කාරියකරවන ලොකු සර් ආයුබෝවන් ඉතින් | දිනමිණ

කාරියකරවන ලොකු සර් ආයුබෝවන් ඉතින්

ඩී.එෆ්.කාරියකරවන මහතා දැන් ඉතින් සමුගෙන ගොසිනි. ඒ පෙරේදාය. (21) මේ පුවත මා හට දැන්වූයේ මාධ්‍යවේදී අමිත ගුණසේකර මහතාය. මේ රටේ මහා පත්‍ර කලාවේදියකු වූ ප්‍රකට ලේඛකයකු වූ මාධ්‍යයට අමිල මෙහෙවරක් ඉටු කළ ඩී.එෆ්. කාරියකරවන මාධ්‍ය ඇදුරාගේ පත්‍ර කලා ජීවිතය ලේඛන ජීවිතය ගැන එතුමාගේ සමකාලීන මෙන්ම ඔහු දන්නා හඳුනන සැවොම ඔහුගේ මාධ්‍ය මෙහෙවර ගැන බොහෝ ලිපි ලියනු නො අනුමානය.

ඩී.එෆ්. කාරියක වන මහතා මෙරටට වටිනා මාධ්‍ය පරපුරක් බිහි කිරීමට දැරූ ප්‍රශංසනීය ප්‍රයත්නය ගැන, ඒ ප්‍රයත්නයේ පිටුපස සිටි පුවත්පත් කලාවේදීන් අතර ‘දිනමිණේ’ කලක් පුවත්පත් කලාවේදියෙකු වූ මා ද දායක වූ හෙයින්, ඒ සබැදිව සටහනක් තැබිය යුතුමය.

මහා පුවත්පත්කලාවේදීන් වූ අභාවප්‍රාප්ත බී.එච්.එස්.ජයවර්ධන, ජී.ඇස්. පෙරේරා, ධර්මසිරි ගමගේ තවමත් මාධ්‍යකරණයේ යෙදෙන තිලකරත්න කුරුවිට බණ්ඩාර , සිරි රණසිංහ, නිව්ටන් පින්තු, පාලිත ධර්මරත්න ඇතුළු පිරිසක් සමඟ එක්වී, මහාචාර්ය ජේ.බී. දිසානායක, මහාචාර්ය අනුර වික්‍රමසිංහ සමඟ ශ්‍රී ලංකා පත්‍ර කලා සංගමයේ මෙහෙයවීමෙන්, කොළඹ විශ්වවිද්‍යාලය හරහා “පුවත්පත් කලාව පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාවක්” මුලින්ම ඇරඹුවේ අපේ මහා පත්තර කලා ගුරු ඩී.එෆ්.කාරියකරවන මහතා ය.

“මේ රටට හොඳ මාධ්‍ය කරුවෝ ටිකක් බිහිකරන්නට පිළිවන් වුණොත් මට හොඳටම ඇති යි”

ඒ දිනවල ලේක්හවුස් ආයතනය තුළදී, ඩී.එෆ්. කාරියකරවන මහතා බී.එච්.එස්. ජයවර්ධන, යූ.ඩී. චන්ද්‍රතිලක, ෂෙරීප්ඩීන්, තිලකරත්න කුරුවිට බණ්ඩාර, පාලිත ධර්මරත්න, තිස්ස එදිරිසිංහ, මෙරිල් පෙරේරා, බිනෝයි සුරේන්ද්‍ර මහ පුවත්පත් කලාවේදීන් සහ මා සමඟ පැවසූ අයුරු මට තවම මතකය.

වර්තමාන සාමාන්‍යාධිකාරී අභය අමරදාස, රූපවාහිනී මාධ්‍යවේදී චන්දන තිලකරත්න, ඇතුළු ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීහු රැසක් එකතුකරගෙන, ‘කාරියකරවන මාධ්‍ය පාසල’ පිහිටුවීමට කාරියකරවන ලොකු සර් සමත් වූ බව නවක මාධ්‍යවේදීහු ඇතැම්විට නොදන්නවා විය හැකි ය.

