අලි රොෂාන් හොරාට ලියාපදිංචි කළ අලි 11ක් වනජීවියට දෙන්න නියෝග | දිනමිණ

අලි රොෂාන් හොරාට ලියාපදිංචි කළ අලි 11ක් වනජීවියට දෙන්න නියෝග

 ව්‍යාජ ලෙස ලියාපදිංචි කර අලි රොෂාන් විසින් අ‍ෙලවි කළේ යැයි සැක කෙරෙන අලි පැටවුන් 11ක් (හොර අලි) වනජීවි දෙපාර්තමේන්තුවට බාර දෙන්නැයි අලි හිමියන් 11 දෙනකුට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා පෙරේදා (21) නියෝග කළේය.

එම අලි පැටවුන්ට අමතරව දැනට ලියාපදිංචි කර ඇති අලි 55ක් පිළිබඳ විමර්ශනය කිරීමට ද මහේස්ත්‍රාත්වරයා රහස් පොලිසියට අවසර ලබා දුන්නේය.

මේ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ වනජීවි දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ඇතුළු වෛද්‍ය කණ්ඩායමක් මඟින් දැනට භෞතිකව සිටින අලියා හා අලි පොතෙහි ලියාපදිංචි අලියා සැබැවින්ම එක් අලියෙක් ද නැතහොත් ව්‍යාජ (හොරා) අලියෙක් ද යන්න පරීක්ෂා කිරීමට නියමිතය.

පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ දීලීප පීරිස් මහතා කර ඉල්ලීමක් සලකා බැලීමෙන් පසුව මහේස්ත්‍රාත්වරයා මේ නියෝග නිකුත් කළේය. කූට ලේඛන සකසමින් අලින් සන්තකයේ තබා ගැනීමේ හා ජාවාරම් කිරීමේ සැකයට බන්ධනාගාරගත නිරාජ් රොෂාන් නොහොත් අලි රොෂාන් ට එරෙහි පැමිණිල්ල කැඳ වූ අවස්ථාවේ මේ නියෝග කෙරිණි.

අලි රොෂාන් සමඟ වනජීවි දෙපාර්මේන්තුව විෂය භාර ලිපිකාරිනි ප්‍රියංකා සංජීවනී මහත්මිය ද බන්ධනාගාර අධිකාරිය මඟින් අධිකරණයට ඉදිරිපත් කළේය‍.

පැමිණිල්ල වෙනුවෙන් කරුණු දැක් වු රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ දීලීප පීරිස් මහතා මෙසේ ද අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

සැකකාර රොෂාන්ගේ කතරගම පිහිටි හෝටලයේ රහස්‍ය කාමරයක් පරීක්ෂා කිරීමට අධිකරණයෙන් නියෝගයක් ලබා ගත්තා. එහෙත් සීල් කර තිබූ එම කාමරයේ වහලයෙන් බැස තිබීම කණගාටුදායකයි.

එසේ වහලෙන් බැහලා අවශ්‍ය බඩු ඉවත් කරලා සාක්ෂි හැංගුවට පැමිණිලි එම සාක්ෂිය කුමක්දැයි ඉදිරි නඩු වාරයේ දී හෙළි කරනවා.

රජයේ සේවිකාවක් වන දෙවැනි සැකකාරිය අලි පොත වෙනස් කිරීමට සම්බන්ධයි. රුපියල් ලක්ෂ හතරේ සිට ලක්ෂ දහය දක්වා මුදල් වනජීවී නිලධාරීන්ට ලබා දී බලපත්‍ර ගත්තා කියලා අලි හිමියන් වන ස්වාධීන සාක්ෂිකරුවන් සඳහන් කරනවා.

මහරගම ශ්‍රී විපස්සනාරාමය අලි ජාවාරම් මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන ගොස් තිබෙනවා.

අලින් ලියාපදිංචි කිරීමේ අලි පොත වෙනස් කිරීමට දෙවැනි සැකකාරිය කිසිඳු ආකාරයකින් සම්බන්ධ වී නොමැති බව නීතිඥ අජිත් පතිරණ මහතා අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

දෙපාර්ශවයේ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් ලබන 24 වැනි දා දක්වා යළි රක්ෂිත බන්ධානාගරගත නඩුව එදිනට කල් තැබීය


නව අදහස දක්වන්න

Or log in with...