රඳවා ගැනීමේ සටන මැද ගලවා ගැනීමේ සටනක් | දිනමිණ

රඳවා ගැනීමේ සටන මැද ගලවා ගැනීමේ සටනක්

ශ්‍රී ලංකාවේ දේශපාලනය කාලගුණය වැනි ය. ඒ තරම් වේගයෙන් ශ්‍රී ලාංකේය දේශපාලන සංසිද්ධීන් වෙනස්කම්වලට භාජනය වේ. එකී වෙනස්කම්වලින් බහුතරය, වාසි ගෙනෙන්නේ දේශපාලකයන්ට ය. එමෙන්ම දේශපාලකයෝ ද තමන්ට වාසිසහගත ඒ වෙනස්කම් ලහි ලහියේ එකාවන්ව කර ගනිති. එහෙත් ජනතාවගේ වාසියට ගෙනෙන සුළුතර වෙනස්කම් හෝ යථාර්ථයක් කර ගැනීම ඉඳිකටු මලෙන් ඔටුවකු රිංගනවා වැනි ක්‍රියාවකි.

එවැනි තත්ත්වයක් හමුවේ නව අවුරුද්දේ උණුසුම පහව යන්නට ද ප්‍රථම දේශපාලන කරළිය යළි උණුසුම් විය. ඒ උණුසුමට කාරණා කීපයක් බලපෑවද ප්‍රධානතම කාරණාව වනුයේ ජ.වි‍.පෙ. හිටපු නායක සෝමවංශ අමරසිංහ මහතා පක්ෂයෙන් ඉවත්වීමය. මේ ඉවත්වීම නගන දේශපාලනික ගැටලු දෙකකි. ඉන් පළමුවැන්න වන්නේ හිටපු නායකයා පක්ෂයෙන් ඉවත් වූ හේතුව කුමක්ද යන්න ය. ජ.වි.පෙ. නැවත වරක් දෙකඩ වූයේද යන්න ඊළඟ ගැටලුව ය.

දෙවැනි ගැටලුවට දිය හැකි පිළිතුර පහසුය; කෙටිය. එනම් නැත යන්න ය. යම් හෙයකින් පක්ෂය දෙකඩ වන්නේ නම් එය සිදු වන්නේ ජ.වි.පෙ. තවත් කණ්ඩායම් පක්ෂයෙන් ඉවත්ව යාමක් සිදුවුවහොත් පමණකි; ඔවුන් වෙනම හෝ සිය පැරණි නායකයා සමඟ පක්ෂයක් පිහිටවූවොත් පමණකි. තවම එවැන්නක් සිදුව නැත. එවැන්නක් සිදු නොවෙතැයි ද සිතිය නොහැකිය.

පළමු ගැටලුවට අදාළ පිළිතුර මඳක් සංකීර්ණය. ඊට පිළිතුරු ලබාදිය හැකි ආකාර ‍දෙකකි. මෙහිදී ජ.වි.පෙ. හා අමරසිංහ මහතා දෙන පිළිතුරු සියයට සියයක්ම අවංක යැයි කිව නොහැකිය. විශේෂයෙන්ම ජ.වි.පෙ. පිළිතුර ගැන කොහෙත්ම සෑහීමකට පත්විය නොහැකි අතර එය යම් කිසි විදියක සුදු ලූනු පොඩි කිරීමකි. ඔවුන් පවසන්නේ අමරසිංහ මහතා පක්ෂයෙන් ඉවත් වන තුරු ඒ ගැන කිසිවක් දැන නොසිටි බවය. ජ.වි.පෙ. වැනි පක්ෂයක් මධ්‍යම කාරක සභාව නියෝජනය කරන පක්ෂයේ හිටපු නායකයා ගේ මේ ඉවත්වීම ගැන ඉඟියක් හෝ පළ නොවූ බව කීම මුසාවක් බවට පත්වන්නේ සෝමවංශ අමරසිංහ මහතා මාධ්‍යයට කරනු ලබන යම් යම් හෙළිදරව් කිරීම් නිසා ය.

