නවකතා ලෙසින් එළිදකින බහුභූත! | දිනමිණ

නවකතා ලෙසින් එළිදකින බහුභූත!

නවකතා නමින් විවිධාකාර බහුභූත එළි දැක්වීම එන්ට - එන්ට ම වැඩිවෙයි. මේවාට වටිනාකමක් දීම සඳහා ප්‍රසිද්ධ කෙනකු ලවා පිටකවරයේ සටහනක් ලියවා ගැනීම ද; තවත් කෙනකු ලවා පෙරවදනක් ලියවා ගැනීම ද සිදු වේ. මේ හැරෙන්නට පුවත්පත් විසින් පොත ගැන සටහනක්ද තබනු ලැබේ. කලාතුරෙකින් පොතකට ස්තූති පත්‍රිකාවක් බඳු විචාරයක් ද ලියවා ගනු ලැබේ. එහෙත් මේ එක පොතක්වත් තඹ දොයිතුවකට වටින්නේ නැත.

සී.එම්. සිරිනායක මහතා “අයිය යි මමයි” යනුවෙන් නවකතාවක් ලියා තිබේ. සිරිනායක මහතාට එය නවකතාවක් වන්නට පුළුවන. එහෙත් සතියකට නවකතා කිහිපයක් කියවන හා කතා කලාව හදාරන අපට නම්;එය නව කතාවක් නො වේ. එහි ඇත්තේ අයියා හා මල්ලී ගැන විස්තර ගොන්නකි. ඒ හැරෙන්නට රටේ සිදු වූ දේශපාලනික වෙනස්කම් සැකෙවින් එහි දක්වා තිබේ.

වසරකට සිංහල නවකතා එකසිය ගණනක් ශ්‍රී ලංකාවේ දී පළවෙයි. මේවායින් නවකතා දහයක් - දොළහක් හැරෙන්නට අන් සියලු කතා රොඩු බොඩු ය. සමහරු ප්‍රේමය මුල්කොට පැණි කතා ලියති. තව සමහරු දේශපාලනය මූලික කොට බේගල් ලියති. තවත් සමහරු ශිල්ප හරඹ දක්වන්නට ගොස් කතාව විනාශ කර ගනිති. නවකතාව පිළිබඳ සංවාදයක් නැතිකමත්; සාර්ථක විචාර කලාවක් ප්‍රචලිත වී නොතිබීමත් මීට එක් හේතුවක් විය හැකි ය.

නවකතා ලෙසින් බහුභූත පළවීමට බලපාන තවත් හේතුවක් තිබේ. එනම්; ප්‍රබන්ධ කලාවේ ශිල්පීය ලක්ෂණ හඳුනාගෙන නොසිටීම ය. ශිල්පීය ලක්ෂණ යනු කුමක් ද?

(I) කතාවස්තු ගොඩනැගීම

(II) චරිත නිරූපණය

(III) සිද්ධි නිරූපණය

(IV) භාෂා භාවිතය

(V) දෘෂ්ටි කෝණය තෝරා ගැනීම

(VI) සංකේත භාවිතය

(VII) අන්තර්ගතය

නවකතාවක මූලික අර්ථය විය යුත්තේ පාඨකයාට ප්‍රහර්ෂයක් හෙවත් වින්දනයක් ලබාදීම ය. (We read Stories Largely for the emotional and intellectual pleasures) ප්‍රහර්ෂයක් ලබාදීමට නම්; රසවත් හා කුහුලින් යුතු කතාවක් ගොඩනඟා ගත යුතු ය. එබදු කතාවක් ගොඩනැගිය හැක්කේ ප්‍රබල සිදුවීම් හා අමුතු චරිත එකිනෙක මුණගැස්වීමෙන් ය. පළමුව ප්‍රබල සිදුවීම් පෙළගස්වා ඊට විශේෂ චරිත සම්බන්ධ කිරීම එක් ක්‍රමයකි. පළමුව විශේෂ චරිත තෝරාගෙන එම චරිතවලට ප්‍රබල සිදුවීම් සම්බන්ධ කිරීම තවත් ක්‍රමයකි. කුමක් වුව සිදුවිම් හා චරිත නැතිව නවකතාවක් රචනා කළ හැකි නොවේ.

සිරිනායක මහතාගේ පොතෙහි ප්‍රබල සිදුවීම් නැත. ඔහු සිද්ධි නිරූපණය කරන්නේ නැත. සිද්ධි පෙළගස්වන්නේ ද නැත. චරිත නිරූපණයක යෙදෙන්නේ නැත. චරිතවලට සිදුවීම් බලපාන ආකාරය දක්වන්නේ ද නැත. මුළු පොතම රට තොටේ නොයෙක් විස්තරවලින් පුරවා ඇත. පොතෙහි භාෂාව නවකතාවකට නොව; වෙනත් සමාජ විචාරාත්මක කෘතියකට සුදුසු ය.

