අනේ! උන් සැම ගියා වනයට | දිනමිණ

අනේ! උන් සැම ගියා වනයට

අලි පැටවු කිව්වත් ඔවුන් දරු පැටවු තරමටම සුරතල්. කිරි අලි සප්පයන් විදිහට කැලයේ නැත්නම් මිනිස් වාසයන් ආශ්‍රිත ප්‍රදේශවල අතරමං ව හවු හරණක් නැතිව අනාථව සිටි ඔවුන් මිනිස් ඇසුරට, මිනිස් ආරක්ෂාවට යොමුවුණේ අමුතු වාසනා ගුණයකින්ය කියා කීවත් වරදක් නැහැ. මවු කිරි නොලැබුණත් ඔවුනට කිරිකටක් කෑම ටිකක් ලැබුණා. මවු පිය සෙනෙහසක් නැති වුණත්
 
කැපකරු මවුපිය සෙනෙහස ලැබුණා. දරු පැටවු වගේ නෙමෙයි අලි පැටවු එක ළඟ හිටියත් එක්කෙනාගෙන් වෙන්කර හඳුනාගන්න අපහසුයි. ඒත් ඔවුන් සමඟ නිතර ගැවසුණු අයට ඒ කියන්නේ ඇත් අතුරු සෙවණ බාර පශු වෛද්‍ය බී. විජිත පෙරේරා ඇතුළු කාර්ය මණ්ඩලයට ඔවුන් එකිනෙකාගෙන් වෙන්කර හඳුනාගැනීම එතරම් අපහසු වුණේ නැහැ. ඔවුන් ඒ පැටවුන්ට නම් පවා තැබුවා.
 
පැටවා හමුවුණු ප්‍රදේශයේ නමත්, පැටවාට ලැබෙන නමට එකතු කිරීම සිරිත. ඒ වගේම කැපකරු බාරකාර ක්‍රමය යටතේ අලි පැටවු ලබාගන්නා අයටත් පැටවුන්ට නම් තියන්න පුළුවනි. මේ තියන කාණ්ඩයට අලි පැටවු දහදෙනෙක් අයත් වුණා. ඒ අයගේ නම් දෙගම්බඩ, සමරි, මත්තල, ගයනි, බුවනජ, වාකරේ, මොරිසා, කේන්, උමා සහ ශ්‍රීමාලී එතෙක් හුරු පුරුදු මිනිස් ඇසුරින් මුදා ඔවුන් වනයට පිටත් කරන්නයි මේ සූදානම.
 
එදින උදේ මේ අලි පැටවුන්ට කවා පොවා තොරතුරු ලබාගන්නා කර පටියක් දැම්මා. මේ කර පටියෙන් සතුන් කැලයට නිදහස් කළ පසු ඔවුන්ගේ තොරතුරුත් සොයා බලන්න පුළුවන්. මේ සඳහා විශේෂ නිලධාරි කණ්ඩායමක් යොදවලයි තියෙන්නේ.
 
නිතර නිතර මේ අයගේ තොරතුරු අපට දැනගන්නට පුළුවන්. සතුන් වනෝද්‍යානයට මුදාහැරීමට පෙර සතුන්ගේ ශරීරයේ ගොම තැවරුවා. එහෙම කරන්නේ වනයේ සිටින අලි ඇතුන්ට මිනිස් ගඳ නොදැනෙන්ටයි. මොකද මේ අය ඒ අයගේ ඇසුරට යනකොට මිනිස් කුයිල දැනුණොත් මේ පැටවුන් ප්‍රතික්ෂේප කරනවා.
 
මේ සියලු දේ නිම කර අලි පැටවුන් වනයට ගෙන යෑමට සූදානම් වන අවස්ථාව ඉතාමත් සංවේගජනක අවස්ථාවක් වුණා. එක එකා ලොරියට පටවන විට අනෙකුත් පැටවුන් ඊට බාධා කරන්න පටන් ගත්තා. සමහර අවස්ථාවල මේ පැටවුන් හදා වඩා ගත් සේවක මහතුන්ට සිද්ධ වුණා සතුන් බලයෙන්ම ලොරියට පටවන්න. අවුරුදු 05 ක් 06 ක් නාවලා, කිරි දීලා සතුන් හදා වඩා ගත්ත මේ සේවක මහතුන් ඒ සතුන්ගේ අම්මා තාත්තා වගේ. සමහර අවස්ථාවල නම් කියලා කතා කරනකොට ළඟටම එනවා.
 
මේ සතුන් ලොරියට පටවන අවස්ථාවේ එම සේවක මහතුන් ‍එම කාර්යය කළේ උණු කඳුළු වගුරවමිනි. දෙගම්බඩ ලොරියට නඟින්න කොහොමවත් කැමති වුණේ නෑ. තමන් එක්ක එකට හැදුණ වැඩුණ අනික් සහෝදර රැලත් අම්මා තාත්තා වැනි සේවක මහතුනුත් දාලා යන්න එයා කැමති වුණේ නැහැ. ඉස්සෙල්ලම දෙගම්බඩ තමයි ලොරියට පැටෙව්වේ. ගගනි හරි මුරණ්ඩුයි.
 
