මුද්‍රණය සඳහා

 
කොච්චර දුන්නත්; මදි කියන ජාතියක්!

කොච්චර දුන්නත්; මදි කියන ජාතියක්!

ආකර්ෂණීය ප්‍රවෘත්ති සඳහා කුමන විෂයයක් පසුපස හඹා යා යුතු දැ’යි ප්‍රශ්න කරන ලදු ව; එක්තරා මහාචාර්යවරයෙක් මෙසේ පිළිතුරු දුන්නේ් ය. ප්‍රවෘත්ති යනු ලිංගිකත්වය, මුදල් හුටපට හා අපරාධ හුවා දැක්වීම යි. ඒවා සජීවී ලෙස නිරූපණය කිරීමයි. ඉන් එහා ගිය ආකර්ෂණීය ප්‍රවෘත්තියක් නැත. අපේ රටේ ජනමාධ්‍ය දෙස බැලුවහොත්; එතුමාගේ කතාව හරියට ම හරි ය.

රූපවාහිනියේ ප්‍රවෘත්ති බලන්න! එහි ඇත්තේ වෘත්තීය සමිති නායකයන් වැඩ වර්ජන සම්බන්ධයෙන් කරන තර්ජනාංගුලිය. ඒ පසුපස ඇත්තේ මුදල් හුටපට ය. පත්තරයක් පෙරළන්න! එහි වැඩිපුර ම ඇත්තේ ස්ත්‍රී දූෂණ හා මංකොල්ලකෑම් ය. සඟරාවක මුල් කවරය බලන්න! අඩ නිරුවත් තරුණියන්ගේ කාම රූපවලින් ඒවා සැරසී තිබේ.

ශ්‍රී ලංකාවේ තරම් වැඩ වර්ජන, උද්ඝෝෂණ, පෙළපාලි, අකුරට වැඩ කිරීම් පවතින රටක් ලෝකයේ කොතැනකවත් නැත. පාඩු ලබන ආයතනවල සේවකයෝ ප්‍රසාද දීමනා ඉල්ලා පෙළපාලි යති. රාජ්‍ය භාණ්ඩාගාරයෙන් පාඩුව පියවාගන්නා දෙපාර්තමේන්තුවල සේවකයෝ වැඩි පඩි ඉල්ලා වැඩ වර්ජන කරති.

සමහරු තමන්ගේ නිල ඇඳුම වෙනස් කරන්නැ’යි අකුරට වැඩ කරති. මේ අතර තවත් පරස්පරයක් සිදුවෙමින් පවතී. එනම්; නියඟයට, ගංවතුරට, සුනාමියට, වගා පාළුවට, සැඩසුළඟට පමණක් නොව යුද්ධයෙන් බැට කෑ ජනතාවටත් ආණ්ඩුවෙන් ආධාර බෙදාගෙන යෑම ය. සහනාධාරවල කෙළවරක් නැත.

රටේ ප්‍රධාන පුරවැසියා පෙරේදා අරලියගහ මන්දිරයේ දී අපූරු කතාවක් කියා සිටියේ ය. එනම්; විවිධ ප්‍රචණ්ඩ ක්‍රියාවන්ට හසු වූ ජනතාවට වන්දි ලබා දෙන එක ම රට ශ්‍රී ලංකාව බව ය. ත්‍රස්තවාදී ක්‍රියා නිසා විපතට පත් වූ උතුරේ ජනතාවට වන්දි ලබා දෙමින් ජනාධිපතිවරයා එම කතාව කියා තිබිණි. යාපනය, කිලිනොච්චිය, වවුනියාව, මුලතිව්, මන්නාරම යන දිස්ත්‍රික්කවලට අයත් පවුල් 1200ක් සඳහා මේ වන්දි ප්‍රදානය සිදු කැරිණි. එහෙත් අපේ ජනමාධ්‍යයට එය ප්‍රධාන පුවතක් වූයේ නැත. සහනාධාර සඳහා මිනිසුන් සටන් වදින්නේ වුව; ඒවා කෙරෙහි කෘතවේ දී ලෙස බලන සමාජයක් අපට නැත.

බෲතෝස්, බෲතෝස් ගාලි මහතා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු මහ ලේකම්වරයෙකි. ඔහු යුක්ති සහගත ලෝක නායකයකු ලෙස ද, සංවර්ධන කටයුතු පිළිබඳ විශේෂඥයකු ලෙස ද සැලකේ. ඒ මහතා සංවර්ධනය යන්න විග්‍රහ කරනුයේ සුභ-සාධනය වැඩි කිරීමක් ලෙස ය. සුභ-සාධනය යන්න පුළුල් අර්ථයක් සහිත සංකල්පයෙකි. එහි හරය වන්නේ මිනිසා ආර්ථික වශයෙන් මෙන් ම සාමාජීය වශයෙන් ද ශක්තිමත් කොට ඔහු සජීවී – යහපත් මිනිසකු බවට පත් කිරීම ය. සහනය, නිදහස, නිවහල්බව යන අර්ථ සහිතව ද සුභ - සාධනය යන්න කියවනු ලැබේ. ඒ අතින් බලන විට රජය සහනාධාර දෙන්නේ පිං පඩියක් ලෙස සලකාගෙන නොවේ.

රටක පාලකයාගේ පරමාර්ථය විය යුත්තේ කුමක් ද? රට මිනිස් වාසයට සුදුසු ස්ථානයක් බවට පත් කිරීම ඔහුගේ පළමු වගකීම වේ. ඒ සඳහා යුද බිය, රෝ බිය, මරණ බිය, ප්‍රචණ්ඩත්වය නැති කළ යුතු ය. රටේ පාරවල්, ගොවිතැන්, කර්මාන්ත දියුණු කළ යුතු ය. අධ්‍යාපනය,රැකීරක්ෂා යන ක්ෂේත්‍ර වැඩිදියුණු කළ යුතු ය.

