මෝදි අතින් අද විවෘත වන මඩු - තලෙයිමන්නාරම් රේල් පාර | දිනමිණ

මෝදි අතින් අද විවෘත වන මඩු - තලෙයිමන්නාරම් රේල් පාර

උදිත ගුණවර්ධන
තුන්වන වේදිකාවට පැමිණි දුම්රිය අනුරාධපුර, මැදවච්චිය, මන්නාරම හා තලෙයිමන්නාරම බලා පිටත් වේ.” අප කුඩා කාලයේ දුම්රියේ ගමන් කරන්නට දුම්රිය ස්ථානයට ගිය විට නිවේදකයා නිවේදනය කළේ එ‍ෙස්ය. ඒ ඇසුණේ මේ කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන්ය. නැතිනම් වේයන්ගොඩ දුම්රිය ස්ථානයෙනි. එහෙත් කාලය ගතවීමත් සමඟ මේ නිවේදනය අසන්නට අපට වාසනාව නැති විය.
 
ඒ ගැන කතා කළ අපේ වැඩිහිටියෝ කීවේ “යුද්දෙ නිසා දැන් මන්නාරමට කෝච්චි යන්නේ නැහැ” කියාය. ඉන් පසුව අපට ඉතිරි වූයේ තලෙයිමන්නාරම් ජැටිය, මඩු පල්ලිය, මන්නාරම් කළපුව වැනි විශේෂිත තැන් පිළිබඳව පොත්පත්වල සටහන්ව තිබූ හා වැඩිහිටියන් කියූ කතා බව මිහිරි මතක සටහන් පමණි. මැදවච්චිය දුම්රිය ‍ෙපාළට ගිය විට මන්නාරම දෙසට යන දුම්රිය මාර්ගය අපේ නෙත ගැටුණ විට මේ පාර දිගේ නැවතත් මන්නාරමට යාමට අපට පුළුවන්කමක් ලැබෙතැයි එදා අප සිහිනෙනුදු නොසිතුවෙමු.
 
තලෙයිමන්නාරම් නව ජැටිය ඉදිවෙමින් තිබු අයුරුකාලය ගතවීමත් සමඟ යුද්ධයේ අඳුරු මතක මැදින් තලෙයිමන්නාරම් බලා ගිය මතකය මුළු සමාජයටම අමතකව ගියේය. අවුරුදු විසිපහක්ම තලෙයිමන්නාරම දුම්රිය මග ඒ නිහඬත්වයේ ගිළී තිබිණි. යුද්ධයේ අඳුරුවලා පහව ගොස් යළිත් මෙරට ජන සමාජය වෙත සාමයේ අරුණ කිරණ නැඟ එද්දී උතුරු දුම්රිය මඟ විවෘත කිරීම, යාල් දේවිය උතුර බලා යළි ගමන් කිරීම වැනි සිදුවීම් සමඟ තලෙයිමන්නාරම වෙත ගමන් කරන දුම්රිය මාර්ගය පිළිබඳ යළිත් බලධාරීන්ගේ අවධානය යොමුවිය.
 
කිතු බැතිමතුන්ට මඩු පුද බිම වැඳපුදා ගැනීමටත් මන්නාරමේ, තලෙයිමන්නාරමේ සිරි අසිරිය ජනතාවට විඳ ගැනීමටත් යළි පුළුවන්කම ලැබෙනු ඇතිය යන බලාපොරොත්තව ඇති වූයේ තලෙයිමන්නාරම දුම්රිය මඟ නැවත ඉදිකිරීමේ සැලසුමද සමඟිනි. යුද්ධය නිමාවීමත් සමඟ මෙහි ඉදිකිරීම් ඇරඹුණු අතර උතුරු දුම්රිය මඟ යාපනය, කන්කසන්තුරය බලා ඉදිවෙද්දී මැදවච්චියේ සිට තලෙයිමන්නාරම වෙත නව දුම්රිය මඟේ ඉදිකිරීම් කටයුතු ලහි ලහියේ සිදු කෙරුණි.
 
 
 
 
 
අලුතින් ඉදිකළ දුම්රිය පොළක්
 
දුම්රිය මාර්ගය
 
අලුත් දුම්රිය මඟ හා සංඥා පද්ධතියමෙහි පළමු අදියර මැදවච්චිය සිට මඩුපාර දක්වා ඉදිකළ අතර මෙහි දුම්රිය ධාවන කටයුතු මේ වන විටත් ආරම්භ කර තිබේ.දුම්රියක් අවසන් වතාවට කොළඹ සිට තලෙයිමන්නාරම දක්වා ගමන් කර ඇත්තේ මීට අවුරුදු විසිපහකටත් එපිට කාලයේදීය. 1990 ජුනි දොළොස්වන දින තලෙයිමන්නාරමට ළඟාවූ තැපැල් රාත්‍රී දුම්රිය ජුනි දහතුන්වෙනිදා යළිත් කොළඹ බලා ධාවනය වූ අතර එතැන්සිට අද දක්වා තලෙයිමන්නාරමේ මහ පොළොව දුම්රියක පහස විඳගත්තේ නැත.
 
