් එම යුතුකම්, ගුණධර්ම ඉටු කිරීම අතපසුවීමට පටන්ගෙන තිබේ.

දරිද්‍රතාවය

ශ්‍රී ලංකාවේ වැඩිහිටියන්ගෙන් 23%ක් පමණ වූ පිරිසක් අති දරිද්‍රතාවයෙන් පෙළෙන බව සමීක්ෂණ වාර්තා තහවුරු කර ඇත. මේ තත්ත්වය මත වැඩිහිටි ජනගහනය මුහුණ දෙන අතුරු ගැටලු සංඛ්‍යාව බොහෝය. මේ තත්ත්වය සලකා බලා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මහින්ද චින්තන ඉදිරි දැක්ම යටතේ මෙරට වැඩිහිටියන් (ජ්‍යෙෂ්ඨ පුරවැසියන්) වෙනුවෙන් විවිධ සුබසාධන වැඩසටහන් රාශියක් ඉදිරිපත් කර ඇත.

එය වඩාත් අර්ථවත් කරන්නට සමාජ සේවා අමාත්‍යාංශය ද ඇමැති ෆීලික්ස් පෙරේරා මහතාගේ මඟ පෙන්වීම යටතේ වැඩසටහන් ක්‍රියාත්මක කරමින් සිටියි. ලෝකයේ වැඩිහිටි ජනගහනය ශීඝ්‍රයෙන් වර්ධනය වීමට සාපේක්ෂව ශ්‍රී ලංකාවේද ජනගහනය ඉතා ශීඝ්‍රයෙන් වර්ධනය වෙයි. 2000 වර්ෂයේ දී ශ්‍රී ලංකාවේ වැඩිහිටි ජනගහනය 9.3%ක් වූ අතර 2025 වන විට 25% හා 2050 වන විට 50%ක් විය හැකි බවට ගණන් බලා ඇත. වැඩිහිටියන් සතු සමාජ අත්දැකීම් සමුදාය අතිමහත්ය.

එය තරුණ පරපුර සමඟ හුවමාරු කර ගනිමින් ඔවුන් ද බලගන්වමින් රටේ යහපැවැත්ම මෙන්ම අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් ද දායක වීමට හැකි ශක්තිමත් පරපුරක් බිහිකිරීම අපගේ අරමුණයි. වැඩිහිටියන් සක්‍රීය සංවර්ධන ක්‍රියාවලියට දායක කර ගැනීමේ අරමුණින් ග්‍රාමීය මට්ටමේ සිට ජාතික මට්ටම දක්වා ව්‍යාප්ත වූ වැඩිහිටි සංවිධාන ව්‍යුහයක් මේ වන විට සමාජ සේවා අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් ගොඩ නඟා ඇත.

දීර්ඝායුෂ

වැඩිහිටි බව හුදකලා බවින් මුදා ක්‍රියාකාරි ප්‍රායෝගික ශක්තියක් බවට පත්කිරීම, රටේ සංවර්ධන ක්‍රියාවලියට මහත් ශක්තියක් වනවාසේම ජාත්‍යන්තර මූලධර්මවලට අනුකූලව නිදහස, සහභාගිත්වය, රැකවරණය, ආත්ම පරිපූර්ණත්වය හා ගරුත්වය ශ්‍රී ලාංකික ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට උදාකරලීම අපගේ අරමුණයි. මෙවර ජාත්‍යන්තර වැඩිහිටි දිනයේ තේමාව වන්නේ ‘සුවසෙත තුළින් දීර්ඝායුෂ’ යන්නයි. මෙය වඩාත් අර්ථවත් කිරීම සඳහා සමාජ සේවා අමාත්‍යාංශය මඟින් විශාල සේවාවන් රැසක් මේ වන විට ක්‍රියාත්මක කරමින් පවතී.