ජ.වි.පෙ. කොළ කඩා පාන පිළිතුරට වඩා අමරසිංහ මහතා ගේ පිළිතුරෙහි යම් අවංකභාවයක් ගැබ් වී තිබේ. ඔහු පවසන හැටියට ඔහුට පක්ෂයෙන් ඉවත්වීමට හේතුවන ආසන්නතම සිදුවීම සිදුවන්නේ ජනාධිපතිවරණයෙන් පසුවයි. ජනපතිවරණය දින රාත්‍රියේ සිදු කිරීමට ගියඔහු පවසන හමුදා, අධිකරණ, දේශපාලන කුමන්ත්‍රණය පිළිබඳ තොරතුරු ජනතාව අතරට ගෙන නොයෑම පිළිබඳ ජ.වි.පෙ., ඔහුගේ විවේචනයට ලක්වෙයි. ඒ විවේචනය ප්‍රසිද්ධියේ සිදුවන්නේ දැන් වුවද ඔහු පවසන ආකාරයට ඔහු ඒ සටන ආරම්භ කර ඇත්තේ ජනවාරි මාසයේ සිටමය.

ඊළඟට ඔහු පවසන්නේ ජ.වි.පෙ. ආසියානු සංස්කෘතිය නොසලකා හැර ඇති බවය. සංස්කෘතිය අමතක කර බලය ඇල්ලීම කළ නොහැකි බවය ඔහුගේ අදහස. ඔහුගේ ඉවත්වීමට ආසන්නතම කාරණා හැටියට ඔහු පෙන්වා දෙන මේ කරුණු සම්පූර්ණයෙන්ම ඉවත දැමිය හැකි දේවල් නොවේ. ජනවාරි අටවැනිදා රාත්‍රියේ කුමන්ත්‍රණයක් සිදුවීමට ගියේ නම් එය ජනතාව අතරට ගෙන ඒමේ වගකීම ජ.වි.පෙ. සතුය. එක් පැත්තකින් එය ජනතා වගකීමක් ඉටු කරනවා මෙන්ම එහිදී එකී වගකීම් ඉටු කිරීමේ දේශපාලන වාසිය ජ.වි.පෙ. ට ලැබෙනු ඇත. එහෙත් ඒ වගකීම ඉටු කළ යුතු එකම පක්ෂය ජ.වි.පෙ. නොවන අතර එහි මූලිකම වගකීම ඇත්තේ ජනාධිපතිවරයාටය. එමෙන්ම ඔහු දිනවීමට පියවර ගත් සෙසු කණ්ඩායම්වලට ද එකී වගකීම පැවරේ.

කෙසේ වුවද මේ කරුණු දෙක සිය ඉවත්වීමට බලපෑ හේතු ‍බව කියන ඒ මහතා අනාගතයේ සිදුවිය හැකි අඳුරු ඉරණමක් ගැන ඉඟි පළ කරන්නේය. ඒ හමුදා ආණ්ඩුවක බිහිවීම ය. පවතින දේශපාලන තත්ත්වය දැඩි අවුල්සහගත බවකින් යුතු බවත් එවැනි තත්ත්වයක් හමුදා ආණ්ඩුවක බිහිවීම පහසු කරන බවත් ඔහු පවසයි.

ඔහු පෙන්වා දෙන තුන්වැනි කරුණ ද නොසලකා හැරිය හැකි එකක් නොවේ. පවතින දේශපාලන අර්බුදකාරී තත්ත්වය එවැනි පාලනයක් බිහිවීම පහසු කරන්නකි. මේ අනුව අමරසිංහ මහතා මතු කරන මෙකී කාරණා යම් යථාර්ථවාදී ස්වරූපයක් ගත්තද ඔහුගේ ඉවත්වීම හෝ නව පක්ෂයක් පිහිටුවීම හෝ එකී ගැටලු විසඳාලන්නේද යන්න ගැටලුවකි. ඔහු ඉවත්වූයේ ඇයිද යන්න ගැන ඔහු දෙන පිළිතුර ඇතුළෙහි ඔහු මේ අභියෝග ජයගන්නා බවට සළකුණක් නැත.