වත්මන් නායකයා පළමුව යුද බිය තුරන් කොට නිදහස හා සාමය පුරවැසියාට ලබා දුන්නේ ය. ඊළඟට රටට අලුත් සංවර්ධන ප්‍රවේශයක් ලබා දුන්නේ ය. එහෙත් මේ රටේ වෘත්තීය සමිති නායකයන් හා ඇතැම් දේශපාලකයන් මේ තත්ත්වය තේරුම්ගත් බවක් පෙනෙන්නට නැත. මොවුන් කරනුයේ ආණ්ඩුවේ කකුලෙන් අදින වැඩ ය.

ලෝක බැංකුව තුන්වන ලෝකයේ රටවලට ලබාදෙන ණය හා ආධාර සඳහා කොන්දේසි පහක් පනවා තිබේ. එහි තුන්වන කොන්දේසිය දේශීය කර්මාන්තකරුවන් සඳහා වන සහන කපා හරිනු යන්න ය. හතරවන කොන්දේසිය සමාජ සුභ-සාධන හැකිතාක් අඩු කරනු යන්න ය.

පස්වන කොන්දේසිය රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීම නවතනු යන්න ය. ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා ලෝක බැංකුවෙන් ණය ලබා ගත්ත ද කිසිදු සහනාධාරයක් කපා හැරියේ නැත. වැටුප් වැඩි කිරීම් නවතා දැමුයේ නැත. දේශීය කර්මාන්තකරුවනට ද උපරිම සහන ලබා දී තිබේ. ශ්‍රී ලංකාව සුභ-සාධන රාජ්‍යයක් ලෙස හැඳින්විය හැකි අතර නව සංවර්ධන ප්‍රවේශයක් ළඟා කරගත් රාජ්‍යයක් ලෙස ද ලෝක ආර්ථික විශේෂඥයන්ගේ පැසසුමට ලක් ව තිබේ.

චීනයේ බස්නාහිර පළාතේ යුන්ආන් ප්‍රාන්තයේ කුංමින් නගරයේ සංචාරයක යෙදීමේ අවස්ථාව අපට ලැබී තිබිණි. එම ප්‍රාන්තයේ පොදු පහසුකම් ඉහළ මට්ටමක තිබේ. සංවර්ධනය ආකර්ෂණීය මට්ටමක පවතී. සියලු දෙනා ම පාහේ රැකීරක්ෂාවල නිරත වෙති.

එහෙත් කිසිවක් නොමිලේ ලැබෙන්නේ නැත. එහි ආණ්ඩුකාරවරයා ශ්‍රී ලංකාවේ තත්ත්වය කෙබඳුදැ’යි විමැසී ය. අපගේ පිළිතුර වූයේ සෞඛ්‍යය, අධ්‍යාපනය නොමිලේ ලබා දෙන බව ය. දුප්පතුනට සමෘද්ධිය ලබා දෙන බව ය. එහි ආණ්ඩුකාරයා පුදුමයට පත්විය.

එලෙස ම අපේ සංවර්ධනය හා සහනාධාර ගැන ඔහු සිය සතුට පළ කළේ ය. චීනය සංවර්ධනය අතින් ලොව වේගවත් ම රාජ්‍යය වුව; මහජනයාට සහනාධාර ලබා දෙන්නේ නැත. බෙහෙත් පෙත්තට ද මිලක් ගෙවිය යුතු ය.

ශ්‍රී ලංකාවේ දේශපාලන තත්ත්වය වටහා ගැනීම සඳහා එක් අපූරු නිදර්ශනයක් ඉදිරිපත් කළ හැකි ය. එනම්; උතුරේ පැවැත්වීමට නියමිත පළාත් සභා ඡන්දය යි. මේ පළාත වසර තිහක් තිස්සේ ම පැවැතියේ ත්‍රස්තවාදීන්ගේ තුවක්කු බලය යටතේ ය.

ඡන්දයක් පැවැත්වීම හුදු සිහිනයක් පමණි. එදා දෙමළ දේශපාලකයන් මරණ බිය නිසා ම උතුරට ගියේ ද නැත. උතුර ත්‍රස්තවාදයෙන් නිදහස් කොට එහි ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයක් පැවැත්වීමට යන විට ඇතැම් දේශපාලකයන් කියා සිටිනුයේ අපට ඉඩම් හා පොලිස් බලතල අවශ්‍ය බව ය. මේ දේශපාලකයන්ට ඉතිහාසය මතක නැත.

ඉතිහාසය අමතක දේශපාලකයන්ගෙන් ද රට ගැන හා ආයතනය ගැන නො හිතන වෘත්තීය සමිති නායකයන්ගෙන් ද, අකෘතඥ මිනිසුන්ගෙන් ද මේ රට පිරී ගොසිනි. ශ්‍රී ලංකාවේ ඇත්තේ සාරධර්ම පිළිබඳ ගැටලුවක් මිස; සම්පත් පිළිබඳ ගැටලුවක් නොවේ. ඇතැම් දේශපාලකයන්ගේ දෙබිඩි පිළිවෙත් නො වන්නට රටේ සංවර්ධනය තවදුරටත් වේගවත් වනු ඇත.

වෘත්තීය සමිතිකාරයන්ගේ බලහත්කාරයන් හා මෝඩකම් නො වන්නට ශ්‍රී ලංකාවේ සුභ- සධන තවදුරටත් ශක්තිත් වනු ඇත. එහෙත් මේ දෙබිඩි පිළිවෙත් හා මෝඩකම් කව දා නිමා වේ දැයි කිසිවකුට කිව නො හැකි ය.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2013 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
webmanager@lakehouse.lk