මේ වැඩපිළිවෙළ අනුව සමාජ සේවා අමාත්‍යාංශය හරහා ශ්‍රී ලංකාව තුළ ශීඝ්‍රයෙන් වර්ධනය වන වැඩිහිටි ජනගහනය රැකබලා ගැනීමට කටයුතු යොදා ඇත. ඒ සඳහා අවශ්‍ය සුබසාධන සේවා හා අයිතිවාසිකම් ඇතුළත් 2000 අංක 09 දරන වැඩිහිටි තැනැත්තන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ පනත අනුව පිහිටුවා ඇති, වැඩිහිටි තැනැත්තන් සඳහා වූ ජාතික සභාව මඟින් වැඩිහිටියන් වෙනුවෙන් ගනු ලබන සුබසාධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා අදාළ පනතේ 10 වෙනි වගන්තිය යටතේ පිහිටුවා ඇති ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලය මඟින් වැඩිහිටියන් වෙනුවෙන් පහත සුබසාධන ව්‍යාපෘති දියත් කර ඇත.

* ග්‍රාමීය වැඩිහිටි සංවිධාන පිහිටුවීම

* වැඩිහිටි හැඳුනුම්පත් නිකුත් කිරීම

* වැඩිහිටි දිවා සුරැකුම් මධ්‍යස්ථාන ආරම්භ කිරීම සහ රු: 25,000 ක මූලික උපකරණ ලබාදීම

* පුහුණු හා දැනුවත් කිරීමේ වැඩසටහනක් පැවැත්වීම

* අක්ෂිකාච නිකුත් කිරීම හා වෛද්‍ය සායන පැවැත්වීම

* වැඩිහිටි නිවාස අලුත්වැඩියා කටයුතු සඳහා ආධාර දීම

* වැඩිහිටියන් පිළිබඳ සම්මන්ත්‍රණ පැවැත්වීම

* වැඩිහිටියන් සඳහා සේවා හා ආධාර ලබාදීම

* වැඩිහිටි ආවරණ කැපකරු ක්‍රමය

* දරුවන් විසින් නොසලකන වැඩිහිටියන් ගේ නඩත්තු කටයුතු

* ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් වැඩිහිටි බලමණ්ඩල පිහිටුවීම

* දිස්ත්‍රික් මට්ටමින් වැඩිහිටි බලමණ්ඩල පිහිටුවීම

* වැඩිහිටියන් සඳහා වගා ව්‍යාපෘති ආරම්භ කිරීම

* ජාත්‍යන්තර වැඩිහිටි දිනය සැමරීම ආදියයි.

මහජන ආධාර

කිසිදු ආදායමක් නොමැති වැඩිහිටියන් නිවසට සමාජයට බරක් නොවීමට ඔවුනට මාසිකව යම් මුදලක් ලබාදීමට රජය පියවර ගෙන ඇත්තේය. එහිදී කිසිදු ආදායමක් නොලබන ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා මාසිකව මුදලක් ලබාදීමට සමාජ සේවා අමාත්‍ය ෆීලික්ස් පෙරේරා මහතා ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සංදේශයට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වූ අතර, එහි පළමු පියවර ලෙස අවුරුදු 70 වැඩි මහජනාධාර සහ සමෘද්ධි මුදල් ලබන ජ්‍යෙෂ්ඨ පුරවැසියන් මෙම දීමනාව ලැබීමට සුදුසුකම් ලැබූහ.

ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 70 වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ සංඛ්‍යාව 600,000 ඉක්මවයි. ඉන් මෙම දීමනාව ලැබීමට සුදුසුකම් ලබන්නේ 229,892 ක් පමණි. මෙම රුපියල් 1000 දීමනාව ලබාදීම සඳහා මාසිකව රුපියල් මිලියන 229.9ක් වැයවෙයි. විශේෂයෙන්ම වැඩිහිටියන්ගේ හුදකලා බව දුරුකර ඔවුන් සවිබල ගැන්වීමටත්, විවිධ සුබසාධන සේවාවන් ක්‍රියාත්මක කිරීමට උනන්දු කරවීමත්, ප්‍රාදේශීය සංවර්ධන ක්‍රියාදාමයට ඔවුන්ගේ සහභාගිත්වය ලබාගැනීමත් ඔවුන්ගේ ආර්ථික, සමාජීය, සංස්කෘතික, මානසික හා අධ්‍යාත්මික සංවර්ධනය ඉහළ නැංවීමත් අරමුණු කරගෙන දිවයිනේ සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ග්‍රාම සේවා වසම් ආවරණය වන පරිදි ග්‍රාමීය වැඩිහිටි කමිටු පිහිටුවා ඇත.

