පාඨක ප්‍රසංශා තරම් වටින වෙන සම්මාන නෑ | දිනමිණ

පාඨක ප්‍රසංශා තරම් වටින වෙන සම්මාන නෑ

 චිත්‍රා අමරසේකර

පරිවර්තන සාහිත්‍යයේදී අද්වීතීය ස්ථානයක් හිමි කරගෙන සිටින චිත්‍රා අමරසේකර විසින් පරිවර්තනය කළ ,කඳු මුදුනේ සොඳුරු නිවෙසින් ඇරැඹි, ‘රෝස් වයිඩ්ලර්’ ජීවිතය අනුසාර කරගත් පොත් පෙළ පාඨක ‍ජනතාව අතර ප්‍රචලිත විණි. බාල ,මහලු ඕනෑම කෙනෙකුට එකසේ අත්විඳිය හැකි කතා පෙළක් වන මේ පොත් පෙළ ,ජීවිතයට එක්කරන ආදර්ශ හා සමාජීය අත්දැකීම් බොහෝය.මේ ,ඒ පිළිබඳ ඇය හා කළ කතාබහකි .

* පරිවර්තනය අනුවර්තනය බොහෝ ලේඛක ලේඛිකාවෝ පැහැදිලිව වටහාගන්නේ නැහැ.ඒත් ඔබ ඒ දෙය නිවැරැදිව හඳුනාගෙන තිබෙනවා. මේ පිළබඳ ඔබේ අදහස?

අනුවර්තනය කියන්නේ කතාව කියවලා අවශ්‍ය ආකාරයට නිර්මාණය කිරීම. ඒත් මං කළේ පරිවර්තනයක්. පරිවර්තනයක් වුවත් අපිට ගැළපෙන ආකාරයට සකස් කරගන්න ඕනේ. නැත්නම් පාඨකයාට එහි රසවත් බවක් ඇතිවෙන්නේ නැහැ. මගේ ප්‍රකාශකයාත් පොතේ එක වාක්‍යයක්වත් අතහරින්න කැමැති වුණේ නැහැ. හැබැයි අපේ සංස්කෘතියට ගැළපෙන්නේ නැති කවි තිබුණා. ඒවා අතහැ‍රියා. එහෙම වුණා කියලා කතාවට හානියක් වුණේ නැහැ. මං මේ පරිවර්තනය කළේ පරම්පරා හතක සොඳුරු මතක. ‘නවෝදය ‘කියන්නේ ඒ පොත් පෙළේ හත්වැනි පොතයි.

* ඔබ පරම්පරා හතක සොඳුරු මතක පරිවර්තනය කළා. ඇයි මෙවැනි පොත් පෙළක් කරන්න සිතුවෙ ?

මං මුලින්ම ස්තූතිවන්ත වෙනවා ලෝරා ඈන්ගල්ගේ කතා පරිවර්තනය කළ ගංගා නිරෝෂණී සුදුවැලිකන්දට. ඇගේ පරිවර්තන කියවලා මට මේ දැඩි ආසාවක් ඇති වුණා. ඒ නිසා තමයි මේ පොත් පෙළ පරිවර්තනය කරන්න යොමු වුණේ. මං මියුසියස් විද්‍යාලයේ උගන්නන දවස්වල අහම්බෙන් වගේ ‍රෝස් වයිල්ඩර් ගේ මුල් කෘති දෙකක් කියවන්න ලැබුණා. ලෝරා ඈන්ගල්ගේ කෘති කියවලා පිපාසයෙන් සිටිය මට, මේ කෘතිය ලොකු සම්පතක් වුණා.

* රෝස් වයිල්ඩර්ගේ ජීවිතයෙන් ගැහැනු ළමයෙකුට ලැබෙන ආදර්ශ බොහෝමයක් තියෙනවා. ඔබ මේ කෘතිය පරිවර්තනයේදී මේ ගැනත් හිතුවා ද?

මං ඒ ගැන ඇත්ත‍ටම හිතුවා. මං හුඟක් වයසට ගිය ආත්තම්මා කෙනෙක්. අපේ කාලේ වගේ නෙවෙයි අද කාලේ. බොහොම වෙනස්. ගෑනු ළමයෙක් කියනනේ ගෙදරකට ආභරණයක්. අම්මා කෙනෙක් ඒ දරුවා හරි හැටි හැඩගස්සන්න ඕනේ. නැත්නම් සමාජයෙන් ඇතිවෙන ප්‍රශ්න බොහෝමයක් තියෙනවා. මේ කෘතියේ සඳහන් වෙන රෝස් ඒ හැම දෙයක්ම ඉගෙනගන්නවා.මේ කුඩා පවුල ඉන්නේ මිනිස් වාසයෙන් බොහෝ දුර. ඒත් ඒ අම්මා තමන්ගේ දුවට කෑම මේසය පිළියෙළ කරන විදිහ, ඇඳුමක් පිළිවෙළකට අඳින විදිහ වගේ ගෑනු ළමයෙක් දැනගතයුතු හැමදේම කියලා දෙනවා. රෝස් මේ හැම දෙයක්ම ඕනෙකමෙන් ඉගෙනගන්නවා.