මේ මන්නාරම් දුම්රිය ගමන් මඟ නිසා වෙනම දුම්රිය සංස්කෘතියක් ඇති කළේය. මන්නාරමේ කරවල දකුණට වෙළෙඳාම සඳහා රැගෙන ආවේත් මසුන් මන්නාරමෙන් කොළඹ රැගෙන ආවේත් මන්නාරමෙන් පැමිණි දුම්රියෙනි. එදා මාළු කෝචිචිය, කරෝල කෝච්චිය යන අන්වර්ථ නාමයන්ද මේ දුම්රියවලට පටබැඳී තිබුණි.
 
මන්නාරම් නගරයෙන් එපිට තලෙයිමන්නාරමේ ජැටියටද එදා අති මහත් වටිනාකමක් ආරෝපණය වී තිබුණි. “අපි එදා ඉන්දියාවේ රාමේෂ්වරම්වලට ගියේ මන්නාරම් කෝච්චියේ නැඟලා. එදවස සොඳුරු මතක අපේ වැඩිහිටියන් අද පවා සිහිපත් කරන්නේ එලෙසිනි. දුම්රිය බලධාරියකු අප සමඟ අදහස් පළ කළ ආකාරයට යුද්ධය ඇතිවීමට පෙර දුම්රිය දෙපාර්තමේන්තුවට සුවිශේෂ ආදායමක් එක් කළ මඟක් ලෙස තලෙයිමන්නාරම් දුම්රිය මාර්ගය සඳහන් කළ හැකිය.
 
පැරැණි සංඛ්‍යා දත්ත අනුව එදා තලෙයිමන්නාරම දක්වා ගමන් වාර සඳහා මගීන් හැටදහසකට වැඩි පිරිසක් මසකදී එක්ව තිබේ. එතරම් මගී සංඛ්‍යාවක් එදා තලෙයිමන්නාරම් දුම්රිය භාවිතයට ගෙන ඇත්තේ අද තරම් ජනගහණයක් නොසිටි හැට හැත්තෑව දශකවලය. එම සංඛ්‍යා දත්ත මන්නාරම් දුම්රිය මඟෙහි වැදගත්කම අපට මනා ලෙස තහවුරු කරයි.
 
අද සිට යළි ඇරැඹෙන කොළඹ, තලෙයිමන්නාරම් දුම්රිය ගමන එක් රැයකින් සාර්ථක ‍වේයැයි අපට කිව නොහැකිය. එහෙත් ක්‍රමිකව මේ මාර්ගය යළිත් මගී ආකර්ශනය කරගනු ඇති අතර එය ජනප්‍රිය දුම්රිය සේවයක් බවට පත්කර ගැනීමට හැකිවෙතැයි යන්න අපගේ විශ්වාසයයි. මෙම දුම්රිය මඟ ජනප්‍රිය කර ගැනීමට නම් තවත් එක් අදියරක් සාර්ථක කරගත යුතු බව දුම්රියේ වගකිව යුත්තෝ පවසති.
 
එනම් තලෙයිමන්නාරමේ ජැටියේ සිට ඉන්දියාවේ රාමේෂ්වරම් දක්වා නැව් ප්‍රවාහන සේවයද යළිත් සක්‍රීය කර ගැනීමය. ඒ ගැන අභ්‍යන්තර ප්‍රවාහන අමාත්‍යංශයේ මූලික අධ්‍යයනය මේ වන විටත් යොමුවී ඇති අතර ඉන්දු ලංකා නැව් සේවයද නුදුරේදීම ආරම්භවීමට මේ වනවිටත් සැලසුම් සකස් වී තිබේ.
 
දුම්රිය ප්‍රවාහන කටයුතුද එදා පැවැති ආකාරයට වර්තමානයේදී ක්‍රියාත්මක කිරීමෙන් අදට ගැලපෙන ප්‍රතිඵල ලබා ගත හැකිවෙතැයි අප විශ්වාස නොකරමු. අද සියල්ල ගණනය කරනු ලබන්නේ කාලයත්, වේගවත් බවත් නිරීක්ෂණය කිරීමෙනි. මේ ගැන අප දුම්රියේ නිලධාරින්ගෙන් විමසුවෙමු. ඊට ඔවුන් ලබාදුන්නේ ධනාත්මක පිළිතුරකි. “මැදවච්චිය හන්දියේ ඉඳලා තලෙයිමන්නාරම ජැටියටම තියෙන්නේ කිලෝ මීටර් එකසිය පහයි.
 