එසේ ස්ථාපනය කළ වැඩිහිටි කමිටුවකට එක්වරක ගෙවන රු: 5000 දීමනාවක් ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලය විසින් ලබාදෙනු ලැබේ. එසේම ඔවුන්ගේ ආර්ථික තත්ත්වය ඉහළ නැංවීමේ අරමුණින් ප්‍රාදේශීය කොන්ත්‍රාත් වැඩ කිරීමේ අනුමැතියද වැඩිහිටි සංවිධාන වෙත ලබා දී ඇත.

සත්කාරක සේවා

ග්‍රාමීය වැඩිහිටි කමිටු ආශ්‍රිතව වැඩිහිටි දිවා මධ්‍යස්ථාන පිහිටුවා ඇත. ඒ සඳහා ග්‍රාමීය පොදු ගොඩනැඟිලි යොදාගනු ලබන අතර ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ නිර්දේශය මත ඒවායේ කටයුතු පවත්වාගෙන යාම සඳහා එක්වරක් පමණක් ගෙවන රු: 25,000 මුදලක් ආධාර වශයෙන් ලබා දේ. එම දිවා මධ්‍යස්ථාන ආශ්‍රිතව වැඩිහිටියන්ගේ හැකියාව අනුව ආදායම් උත්පාදන කටයුතුවල යෙදීම සඳහා මූල්‍යාධාර ලබාදී ඇත. වැඩිහිටියන්ගේ මානසික හා අධ්‍යාත්මික සෞඛ්‍ය ප්‍රවර්ධන කිරීම සඳහා මනෝවිද්‍යාත්මක පුහුණු වැඩසටහනක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් පවත්වනු ලැබේ.

තම දෙමාපියන් රැකබලා ගැනීමට හා ඔවුන්ට සාත්තු සප්පායම් කිරීමට දරුවන්ට නොහැකි අවස්ථාවලදී ඒ සඳහා පුහුණු සත්කාරක සේවා සපයන්නෙකුගේ සේවය ලබාදීම අරමුණුකොට ගෙන වැඩිහිටි සත්කාර සේවාවක් ද ආරම්භ කර ඇත. තම දරුවන්ගෙන් නිසි ලෙස රැකවරණය නොලැබෙන දෙමාපියන් හට වැඩිහිටියන් සඳහා වූ නඩත්තු මණ්ඩලයට තම පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් අනතුරුව තමන්ට ඒ සඳහා සාධාරණයක් ඉටු කර ගැනීමට අවස්ථාව සැලසේ.

අමාත්‍ය ෆීලික්ස් පෙරේරා මහතාගේ සංකල්පයකට අනුව දිවයින පුරා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 162 පමණ මේ වන විට සමාජ සත්කාරක ජංගම සේවා පැවැත් වූ අතර මේ මඟින් වැඩිහිටියන්ට මෙන්ම ආබාධිත අය සඳහා ද සේවාවන් රාශියක් ලබාදෙන ලදී. වැඩිහිටියන් සඳහා අක්ෂි සායන නොමිලේ ඇස් කණ්ණාඩි, රෝද පුටු, කිහිලිකරු, අත්වාරු, ශ්‍රවණාධාරක, ඖෂධ ලබාගැනීම සඳහා මූල්‍යාධාර ලබාදීමද සිදුකරන ලදී. මේ සියලු සත්කාරක සේවාවන් ක්‍රියාත්මක වුවද සමාජය වෙත ලබාදිය යුතු පණිවිඩය වන්නේ අපේ වැඩිහිටියන් අප පවුල තුළම රඳවා ගනිමින් ඔවුනගේ නිදහස හා ස්වාධීනත්වය රැකෙන පරිදි කටයුතු කළ යුතුය යන්නයි. එහිදී ඔවුනට අභිමානවත් ජීවිතයක් ගත කිරීමට පරිසරයක් ගොඩනඟා දීමෙන් කාර්යශීලී වැඩිහිටි පරපුරක් ඇති රටක් ගොඩනැඟීමට අපට හැකිවනු ඇත.

ස්තුතිය: සමාජසේවා අමාත්‍යාංශයේ මාධ්‍ය ලේකම් ජයන්ත සේනානායක මහතාට


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2012 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
webmanager@lakehouse.lk