ඔහු පවසන මෙකී අවදානම්සහගත තත්ත්වයට ඔහු මුහුණ දෙන්නට පැමිණෙන්නේ තිබෙන හයිය අඩපණ කර ගනිමිනි. ජ.වි.පෙ. ට ඔහු නගන එකම චෝදනාව වන්නේ බලය ලබා ගැනීමට ජ.වි.පෙ. කටයුතු නොකරන බවය. ජ.වි.පෙ. ත් සෝමවංශ අමරසිංහත් තවමත් දෙකක් නොව එකක් යැයි කිව හැක්කේ මෙකී බලය පිළිබඳ කාරණාවේදීය.

අනුර කුමාර දිසානායකගේ නායකත්වයෙන් යුතු ජ.වි.පෙ. ත් සෝමවංශ අමරසිංහ ඉදිරියේ සෑදීමට නියමිත පක්ෂයත් මේ කටයුතු කරමින් සිටින්නේ ලහි ලහියේ බලය ඇල්ලීමටය. තව විදියකින් කියතොත් බොර දියේ මාළු ඇල්ලීමටය. එහෙත් එකී බලය ඇල්ලීම පිණිස ජ.වි.පෙ. මධ්‍යම කාරක සභාවේ බහුතරයක්, සෝමවංශ අමරසිංහ මහතාත් ක්‍රියාත්මක වනුයේ දෙවිදියකටය.

බලය ඇල්ලීමේ පහසුම මඟ ආගම, ජාතිය හා ඒ මතින් ගොඩ නැඟුණු සංස්කෘතිය හෙවත් මහා සම්ප්‍රදාය මතින් යැයි අමරසිංහ මහතාගේ අදහසයි.

විධායක ජනපතික්‍රමය අහෝසි කිරීම, ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කිරීම වැනි සමාජ ප්‍රජාතාන්ත්‍රික ක්‍රියාදාමයන් හරහා එකී බලය තහවුරු කර ගැනීමට වෙර දැරීමය. ජ.වි.පෙ. මධ්‍යම කාරක සභාවේ බහුතර අදහස වී ඇත්තේ. දෙපාර්ශ්වයේ ගැටීම ඇත්තේ එතැනය. අවසානයේ මේ දෙපාර්ශ්වය වෙන වෙනම හැපෙන්නේ ද එකිනෙකා එකට හැපෙන්නේද බලය පිළිබඳ කාරණාව හේතු කොට ගෙනය.

එහෙත් ජ.වි‍.පෙ.ත් හිටපු නායක අමරසිංහ මහතාත් වරද්දා ගත් ප්‍රධාන තැනක් ඇත. ප්‍රධාන පක්ෂ දෙක එනම්, ශ්‍රී.ල.නි.ප. ය හා එ.ජා.ප. ය යම් පිරිහීමකට හෝ කඩා වැටීමකට ලක් වූ විට ජනතාව සිය පරමාධිපත්‍ය බන්දේසියක තබා ඔවුන්ට පිළිගන්වනු ඇත කියාය. මේ පක්ෂ දෙකෙන් කෙතරම් බැට කෑවද ජනතාව ජ.වි.පෙ. ආණ්ඩුවක් බිහි කර ගැනීම ගැන තවම සිතීමකට හෝ එළැඹී නැත. මේ යථාර්ථය තේරුම් ගන්නා තෙක් මෙරට පාර්ලිමේන්තුවේ බහුතර බලය ලබා ගැනීමට තබා සැලකිය යුතු ආසන සංඛ්‍යාවක් දිනා ගැනීමට හෝ ජ.වි.පෙ. ට නොහැකි වනු ඇත.

ජ.විපෙ සිතා සිටිනුයේ තම පක්ෂය ජනතාව අතර බවය. බුද්ධිමත් මෙන්ම පීඩිත ජනතාව තම පක්ෂය විසින් දිනාගෙන ඇති බවය. මහ පක්ෂවල ආණ්ඩු ගැන කලකිරුණ ජනතාව තමන් සමඟ බවය. එහෙත් තනි පක්ෂයක් හැටියට තරඟ කළ විට ඒ සියලු නිගමනයන් පුස්සක් වී ඇති වග අමුතුවෙන් කිවයුතු නැත. වෙනත් පක්ෂවල වැරදි අඩුපාඩුම සිය පක්ෂයේ ජයග්‍රහණය බව ජවිපෙ සිතන්නේ නම් එය එය ජවිපෙට සිදුව ඇති විශාල වැරැද්දකි. එය අමරසිංහ මහතාට ද එසේමය. ජනවාරි අට වැනිදා රාත්‍රියේ සිදුවීමට ගියා යැයි කියන කුමන්ත්‍රණය වැටෙන්නේ ද එලෙස වරද්දා ගත් ගොඩටමය.