මට බෑ කියලා කකුලක් උස්සා ගත්තා. කකුලක් උස්සල කිවුවා මට යන්න බෑ කියලා. “මේක අපටත් හරි සංවේදී අවස්ථාවක් වුණා. අවසාන වශයෙන් අලි පැටවුන් පටවා ගත්ත වාහනය උඩවලව වනෝද්‍යානය ඇතුළට ඇදී ගියා.” ඇත් අතුරු සෙවණ බාරව කටයුතු කරන පශු වෛද්‍ය බී. විජිත පෙරේරා මහතා දුකෙන් කීවා.
 
වාහනය වනෝද්‍යානය ඇතුළට කි. මී. 7 ක් පමණ දුරින් පිහිටි ගෝනවිද්දගල ප්‍රදේශයට ගියා. එතන තිබෙන ගල් තලාවක් අසලට ස්වාමීන් වහන්සේ නමක් සූදානම් වෙලා සිටියා මේ සතුන්ට සෙත් පතන්නට. ඒ ආගමික කටයුත්තට සංචාරක නියෝජ්‍ය ඇමැතිතුමා ඇතුළු වන ජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන් බොහෝ දෙනෙක් ද සම්බන්ධ වුණා.
 
මේ සතුන් කැලයට මුදාහරින මොහොත ළඟා වුණා. ඒ අවස්ථාවේ ස්වාමීන් වහන්සේ විසින් පිරිත් සජ්ඣායනා කොට ආශීර්වාද කළා. වාහනයෙන් බැසගත් මේ අලි පැටවුන් තමන්ගේ නිජබිම වෙත සෙමෙන් සෙමෙන් පා නැඟුවා. එසේ පා නඟමින් අසල ඇති වලවේ ගඟට කෙමෙන් ළඟා වුණා. මේ වන විට අන්ධකාරය පැතිරෙමින් තිබුණ නිසා සතුන් කැලයට පිටත් කිරීමට එහි ගිය සියලු දෙනාම වනයෙන් එළියට ආවේ මිනිසුන්ගේ කෙනෙහිළිකම් නිසා මේ සතුන්ට මේ වගේ ඉරණමක් අත්වූවා නොවේද කියා සිතමිනි.
 
1995 ඔක්තෝබර් මස 06 වන දින වන සත්ව සහ වෘක්ෂලතා ආඥා පනතේ 2 වන කොටසේ 29 වන වගන්තියට එනම් අලි අනාථාගාරය හෝ ඒ හා සමාන ආයතන අධ්‍යක්ෂවරයාගේ කැමැත්ත මත ජාතික රක්ෂිත හෝ අභයභූමිවල ගස් පිටස්තර පිහිටුවීමට ඉඩකඩ තිබෙනවා. ඒ අනුව 1998 වර්ෂයේදී ප්‍රථම වරට උඩවලව ඇත් අතුරු සෙවණ ආරම්භ කළේ ඒ පනතට අනුවයි.
 
ඇත් අතුරු සෙවණට දිවයිනේ සෑම ප්‍රදේශයකින්ම අනාථ සහ අසරණ අලි පැටවුන් රැගෙන යනවා. මෙම අලි පැටවුන් බොහෝ විට වළවල් වල සිරවී සිටීම නිසා සහ වෙඩි වැදීම නිසා ඇතිවූ තුවාලවලින් අඩපණ වී සිටි අය. ඇතැම් විට දින ගණනක්ම නිරාහාරව සිටි අය. අලි පැටවුන් ඇත් අතුරු සෙවණ වෙත පැමිණෙන්නේ ඉතාම අසාධ්‍ය තත්ත්වයකින්. දින ගණනක් මව් සෙනෙහස නොලැබීම නිසා ඇතැම් විට එවැනි අලි පැටවුන් ඉන්නේ මානසික වශයෙන්ද බෙලහීනවයි.
 
අතරමංව නැතිනම් අනාථ අසරණ වූ අලි පැටවුන් වනජීවී සංරක්ෂණ නිලධාරීන්ට හමු වූ වහාම මුළුමනින්ම උත්සාහ ගනුයේ එවැනි අලි පැටවුන් මවට හෝ රංචුවට භාරදීමට ඇති හැකියාව පරීක්ෂා කිරීමටයි. මව හෝ රංචුව සොයාගැනීමට අපහසු අවස්ථාවලදී මේ කටයුත්ත ඉටු කිරීමට අවකාශ නැහැ.
 
බොහෝ විට මෙලෙස හමුවන අනාථ අලි පැටවුන්ගේ මව වෙඩි පහර කා මිය ගිහින්. එසේ නැතහොත් රංචුව ඒ ආසන්නයේ සොයා ගැනීමට නොලැබෙන අවස්ථා ද තිබෙනවා. ඇතැම් අවස්ථාවල වළවල්වල වැටී අසරණව සිටි අලි පැටවුන් ගොඩගෙන රංචුවට ‍භාරදීමට උත්සාහ කළ විට ද පැටවා මිනිසුන්ගේ ඇසුරට පත්වීම නිසා පැටවා එසේ යෑම ප්‍රතික්ෂේප කරන අවස්ථා ද නැතුවා නෙමෙයි.
 
