නෙළුම් කුලුනේ ඉදිකිරීම් ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවේ | දිනමිණ

නෙළුම් කුලුනේ ඉදිකිරීම් ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවේ

නෙළුම් කුලුන ඉදිකිරීම මඟින් ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාවට, සාමයට, එක්සත් භාවයට හා සමෘද්ධියට කිසිදු හානියක් සිදු නොවන බව චීන සමාගම පවසයි.

ශ්‍රී ලංකාවේ අධිවේගී මාර්ග, ගැඹුරු වරාය, ගුවන් තොටුපළ ආදිය මෙන්ම දකුණු ආසියාවේ සුන්දරම විකාශන කුලුන කොළඹ ඉදිවීමත් හරහා ශ්‍රී ලාංකීය ජනතාවට යහපතක් මිස අයහපතක් සිදු නොවන බවත්, චීනයේ හා චීන සමාගමේ අපේක්ෂාව වන්නේ එය බවත් ඔවුහු අවධාරණය කරති.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය සංවර්ධනය වනු දැකීමට අකමැති පිරිසක් සිටින බවත්, ඔවුන් විකාශන කුලුන කොළඹ ඉදිකිරීමට අකමැති පිරිසක් බවත් චීන සමාගම සඳහන් කරයි.

චීනය කොළඹ‍ නෙළුම් කුලුන යොදාගනිමින් ඉන්දියාවට එරෙහිව ඔත්තු බැලීම් සිදුකරනු ඇතැයි සඳහන් වූ ඉන්දියාවේ Bashkar Roy මහතාගේ ලිපිය ශ්‍රී ලංකාවේ ඇතැම් ජනමාධ්‍ය හරහා ද ප්‍රචාරය කෙරුණු අතර එය අවබෝධයෙන් තොර ප්‍රකාශයක් බවත්, එම සමාගම පවසයි. Roy මහතාගේ එම ප්‍රකාශය නෙළුම් කුලුන ඉදිකිරීමේ නිරත චීන සමාගමට සහ ශ්‍රී ලංකා - චීන තාක්ෂණඥයින්ට පමණක් නොව ශ්‍රී ලංකා රජයට ද අපහාසයක් බව චීන සමාගම පවසයි.

මේ ව්‍යාපෘතියට කැබිනට් මණ්ඩල අනුමැතිය ද ලද ව්‍යාපෘතියකි. මෙම කුලුන ඉදිවීම හරහා ලංකාවේ ගුවන් විදුලි හා රූපවාහිනි සේවා ඉහළ මට්ටමකට ගෙන ඒමට හැකි වෙයි. එය දකුණු ආසියාවේ උසම විකාශන කුලුන වන අතර එය නැරඹීමට මෙන්ම සාප්පු සවාරි නිසා ද, සංචාරකයින් ආකර්ෂණය වනු ඇත. එපමණක් නොව කුලු‍ෙන් මීටර් 250 ක ඉහළ සිට ශ්‍රී ලාංකිකයන්ට තම මව්රටේ අසිරිය ද නැරඹීමට හැකිය.

මේ කුලුනේ හිමිකාරීත්වය ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසමට අයත්ය. චීන සමාගම සිදුකරනු ලබන්නේ එහි ඉදිකිරීම් පමණයි. සන්නිවේදන පහසුකම් ලබාදීම අනෙක් රටවල සමාගම් මඟින් සිදුකරනු ඇත. කුලුනේ පාලනය හා කළමනාකරණ අයිතිය සතුවන්නේ ශ්‍රී ලංකාවටය.

ඒ අනුව කුලුනේ ඔත්තු බැලීම් සිදුකරන බවට නඟන චෝදනාව අභූත චෝදනාවක් බව ද සමාගම පවසයි.

චීන සමාගම ලංකාවේ ව්‍යාපාර ආරම්භ කර තිබෙන්නේ ශ්‍රී ලංකාවේ සංවර්ධනයට සහ ලාංකීක ජනතාවගේ ජීවන මට්ටම ඉහළ නංවාලීම සඳහා බව ද තවදුරටත් අවධාරණය කරති.


නව අදහස දක්වන්න

Or log in with...