පසුගිය දින කිහිපයේ දී මාධ්‍ය නැගූ ඇතැම් ප්‍රශ්නවලට අමරසිංහ මහතා දුන් පිළිතුරු ඔහුටම පාරා වළල්ලක් වන ආකාරය ද කතා කළ යුතුය. සැබැවින්ම ඔහුගේ ඉවත්වීමට බලපෑ හේතු එක් අතකට අඬන්නට සිටි අයගේ ඇහේ ඇඟිල්ල ඇනුණාක් මෙන් වූ වැඩකි.

ඔහු පවසන්නේ පක්ෂයට ස්වයං විවේචනයක් හෝ ස්වයං ඇගයීමක් නැති බවය. 1990 වසරේ මාර්තුවේ සිට 2014 පෙබරවාරි මාසය දක්වා එහි නායකයාව සිටි ඔහුට පක්ෂය එතැනට ගෙන ඒමට නොහැකි වූයේ ඇයි? පක්ෂය බලය ලබා ගැනීමට කල් මරනවා යැයි ඔහු පවසයි. එසේ නම් වසර 24ක් පුරා ඔහුගේ නායකත්වය යටතේ සිදු වූයේද මේ කල්මැරීම නොවේද? ඔහු නායකත්වයෙන් ඉවත් වී වසරක් ගෙවෙන තැන ජ.වි.පෙ. බලය ලබා ගැනීමේ කල් මැරීම ගැන ප්‍රශ්න නගන්නේ කෙලෙසද? එලෙස ප්‍රශ්න නැගීමට යම් හැකියාවක් ඇතත් ඒ හේතුව මත පක්ෂයෙන් ‍ඉවත් වන්නේ කෙසේද? ඔහුගේ නායකත්වය යටතේ වසර විසි හතරක් පක්ෂය බලය සම්බන්ධයෙන් ඉවසා සිටියේය. එහෙත් ඔහුගේ ඉවසීම සීමා වූයේ වසරකටය.

අමරසිංහ මහතා පක්ෂ නායකත්වය අනුර කුමාර දිසානායක මහතාට බාර දෙන අවස්ථාවේ කළ ප්‍රකාශයක් මේ අවස්ථාවේ සිහියට නැඟේ. ඔහු කියා සිටියේ තමාව කිසි දිනෙක දේශපාලනයෙන් විශ්‍රාම යැවිය නොහැකි බවය. දේශපාලනයෙන් විශ්‍රාම යාමට කිසිදු පුරවැසියකුට නොහැකිය. ඒ යථාර්ථයට අනුව නම් ඒ මහතා නිවැරැදිය. එහෙත් ඔහු නව පක්ෂයක් සැදීමට ගන්නා උත්සාහයෙන් පැහැදිලි වන්නේ ඒ යථාර්ථය ගැන නොවන බව දැන් පැහැදිලිය. ඔහුට යළි පක්ෂයක නියමුවකු වීමට ද ඇති වුවමනාව සඟවාලන්නේ කුමකටද?