ඇත් අතුරු සෙවණේ වෙසෙන මෙම අලි පැටවුන්ගේ නඩත්තුව සඳහා එක් අලි පැටවෙකුට රුපියල් 25,000/- ක පමණ මුදලක් වැය කිරීමට සිදු වෙනවා. වනජීවී දෙපාර්තමේන්තුව මඟින් ආරම්භ කරන ලද කැපකරු මාපිය ක්‍රමය යටතේ අලි පැටවුන්ගේ නඩත්තුව සඳහා මේ සතුන්ට ආදරය කරන දෙස් විදෙස් බොහෝ ආයතන හා පුද්ගලයින් ඉදිරිපත් වී සිටිනවා. ඒක ඒ සතුන්ගේ වාසනාවක්.
 
අලි පැටවුන්ගේ කැපකරු භාරකරුවනට ඇත් අතුරු සෙවණින් විශේෂ වරප්‍රසාද කිහිපයකුත් හිමි වෙනවා. අලි පැටියාට නමක් තැබීමට අවසර ලැබීම, අලි පැටියාගේ ඡායාරූප ගැනීමට අවසර ලැබීම, කැපකරු භාරකරුගේ නම සහ අලි පැටවාගේ නම සහිත පුවරු ඇත් අතුරු සෙවණේ හා වනජීවී ප්‍රධාන කාර්යාලයේ ප්‍රදර්ශනය කිරීම, වසරකට ‍වරක් දින දෙකක උපරිමයකට යටත්ව උඩවලව ජාතික උද්‍යානයේ සංචාරක බංගලාවක නොමිලයේ නවාතැන් ගැනීමට අවසර ලැබීම, අලි පැටවා වනයට මුදාහරින විට සියතින් මුදාහරින්නට අවසර ලැබීම වැනි දේ ඒ අතර තිබෙනවා.
 
නෙදර්ලන්තයේ ෆ්රෙන්ඩ්ස් ඔෆ් එලිෆන්ට් (Friends of Elephants) අලි පැටවුන්ට කැපකරු භාරකරුවන් ලෙස කටයුතු කළ ආයතනයක් එවැනි ඇත් අතුරු සෙවණේ පැටවුන් දස දෙනකුගේ බාරකාරත්වය දරනවා. එහි නියෝජිතයකු වන රොබි ෆෙබර් මහතා අලි පැටවුන් වනයට මුදාහැරීමේ අවස්ථාවට සහභාගි වී සිටියා. මේ ඔහුගේ අදහස්.
 
“මේ අවස්ථාවට සහභාගි වන්නට ලැබීම ගැන මම සතුටු වෙනවා. දෙපාර්තමේන්තුව බාර නියෝජ්‍ය ඇමැතිතුමාත්, වනජීවී අධ්‍යක්ෂ ජනරාල්තුමියත් මුණගැහෙන්න මට අවස්ථාව ලැබුණා සතුටුයි. අපේ ආයතනයේ ඇත් අතුරු සෙවණේ පැටවුන් දහදෙනකුට දායකත්වය සපයනවා. අපි ලංකාවේ අලින්ට විශේෂයෙන් ආදරෙයි.
 
අද වනයට මුදාහරින පැටවු දහයෙන් තුන්දෙනෙකුටම අපි දායකත්වය දුන්නා. ඒ අයගේ නම් දෙගම්බඩ, ඇම්බර්, ඉන්දි. ඉන්දිට ඇම්බර්ට නම් තැබුවේ අපේ ආයතනයෙන්. දැනටත් අපි කතාරි, මලින්දු, සිරිමලී, මැණිකේ, සර්කියුලිස්, වාසල, නාමල්, කළණ, දීඝවාපි ඒ අයගේ නම්.
 
රොබට් ෆෙබර් විදේශිකයෙක්. එහෙත් ඔවුන් අපේ ඇත් දරුවන්ට ආදරය කරනවා. එහෙත් අපේ අයගේ කටයුතු හේතුවෙන් නැතිවන අලි ඇතුන් ප්‍රමාණය කොතරම් ද? මවුපියන් අහිමිවන අලි දරුවන්ගේ සංඛ්‍යාව කීයක් ද? අලි - මිනිස් ගැටුම ඒ. අපි ඒ තත්ත්වය හඳුන්වන නම. මිනිස්සුන්ට අලිත්, අලින්ට මිනිස්සුත් කරදරයක්ව ඇති අලි අතින් මිනිස් ජීවිතත්, මිනිසුන් අතින් අලි ජීවිතත් වැනසෙන යුගයක ඇත් අතුරු සෙවණේ වනයට ගිය අලි දරුවනට අනාගතයේ මුහුණදීමට සිදුවනු ඇත්තේ කවර අත්දැකීමකට විය හැකි ද?

අදහස් 1ක් ඇත

පිටු

නව අදහස දක්වන්න

Or log in with...