“එදා ඉතා අවංක නායකයකු වූ ඩඩ්ලි ෂෙල්ටන් සේනානායක මහතාට අගමැතිකමේ වැඩි කාලයක් ගත කරන්නට නොහැකි විය. එවකට අග්‍රාණ්ඩුකාරයාව සිටි සෝල්බරි සාමිවරයා ඒ අවධියේ පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයා වූ ද, පාර්ලිමේන්තුවේ සභානායකවරයා ද වී සිටි ශ්‍රීමත් ජෝන් කොතලාවල කැඳවන්නේනැතිව, ඩඩ්ලි සේනානායක මහතාට අගමැතිකම පැවරීමෙන් පළමුවැනි අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණය සිදුවීදැයි පසුකලෙක දේශපාලන නිරීක්ෂකයෝ සැක පහළ කළහ. කෙසේ හෝ 1948 නිදහසෙන් පසු නොයෙකුත් දේශපාලන කුමන්ත්‍රණ ක්‍රියාත්මක වූ අතර ,ඩී.එස්. සේනානායක මැතිතුමාගේ හදිසි අනතුර පවා මගේ පියා සැලකුවේ දේශපාලන කුමන්ත්‍රණයක් ලෙසිනි.”

(2 - පරිච්ඡේදය - පිටුව- 37)

කතුවරයාට ශ්‍රී ලංකාවේ දේශපාලන කතාන්දරය කියන්නට වුවමනාව තිබේ. ඔහු දෙවන ලෝක යුද්ධයේ ආරම්භයෙන් පටන්ගෙන, ශ්‍රී ලංකාවට නිදහස ලැබීම ඔස්සේ මෑතක් වනතුරු දේශපාලන කතාන්දරය කියාගෙන යයි. ඒ අතර මූලික කතාව අමතක වෙයි. අයියයි - මල්ලියි නැවත හිටිහැටියේ කතාවට පනිති. නැවත අතුරුදන් වෙති. නැවතත් කඩා පනිති. දේශපාලන සිදුවීම් ගෙනහැර දැක්වීමේ දී ඔහු තමන්ගේ මතය ද ඊට එක් කිරීමට අමතක නොකරයි. ඔහු දේශපාලන සිදුවීම්වලට හා සමාජ වෙනස්වීම්වලට කෙතරම් ඇලුම් කරන්නේ ද යත්, එම සිදුවිම්වල දින වකවානු පවා නිවැරැදිව සටහන් කරයි. නවකතාවකට එවැන්නක් අවශ්‍ය නොවේ. හයවැනි ජෝර්ජ් රජතුමා ස්වර්ගස්ථ විම නිසා එළිසබෙත් රැජනගේ ශ්‍රී ලංකා සංචාරයත් අවලංගු කැරිණි. ඒ 1952 පෙබරවාරි 06 වැනිදා ය. එම සිද්ධිය ද මේ කතාවෙහි දක්වා ඇත. කතුවරයා ට ඇත්තේ ඉතිහාසය පිළිබඳ පිස්සුවකි.

කතාවේ හරය වන්නේ සහෝදර ප්‍රේමය ගැන විවරණය කිරීම විය හැකි ය. නැතහොත් අයියා හා මල්ලිගේ ජීවිතවල වෙනස්කම් දැක්වීම විය හැකි ය. ඒ එකක්වත් නවකතාවෙන් ඉටු වන්නේ නැත. එක්තරා පවුලක් කොග්ගල ප්‍රදේශයෙන් පුත්තලමට යයි. ඒ කොග්ගල ගුවන් තොටුපොළක් ඉදිකිරීම නිසා ය. පුත්තලමේ දී මේ පවුලට විවිධ ජාතිකයන් සමඟ ජිවත්වීමට සිදු වේ. ඒ සිංහල - දෙමළ - මුස්ලිම් - බර්ගර් ආදී වශයෙන් ය. මේ කාලයේ දී පවුලට අලුත් සාමාජිකයෙක් එකතු වෙයි. ඔහු කර්තෘ ය. ඔහුගේ අයියා හා ඔහු අතර සැලැකිය යුතු වයස් පරතරයක් තිබේ. එතෙක් ඔව්හු සමාදානයෙන් ජීවත් වෙති. පසුව ඔව්හු මාතරට එති. ප්‍රදේශ තුනක අත්දැකීම් කතාව තුළ ඇත. එහෙත් එම අත්දැකීම් එකිනෙක චරිතවලට දැනෙන - හැ‍ඟෙන ආකාරය ගැන කියන්නට කතුවරයා සමත් වී නැත.