අනෙක් පසින් ඔහු විශ්‍රාම යාමක් ගැන ද කතා කරයි. ඒ රෝහණ විජේවීර මහතාගේ දර්ශනයක් ද දිග හැර පාමිනි. ඒ අනුව ඔහු කියා සිටිනුයේ වයස හැටක රියැදුරකුට මගීන් හැටකගෙන් යුතු බස් රථයක්වත් නොදෙන බවය. එසේ නම් කෝටි දෙකක ජනතාවකට තමා වගකියන්නේ කෙසේදැයි ඔහු අසයි. දැන් ඔහුගේ වයස 72කි. ඔහු සිය නායකත්වය අත හැරියේ අවුරුදු 71දීය. ඒ අනුව වසර 11ක් ඔහු නායකයාව සිට ඇත්තේ ඔහුම කියන නුසුදුසුකම් මතය. දැන් ඔහු නව පක්ෂයක් ද හදන්නට සූදානම් ය. එම පක්ෂය ජ.වි.පෙ. ට වඩා ඉහළ තැනකට ගෙනෙන බවද පෙරේදා රාත්‍රී රූපවාහිනි වැඩසටහනකට සහභාගී වෙමින් ඔහු පවසා සිටියේය. වසර 60දී ජනයාට වගකිව නොහැකි අයෙකු වසර 72දී වග කියන්නේ කෙසේදැයි ඔහුගෙන් අසන්නට අපට සිදුවෙයි.

පසුගිය දිනෙක හිටපු ජනපතිවරයා ප්‍රසිද්ධ ප්‍රකාශයක් කළේය. ඒ තමන් වැරදිකරුවන්ට දඬුවම් නොදී ඔවුන්ව ආරක්ෂා කළ බවය. එය වරදක් බවත් මින් පසු තමා ඒ වරද සිදු නොකරන බවද ඔහු කීය. නැවත ඒ වැරදි නොකරන බව කීම යථාර්ථයක් නොවේ. ඒ යථාර්ථය තේරුම් ගන්නේ සුළුතරයක් වුවද ඒ මිත්‍යාව පිළිගන්නෝ අති බහුතරය. කෙසේ වුවද ඔහු දේශපාලන වශයෙන් උපායශීලීය. ඒ යථාර්ථය පසෙක තැබූ කල වරදකරුවන් රැකීම ඔහුගේ විනාශයට හේතුවක් බව කීමද ඉතිහාසයේ යථාර්ථයකි. සිදු වූ වැරදි නැවත සිදු නොකිරීමට පාඩම් උගත හැකි ප්‍රධානම දේ වන්නේ ඉතිහාසය හැදෑරීමය.

මහ බැංකු බැඳුම්කාර නිකුතුව සම්බන්ධයෙන්ද කිව හැක්කේ එයයි. වැරදිකරුවන් නොරැකිය යුතුය.

විපක්ෂයෙන් ආණ්ඩුවට නිරතුරුව චෝදනා එල්ල වුවද ජනතාව අතරට ගෙන යා හැකි ප්‍රධානතම චෝදනාවක් වූයේ මේ බැඳුම්කාර නිකුතුවයි. එකී චෝදනාව සෘජු වශයෙන් එල්ල වූයේ මහ බැංකු අධිපතිවරයාට වූ අතර ඒ ගැන සොයා බැලීමට කමිටුවක් ද පත් කෙරිණි. ඒ පත්කළ කමිටුව ගැන ද චෝදනා එල්ල විණි. කමිටුව නියෝජනය කළ නීතිඥවරු තිදෙනාම එ.ජා.ප. යේ වීම ඊට හේතුවය.

එහෙයින් කමිටුව දුන් තීන්දුව ගැන ද ජනතාව බලන්නේ උපහාසයෙනි. ජනතාව සිතන්නේ එය හොරාගේ අම්මාගෙන් පේන බැලුවා වැනි වැඩක් බවය. ඒ තීන්දුවට අනුව අධිපතිවරයා සෘජු ලෙස වගකිව යුතු නැත.

දැන් කමිටුව පවසන්නේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව අඩු පාඩු සහිතව ක්‍රියා කර ඇති බවය. ඒ අඩුපාඩු මග හැරවීමට වහාම යාන්ත්‍රණයක් සැකසිය යුතු බවය. අඩුපාඩු මග හරවා ගැනීම හොඳ දෙයකි. එහෙත් අඩුපාඩු මගහරවා ගත යුත්තේ සැබෑ ලෙසම අඩුපාඩු තිබෙන තැනය.

මේ පිළිබඳ තවදුරටත් විමර්ශනය කිරීම අවශ්‍ය බව කමිටුව කියයි. සැබැවින්ම විමර්ශන අවශ්‍යය. ඒ විමර්ශනවල තීන්දු තීරණ ද සැබෑ වගකිවයුත්තා මග හැර දෙන තීන්දු තීරණ නොවිය යුතුය.