* වර්තමානයේ අඹු සැමියන් අතර විවිධාකාරයේ ගැටුම් තියෙනවා. ඒත් මේ කෘතියේ රෝස්ගේ අම්මා, තාත්තා අතර පවතින සම්බන්ධය අද පවුල්වල තියෙනවා නම් ඒක බොහෝ වටිනවා. මේ ගැන ඔබේ අදහස මොකක්ද?

අද සමාජයේ අඹු සැමියන් රෝස් ගේ අම්මා ,තාත්තා වගේ වෙනවා නම් ඒක බොහොම වටිනවා. මං හිතනවා මේ පොත මීට අවුරුදු හතළිහකට පෙර මට කියවන්න ලැබුණා නම් ,අපේ පවුල් ජීවිත වුණත් මීට වඩා සාර්ථක වෙනවා.අඹු -සැමියන් කොහොමද සහයෝගයෙන් කටයුතු කරන්නේ කියන එක මේ කෘති පෙළින් මනාව පැහැදිලි වෙනවා. කඳු මුදුනේ සොඳුරු නිවස පොතේ සිට පිළිවෙළට කියෙව්වොත්, ඕනෙම පාඨකයෙකුට ඒ බව පැහැදිලිව තේරුම් ගන්න පුළුවන්.

* රෝස් කියන්නෙ ජීවිතය ගැඹුරින් නොදකින කෙනෙක් කියා කීවොත් , ඔබ ඊට එකඟද?

රෝස් කියන්නේ අපේ මුළු ජීවිත කාලේම ජීවත්වෙන කෙනෙක්. ළමා වියේ ඉඳලා යොවුන් විය දක්වා තමන්ගේ ජීවිතයේ විවිධ බාධක ජය ගන්න උත්සහ කරන කෙනෙක්. මොන තරම් අසීරු කාල සීමාවක වුවත් රෝස් යම් යම් තීරණ ගන්නවා. රෝස් 19 වැනි සියවසේ ජීවත් වුණ කෙනෙක් වුණත් ,රෝස්ට වෙනස් වෙන්න අවශ්‍ය බව දැනිලා තියෙනවා. වෙනස් වියයුතුයි කියලා එයා තීරණය කරලා තියෙනවා. සමාජයට අනුවර්තනය වෙන්න එයා උත්සහ කරනවා. රෝස් ඥානාන්විතව එයාගේ ජීවිතයේ තීරණ ගන්නවා.මේ නිසා ‍ඇය ජීවිතය ගැඹුරින් නොදකින කෙනෙක් කියා පවසන්න බෑ.

* ජමිලා කියන්නේ රැඩිකල් චරිතයක්. ඒ වගේ චරිත තමයි වර්තමානයට අවශ්‍ය වන්නේ. ඔබ හිතන්නේ රෝස් සමාජයේ ජීවත්වෙන රැඩිකල් චරිතයක් ද?

මං කියන්නේ නැහැ රෝස් රැඩිකල් චරිතයක් කියලා. රෝස් කියන්නේ ජීවිතය ගැන අවබෝධ කරගත් චරිතයක්. එයා ජීවත් වුණ මුල් කාලයේ රැඩිකල් පසුබිමක් තිබුණේ නැහැ. ඒත් පස්සේ කාලේ දී ඒ තත්ත්වය ඇති වුණා. රෝස්ටත් මේ හැම දෙයක්ම ඉවසා දරාගෙන ඉදිරියට යන්න සිදුවෙනවා. ඒ නිසා මං හිතන්නේ රෝස්ගේ කතා පොත් පෙළ හැම ගෑනු දරුවෙක්ම කියවිය යුතුයි කියලයි .

* ඔබට සාහිත්‍ය සම්මාන ලැබිලා තියෙනවාද?

මට සාහිත්‍ය සම්මාන ලැබිලා නැහැ. ඒත් මගේ පොත් කියවන අයගෙන් ලැබෙන ප්‍රසංශාව තමයි අද මට සම්මානයක් වෙලා තියෙන්නේ. වේදිකාවකට නැගලා ගන්න සම්මානයකට වඩා මට ඒ සම්මානය ඉතාමත් වටිනවා.


නව අදහස දක්වන්න

Or log in with...