මේ දුර අලුතින් දමන දුම්රියට පැය එකහමාරක් ඇතුළත ගමන් කරන්න පුළුවන්. එතකොට කොළඹ ඉඳන්ම? අප පැනයක් මතු කළෙමු. “‍ෙකාළඹ ඉඳන්ම එන්න පැය පහමාරක් යයි” දුම්රිය බලධාරින් උත්තර දුන්නේ ඉතාමත් සැහැල්ලු ලීලාවෙනි. මේ වන විට තලෙයිමන්නාරම දුම්රිය මඟ දියුණු තියුණු වී ඇති පරිමාණය මේ කරුණෙන් වුවද අපට තහවුරු කරගත හැකිය.
 
කොළඹ යාපනය දුම්රිය මඟ මෙන්ම මැදවච්චිය තලෙයිමන්නාරම දුම්රිය මඟ යළිත් ප්‍රතිස්ථාපනය කර තිබෙන්නේ ශ්‍රී ලංකා රජය හා ඉන්දියානු රජය එක්වීමෙනි. මෙහි ඉදිකිරීම් කටයුතු භාරව කටයුතු කර ඇත්තේ ඉර්කෝන් නම් සමාගමකි. මේ මඟ නිරීක්ෂණය කළ අය පවසන්නේ අධිවේගී දුම්රිය මඟක් ලෙස තලෙයිමන්නාරම් දුම්රිය මඟ ඉඳිවී ඇති බවය.
 
“පැයකට කිලෝ මීටර් එකසිය විස්සක වේගයෙන් ගියත් කෝච්චිය බබා ව‍ෙග්” පසුගියදා මැදවච්චියේ දිට තලෙයිමන්නාරම දක්වා පරීක්ෂණ ගමන්වාරයට සහභාගී වූ පිරිසක් අප සමඟ කීවේ අතිමහත් උද්දාමයෙනි. 1990 ට පෙර තලෙයිමන්නාරම වෙත දුම්රියෙන් ගමන්ගත් මඟියෙකු අදින් පසු නැවත දුම්රියෙන් තලෙයිමන්නාරමට ගියහොත් එදා සහ අද අතර වෙනස මනා ලෙස වටහා ගනු ඇත.
 
මෑතකදී මෙම නවීන දුම්රිය මඟට ගැලපෙන පන්නයේ මෙරටට ආනයනය කළ දුම්රිය එන්ජින් හා මැදිරිද මේ මඟට එක්කර තිබේ.මෙම නව දුම්රිය මඟ ඉදිකිරීමට රුපියල් මිලියන දෙදහස් දෙසීයකට අධික මුදලක් වියදම් ව ඇති අතර එම මුදල් ඉන්දියාවේ ප්‍රදානයක් හා සහන ණය පදනම මත මෙරටට ලබා දී තිබේ.
 
මැදවච්චිය තලෙයිමන්නාරම දුම්රිය මඟ ආශ්‍රිතව තිබූ සියලු ප්‍රධාන දුම්රිය ස්ථාන හා උප දුම්රියපොළ අර්ධ වශයෙන් හෝ සම්පූර්ණයෙන්ම විනාශයට පත්ව තිබූ අතර මෙම මාර්ගය ප්‍රතිස්ථාපනයට සමගාමීව මෙම දුම්රිය ස්ථාන හා උප පොළවල් සියල්ල නවීකරණය කර තිබේ. මෙම සියලු ස්ථාන නූතන පහසුකම්වලින් ස මන්විතව ඉදිකර ඇත. දුම්රිය මඟක් සාමාන්‍ය තැනිතලා බිමක ඇතිරීම එතරම් කල්ගත නොවන තරමක් සරල කාර්යයක් ලෙස ක්ෂේත්‍ර විශේෂඥයන් විශ්වාස කළද පාලම් බෝක්කු ඉදි කිරීම කල්ගතවන හා සංකීර්ණ කාර්යයක් විය.
 
