මුද්‍රණය සඳහා

 
ලොව විරැකියාව අවම රටවල් අතරට ශ්‍රී ලංකාවත්

ලොව විරැකියාව අවම රටවල් අතරට ශ්‍රී ලංකාවත්

රටේ සංවර්ධනයත් සමඟ රාජ්‍ය හා පෞද්ගලික අංශය ශක්තිමත් කරමින් ඉදිරියට ගමන් කරන ශ්‍රී ලංකාව ලෝකයේ විරැකියාව අවම රටවල් අතරට එක්වෙයි.

පසුගිය වසරේ දෙවැනි කාර්තුව වනවිට ශ්‍රී ලංකාවේ සේවා ව්‍යුක්තිය සියයට 3.9ක් තරම් පහළ අගයක් ගෙන තිබූ අතර ගෝලීය ආර්ථික අර්බුදයන් හමුවේ වුවද විරැකියාව අවම කිරීම සඳහා ශ්‍රී ලංකා රජය අනුගමනය කළ ක්‍රියාමාර්ග හේතුවෙන් මේ තත්ත්වය ළඟාකර ගැනීමට හැකිවී තිබෙන බව ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පෙන්වාදෙයි.

දකුණු ආසියානු කලාපීය රටවල් අතරේ ගත්කළ ශ්‍රී ලංකාවේ සේවා නියුක්තිය ඉහළ මට්ටමක පවතින අතර එය පසුගිය 2012 වසරේ දෙවැනි කාර්තුව වනවිට සියයට 96.1ක අගයක් බවද සංඛ්‍යාත්මකව රටේ ජනගහනයෙන් පුද්ගලයන් ලක්ෂ 17 ක් පමණ වන බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

පසුගිය 2005 වසරේ සිට ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන් 125,000 කට පමණ රැකියා ලබා දෙන්නට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ රජය පියවර ගෙන තිබෙන අතර එම වසරේදී උපාධිධාරීන් 45,000 කට එකවර රැකියා ලබාදීමද විශේෂත්වයකි.

මේ අතර තරුණ අරුණ වැඩසටහන යටතේ උපාධිධාරීන් 10,000 කට රැකියා ලබාදීමට රජය පියවර ගෙන තිබෙන අතර මේ වසරේදී (2013) උපාධිධාරීන් 51,321 දෙනෙකු සඳහා රැකියා ලබාදීමේ වැඩසටහන දැනටමත් ආරම්භකර තිබෙන බව ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තු වාර්තා පෙන්වාදෙයි.

යුද ගැටුම් නිමාවීමත් සමඟ උතුරු හා නැඟෙනහිර පළාත්හි තරුණ තරුණියන් සඳහා රැකියා අවස්ථා ලබාදීමටද වත්මන් රජය පියවර ගෙන තිබෙන අතර එය රටේ සංවර්ධනය වේගවත් වීමටද බෙහෙවින්ම බලපා තිබේ.

ඊට අමතරව ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් විදේශ රටවලට යෑමේදී විධිමත් පුහුණුවක් ලබාදීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පියවර ගෙන තිබෙන අතර එහි ප්‍රතිඵලයක් වශයෙන් ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් සඳහා වැඩි වැඩියෙන් ඉල්ලීම් පැමිණෙමින් තිබේ.

ඇමෙරිකා එක්සත් ජනපදය, කැනඩාව, ජර්මනිය, ප්‍රංශය, ඉතාලිය, එක්සත් රාජධානිය ඇතුළු ලෝකයේ රටවල් රැසක ශ්‍රමිකයන් විශාල ප්‍රමාණයක් මෑතකදී ඉවත්කර දැමූ අතර ලෝක මට්ටමින් එවැනි තත්ත්වයක් පැවතියදී ශ්‍රී ලංකාවේ රැකියා ව්‍යුක්තිය අවම මට්ටමක පවත්වාගෙන යාම අතිශයින්ම වැදගත් බව ආර්ථික වි‍ශ්ලේෂකයෝ පෙන්වා දෙති.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2013 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
webmanager@lakehouse.lk