සාර්ථක නවකතාව යනු ජීවිතය පිළිබඳ නැවත කියැවීමක් බව කියති. ජීවිතය පිළිබඳ බොහෝ දේ හොඳ නවකතාවකින් උගත හැකි ය. එය සිදුවන්නේ සංකීර්ණ චරිත නිරූපණය ඔස්සේ ය. නවකතාවක ප්‍රධාන ශිල්පීය ලක්ෂණය චරිත නිරූපණය යැයි කියනු ලැබේ. සිරිනායක මහතාගේ අවධානය අඩුවෙන් ම යොමු වී ඇත්තේ චරිත නිරූපණය කෙරෙහි ය. අයියා ගේ හා මල්ලී ගේ සම්බන්ධය, සහෝදර ප්‍රේමය ඔස්සේ ඉතා සාර්ථක චරිත නිරූපණයකට යා හැකි ව තිබිණි. ඒ සඳහා දෙදෙනාගේ වයස් පරතරය ද යොදා ගත හැකි ව තිබිණි. එහෙත් ඒ එකක්වත් සිදුවී නැත.

කතුවරයා එකිනෙක අවස්ථා හා චරිත නිරූපණයට ප්‍රයත්න දරන මෝඩ විලාසය දකින පාඨකයා සිනාසෙනු ඇත.

“විදුලි බුබුළු වැල් ද, ශබ්ද විකාශන යන්ත්‍ර ද ගලවාගෙන ගිය පසු මට මගේ කාමරයට කථා කළ අම්මා ලොකු සී.ආර්. පොතක් ගෙනැවිත් දී එය පෙරළන ලෙස දන්වා සිටියාය. එතුළ ලැයිස්තු කිහිපයක් විය. ඇය විසින් ඒවා මෙසේ නම් කර තිබිණි.

(1) ගමනට සහභාගී වන ජෝඩු

(2) දෙවැනි දින දහවලට

(3) දෙවැනි දින රාත්‍රියට

(4) වැඩ සහ පැවරුම් දුන් අය

(5) ඕඩර් සහ ඇඩ්වාන්ස් ගෙවීම

පිටුව - 91

කතුවරයාට අම්මාගේ කළමනාකරණ හැකියාව ගැන කියන්නට වුවමනාව තිබේ. ඔහු ඒ සඳහා යොදාගෙන ඇත්තේ නීරස හා ‍මෝඩ උපාය මාර්ගයකි. අඩු ම ගණනේ සාර්ථක නවකතා සියයක් වත් කියවා ඇත්නම් මෙබඳු ගොන්පාට්වලට යන්නේ නැත. නවකතාවේ ශිල්පීය ලක්ෂණ නොදැනීම මෙබඳු කතා පළවීමට ප්‍රබල හේතුවක් බව පෙනේ.

කතුවරයාගේ අභිප්‍රාය වන්නට ඇත්තේ තමන්ගේ පවුල ගැන පුංචි කයිවාරුවක් හා පම්පෝරියක් ඉදිරිපත් කිරීම විය හැකි ය. ඒ ගැන උපදේශන ලබා දීමට ඉදිරිපත් වූ අය ඔහු අතට දේශපාලන තොරතුරු ලබා දී ඇත. කතුවරයා මේ සියල්ලෙහි ම පැටලී ලොකු අමාරුවක වැටී ඇති බවක් පෙනෙන්නට තිබේ.

“මගේ දිවිය පුරා ලද විවිධ අත්දැකීම් මගේ සහ අයියාගේ චරිතවලට ආරූඪ කරමින් මෙම කෘතිය බිහි කිරීමට මම පෑන මෙහෙය වීමි. අද සමාජය තුළ පවත්නා බත කන අයට ම බලෙන් හෝ කොස් ද තම්බා බෙදන යථාර්ථය ඉවත් කර දිනපතා කැඳ බොන්නටත් බත් හුළු ඇටයක් හෝ ලැබෙන පරිදි සමාජ යථාර්ථය ගොඩ නංවනු ඇත්නම් මැනැවැයි මම සිතමි.”

(අයියයි - මමයි - පෙරවදන - කර්තෘගෙන්)

සිරිනායක මහතා කියන්නට උත්සාහ කරන්නේ කුමක්දැ’යි නොවැටහේ. එහෙත් ඔහු විශාල අවුලක සිටින බව පෙනෙයි. එම අවුල නවකතාවේ ද ඇත.

මේ පොතට පසුවදනක් සපයන ජ්‍යෙෂ්ඨ පත්‍රකලාවේදී චන්ද්‍රසේන රණවීර මහතා නවකතාව ගැන නො ව; පත්තර කලාව ගැන ලියා තිබේ. පසුවදන ලියන්නට ගොස් ඔහු අමාරුවේ වැටී ඇත. නවකතාවට පෙරවදනක් සපයන ලයනල් ප්‍රනාන්දු මහතා ස්තුති පත්‍රිකාවක් ලියා ඇත. එයින් නවකතාවට වැඩක් නැත. මෙබඳු බහුභූත නවකතා ලෙසින් එළිදක්වන ප්‍රකාශන සමාගම්වලට ද දොස් නැගිය යුතු ය.


නව අදහස දක්වන්න

Or log in with...