මන්නාරම දුම්රිය මඟෙහි ඇති විශේෂ පාලම ලෙස හඳුනාගත හැක්කේ ශ්‍රී ලංකාවේ ප්‍රධාන ගොඩබිමින් මන්නාරම් දූපතත් යා කරමින් ඉදි කළ පාලමයි. මෙම පාලම තරණය කර මන්නාරම් දූපතට දුම්රිය පිවිසීම අසිරිමත් දසුනක් මවන අවස්ථාවකි. අතීතයේදී දුම්රිය මෙම මාර්ගය ඔස්සේ ගමන් කළේ ටැබ්ලට්’ නම් සංඥා මාධ්‍ය උපයෝගී කරගෙනය. මේ තත්ත්වය “අලුත් ගමන” ආරම්භයේදී කෙසේ වෙනස් වී ඇද්ද යන්න ගැන අප හමුවේ සිටි දුම්රිය බලධාරියාගෙන් විමසුවෙමු.
 
“ටැබ්ලට් සංඥා අතීතයට අයිති මතකයක් කරලා අලුත් විදුලි සංඥා පද්ධතියක් මේ මාර්ගයට ඇතුළත් කර තිබෙනවා. මේ නිසා අනවශ්‍ය ප්‍රමාදයන් වලක්වන්න අපට පුළුවන්කම ලැබේවි. දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරියා අපට කීවේ දැඩි විශ්වාසයක් සහිතවය.මන්නාරම දුම්රිය මඟ ප්‍රතිසංස්කරණයෙන් පමණක් උතුරු පළාත් දුම්රිය ගමනාගමනය විධිමත් හා ප්‍රයෝජනවත් ‍දෙයක් බවට පත් කර ගැනීමට නොහැකිය. ඒ තත්ත්වය නිවැරැදි කර ගැනීමට දුම්රිය දෙපාර්තමේන්තුව පාර්ශවයෙන් ගෙන ඇත්තේ කුමන පියවරක්ද යන්න පිළිබඳ දෙපාර්තමේන්තු නිලධාරියාගෙන් විමසූවිට ඔහු අප වෙත ලබා දුන්නේ අතිශය ධනාත්මක පිළිතුරකි.
 
අපි දැනටමත් සැලැසුම් කර තිබෙනවා උතුරු දුම්රිය මාර්ගය ද්විත්ව මාර්ග සහිත පද්ධතියක් කිරීමට. එය මෙරට දුම්රිය ප්‍රවාහනයේ විප්ලවීය සංධිස්ථානයක් වීමට ඉඩ තිබෙනවා. මොකද මේ වෙනස්කම් සමඟ කොළඹ ඉඳලා අනුරාධපුරයට පැය දෙකහමාරකින් යන්න පුළුවන් වෙනවා. තලෙයිමන්නාරමට වුනත් අවම පැය හතරකින් යන්න හැකියාව ලැබේවි. මේ ආකාරයෙන් නවීන දුම්රිය මඟක් බවට උතුරු දුම්රිය මඟ හා මන්නාරම දුම්රිය මාර්ගය පත්වීම යනු මෙරට උතුර දකුණ යාකරන ප්‍රධාන ප්‍රවාහන සේවය බවට දුම්රිය යළිත් පත්වනු ඇති බවත් ඊට අතීතයේ තිබූ තැන නැවත අත්පත් වනු ඇති බවත් සඳහන් කළ හැකිය. 1980 දශකය වන විට මෙරට දුම්රිය ගමන්ගත් ප්‍රධාන දුම්රිය ගමනාන්තය වූයේ බදුල්ල, මාතර, කන්කසන්තුරේ, පුත්තලම, මඩකළපුව, ත්‍රිකුණාමලය සහ තලෙයිමන්නාරමයි.
 
එහෙත් යුද ගිනිදැල් නිසා ඉහත ගමනාන්ත රැසක් අවහිරවිය. එහෙත් අද විවෘතවන තලෙයිමන්නාරම් දුම්රිය මඟ සමඟ මෙරට සමස්ත දුම්රිය මාර්ග පද්ධතියම සක්‍රිය තත්ත්වයට පත්ව තිබේ. ඒ අතුරින් තලෙයිමන්නාරම් දුම්රිය මඟ විවෘත වීම සහ එම මාර්ගය දිගේ තලෙයිමන්නාරම් ජැටිය වෙත යළිත් ගමන් කිරීම මෙරට ඉතිහාසයේ සුවිශේෂ අවස්ථාවක් ලෙස හඳුන්වා දිය හැකිය. වෙනත් ආකාරයකින් සඳහන් කළහොත් යළිත් මන්නාරම් තොටේ මිනිසුන්ගේ ලෙන්ගතුකමත් සමග කොළඹ බදුල්ල මාතර හොඳ හිතත් අද සිට යළිත් එක් වනු ඇත.

නව අදහස දක්වන්න

Or log in with...