රටේ ආරක්ෂාවට අවශ්‍ය යුද අවි ඉන්දියාවේම නිපදවීමට මෝදිගෙන් ප්‍රතිඥා | දිනමිණ

රටේ ආරක්ෂාවට අවශ්‍ය යුද අවි ඉන්දියාවේම නිපදවීමට මෝදිගෙන් ප්‍රතිඥා

ආරක්ෂක කටයුතු වෙනුවෙන් වැඩියෙන්ම යුද ආයුධ සහ ආම්පන්න ආනයනය කරන අංක එකේ රට ඉන්දියාවයි. ඉන්දියාව ‍එම තත්ත්වයෙන් මුදා ගැනීමට කටයුතු කරන බවට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි බදාදා ප්‍රතිඥා දී තිබේ. මේ වසර අවසානය වීමට පෙර ඉන්දියාවේ ආරක්ෂාව වෙනුවෙන් අවශ්‍ය ආයුධ ආම්පන්න වලින් 70%ක් වත් ඉන්දියාවේම නිපදවා ගත යුතු බව ඔහු අවධාරණය කර තිබේ.ඉන්දියාව දැනට නිෂ්පාදනය කරන්නේ ආරක්ෂක ආම්පන්නවලින් 40%ක් පමණි.
 
ඉන්දීය අගමැතිවරයා මේ අදහස් පළකර තිබුණේ දේශීය මෙන්ම විදේශීය ව්‍යාපාරිකයන් රැසක් සහභාගිවී සිටි ඒරෝ ඉන්ඩියා යනුවෙන් නම්කර තිබූ බැංගලෝර් හි පැවති ගුවන් යානා කර්මාන්ත ක්ෂේත්‍රයේ ප්‍රධාන පෙළේ සම්මන්ත්‍රණයකදී ය. ආරක්ෂාවට අවශ්‍ය යුද ආම්පන්න ගිවිසුම්වලට ඇතුළත් වීමේදී ස්වදේශීය සමාගම් සමඟ එවැනි ගිවිසුම් ඇතිකර ගැනීමට ප්‍රමුඛතාව දෙන බවදඔහු වැඩිදුරටත් පවසා ඇත. ඉන්දියාවේ නිෂ්පාදන ක්ෂේත්‍රය වර්ධනය කිරීමේ සැලැස්මේ කොටසක් වශයෙන් මෙය ක්‍රියාත්මක වනු ඇත.
 
ඉන්දීය හමුදාව පැරණි සහ යල්පැන ගිය ආයුධ වෙනුවට නවීන ආම්පන්නවලින් සන්නද්ධ කිරීමට කටයුතු කරන බවටද අගමැති පවසා
 
තිබේ. මේ අතර එම කර්මාන්ත ක්ෂේත්‍රයේ විදේශීය ආයෝජනය වැඩිකර ගැනීමටද අගමැතිවරයා සැලසුම් කර ඇත.මෙම කර්මාන්තය ඉන්දීය ආර්ථිකය වේගයෙන් වර්ධනය කිරීමේ විභවයක් ඇති කර්මාන්තයක් වශයෙන් ද හඳුනාගෙන තිබේ.එම ක්ෂේත්‍රය වර්ධනය කිරීම තුළින් බිලියන ගණනාවක මුදලක් ඉතිරිකර ගත හැකිවාක් මෙන්ම රටේ සුරක්ෂිතතාවද වැඩි දියුණු වනු ඇතැයි අගමැතිවරයා විශ්වාසය පළ කරයි.
 
මේ අතර මෙමඟින් අතිරේක රැකියා 100 000- 120 000 ක් පමණ උත්පාදනය වනු ඇතැයි ද උපකල්පනය කර ඇත. එම රැකියා විශේෂිත පුහුණු ගණයේ රැකියා වීම විශේෂත්වයකි.

නව අදහස දක්වන්න

Or log in with...