කොළඹ විශ්වවිද්‍යාලයේ පුවත්පත් කලාව පිළිබඳ ඩිප්ලෝමා පාඨාමාලාවක්, ‘කාරියකරවන මාධ්‍ය පාසලක්’ හරහා මෙරටට පුවත්පත්කලාවේදීන්, ගුවන් විදුලි හා රූපවාහිනී මාධ්‍යවේදීන්, කැමරා මාධ්‍යවේදීන් ඉතා විශාල සංක්‍යාවක් බිහිකිරීමට ලේ කඳුළු දහදිය මැදින් ඩී.එෆ්. කාරියකරවන මහතා ඉටු කළ මෙහෙවර කෙසේ විස්තර කරන්නද?

‘රසවත් නිවැරදි බස් වහර’ ජනමාධ්‍යවේදීන්ගේ මතයට එන්නත් කිරීමට එතුමා දැරුවේ පුදුමාකාර මෙහෙයකි.

‘ශ්‍රී ලංකා පත්‍ර කලා සංගමයේ’ නිර්මාතෘ ලෙසත්, සභාපති හැටියටත්, ශ්‍රී ලාංකික මාධ්‍යවේදීන්ට මහාභාරතයේ මෙන්ම ලෝකයේ බොහෝ රටවලට සංචාරය කර, අත්දැකීම් ලබාදීමට එතුමා කළ අරගලය මා අත්දැකීමෙන්ම දන්නා අතර ඒ අත්දැකීම් සිහිකරන්නේ

එතුමා අප අතරින් වෙන්වූ පුවත , ඉන්දියාවේ පත්‍ර කලා සංගමයේ මහලේකම් පාන්ඩි මහතාට 21 වැනිදා දුරකථනය මඟින් මා දැන්වූවිට පාන්ඩි මහතා මට පිළිතුරු දුන්නේ නවදිල්ලියේ සිටය. ඉතා සංවේදීවය.

අයියෝ අපේ ශ්‍රී ලංකාවේ මහා මාධ්‍යවේදියා අප දාල යන්ඩ ගියාද මම ලක්නව් ඉදල නවදිල්ලියට ආව රාජකාරි වගයකට. මම අපේ ඉන්දීය පත්‍රකලා සංගමයේ හැමෝටම මේ වියෝගය දන්වනවා. අපට හරි කනගාටුයි. තාත්තා (ඩී.එෆ්) කරපු උතුම් මෙහෙවර පුතා මුදිනත්

“ප්‍රවීණ මාධ්‍යවේදී මුදිත කාරියකරවන”

මුණුපුරා කුරුළුත් (මාධ්‍ය වේදී කුරුළු කාරියකරවනත්) ඉටුකරන බව මට විශ්වාසයි. අපි ඩී.එෆ්. වෙනුවෙන් මේ දෙන්නා මාර්ගයෙන් ශ්‍රී ලංකාවේ නිදහස් මාධ්‍යවේදීන්ට උදව් කරන්ඩ මාධ්‍ය පිළිබඳ සුබ නිමිත්තකි.

කිසිවෙක් කෙරෙහි නොබැදුණ, නොබිදුණ, අදීන චින්තනයෙන් කොන්ද කෙළින්, නිවැරදිව බස හසුරුවමින් අපට මහා මාධ්‍ය යුග පුරුෂයෙකු වූ අපේ ඩී.එෆ්.කාරියකරවන මහතා වෙනුවෙන් මාධ්‍ය ක්ෂේත්‍රයට පිවිසුණු සියලුම මාධ්‍යකරුවන්ගේ, පරම යුතුකම, මාධ්‍ය ක්ෂේත්‍රය, හොරුන්, කුහකයින්, සල්ලාලයින්, කුලී ලියන්නන් ගෙන් බේරාගෙන අදීනව පවත්වාගෙන යාමය.

ඩී.එෆ්.කාරියකරවන ලොකු සර්! ආයු‍බෝවන් ඉතින්! ආයුබෝවන්! ඉතින් අපි යළිත් හමුවෙමු.


නව අදහස දක්වන්න

Or log in with...