අර්ජුන් මහේන්ද්‍රන් යනු තනි පුද්ගලයෙකි. ආණ්ඩුව යනු ජනතාවය. තනි පුද්ගලයකු නිසා ආණ්ඩුව විනාශයේ මං විවර කර ගත යුතු නැත. එමෙන්ම ජනතාව තවදුරටත් පාඩු විඳිය යුතු ද නැත.

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අල්ලස් කොමිසම හමුවට ගෙන යාම ඔහුගේ අනුගාමිකයෝ ලෝකය පෙරළෙන ගැටලුවක් බවට පත් කරගෙන ඇත. විමල් වීරවංශ, දිනේෂ් ගුණවර්ධන, මහින්දානන්ද අලුත්ගමගේ ඇතුළු මන්ත්‍රීවරු පාර්ලිමේන්තු සභා ගැබේ අඛණ්ඩ උපවාසයක් ආරම්භ කළේ පෙරේදාය. ඇපල් ගෙඩියක් වැටෙන හඬින් බිය වූ හාවකු කැලේ කඩාගෙන දිව්වා මෙන් මේ පිරිස ද මහා කලබලයකට පත්ව ඇත. හිටපු ජනපතිවරයා ප්‍රසිද්ධියේ සිය වැරදි පාපොච්චාරණය කරයි. සමාව යදියි. නැවත ඒවා නොකරන බවට ප්‍රතිඥා දෙයි. හිටපු නායකයා එසේ හැසිරෙන විට ගෝල බාලයෝ තවමත් හැසිරෙන්නේ ඔහු අතින් කිසිදු වරදක් සිදු නොවූ ගණනටය. ඔහු විධායකයේ සිටි යුගයේ ‍ෙජනරාල් සරත් ෆොන්සේකා, ශිරාණි බණ්ඩාරනායක, හිටපු ජනපතිනි චන්ද්‍රිකා කුමාරතුංග වැනි පිරිස් ලක්වූ පීඩනය ගැන ඔවුන් අනුගමනය කළේ අඳ ගොළු බිහිරි පිළිවෙතකි. එහෙත් හිටපු ජනපතිවරයා අල්ලස් කොමිසමට කැඳවීම ගැන පමණක් ඔව්හු පරසක්වල ගසති.

ඒ ඔවුන්ගේ පැත්තය. අනෙක් පැත්තෙන් මේ ක්‍රියා කලාපය ද හාස්‍යජනකය. හිටපු ජනපතිට විරුද්ධව ගොඩ ගැසූ චෝදනා අතරින් ඔහු අල්ලස් කොමිසමට ගෙන යන්නේ අල්ලසකට ද යන සැකය මතුවෙන තරමට මේ කාරණය ප්‍රාථමිකය. තිස්ස අත්තනායක මහතාට ඇමැති පදවියක් ලබාදීම ගැන ප්‍රශ්න කිරීම සැබැවින්ම අලි යන කපොලු තිබෙද්දි කූඹි යන ගුල් වැසුවා වැනි වැඩකි.

විපක්ෂය මේ ඩෙගා නටන්නේ 19 වැනි සංශෝධනයට විවාදයට ගැනීමට බාධා කිරීමට මෙන්ම ඊට සහය නොදී සිටීමට එක් උපක්‍රමයක් ලෙස යැයි ජ.වි.පෙ. චෝදනා කර තිබිණි.

සැබැවින්ම මේ චෝදනාව යථාර්ථයකි. විපක්ෂයේ මේ පිරිසගේ අවශ්‍යතාව සිය පැවැත්ම උදෙසා මහින්ද රාජපක්ෂ මහතා යළි බලයට ගෙන ඒම පමණි. ඔව්හු මෙතෙක් සිය ජනතාව වෙනුවෙන් සේවය නොකළහ. ඉදිරියටත් නොකරන්නාහ. ඉදිරියේ තමන් වෙනුවෙන් වැඩ කරන නියෝජිතයන් තෝරා පත් කර ගැනීමට දැන්වත් ජනතාව ඥානවන්ත විය යුතුය.


නව අදහස දක්වන්න

Or log in with...