බැසිල් රිමාන්ඩ් | දිනමිණ

බැසිල් රිමාන්ඩ්

දිවි නැඟුම දෙපාර්තමේන්තුවේ මුදල් අයථා පරිහරණය කිරීමේ චෝදනාව මත මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගත් හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු තිදෙනා ලබන 5දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් හා දිසා විනිසුරු ධම්මික හේමපාල ඒකනායක මහතා ඊයේ(22) නියෝග කළේය.

බැසිල් රාජපක්ෂ මහතා සමඟ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ හිටපු ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක, දිවි නැඟුම අධ්‍යක්ෂ ජනරාල් ආර්. ඒ. කේ රණවක යන දෙදෙනා ද බන්ධනාගත කරන ලදී.

දිවි නැඟුම දෙපාර්තමේන්තුවේ මුදල් රුපියල් මිලියන 132 ක මුදලක් මහා භාණ්ඩාගාරය නිකුත් කිරීමට පෙරාතුව සේවකයන්ට පාරිතෝෂිත දීමනා වශයෙන් ලබා දීම, මැතිවරණ සමයේ දිවි නැඟුම මුදල් වැය කරමින් ලිත් ලක්ෂ පනහක් මුද්‍රණය කිරීම, දිවි නැඟුම හරහා රජයේ ක්‍රියාවලියට පරිභාහිරව නිවාස ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම තුළින් පොදු දේපළ පනත යටතේ වරදක් කර ඇති බවට බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු තිදෙනාට චෝදනා එල්ල කර තිබිණි.

මෙහිදී විනිසුරුවරයා ඉදිරියේ කරුණු දැක්වූ විත්තියේ නිතිඥයන් කියා සිටියේ මෙම චෝදනා පොදු දේපළ පනත යටතේ ගැනෙන්නේ නැති බවය.

දිවි නැඟුම බැංකුව යනු රාජ්‍ය බැංකු සංකල්පයට අයත් නොවන අතර බැසිල් රාජපක්ෂ මහතා මෙහි කිසිදු මුදලක් සිය පෞද්ගලික පරිහරණයට ගෙන නොමැති බවත් නීතිඥයන් පෙන්වා දුන්හ.

ලිත් මුද්‍රණය කිරීමේ දී අනුගමනය කළ යුතු නිසි ටෙන්ඩර් පටිපාටියට අනුව කටයුතු කරමින් ලිතක් රුපියල් 3.50 ක් බැගින් වූ මුදලකට මුද්‍රණය කර ඇති බවත් පෙන්වා දුන් නීතිඥයන් මේ චෝදනා බරපතළ නොවන හෙයින් ඔවුනට ඇප ලබා දෙන ලෙස නීතිඥයන් ඉල්ලා සිටියහ.

දෙපාර්ශ්වයේම කරුණු සලකා බැලු විනිසුරුවරයා රාත්‍රී 11.15ට පමණ තීන්දුව ප්‍රකාශයට පත් කිරීම සඳහා විනාඩි දහයකට අධිකරණ කටයුතු කල් තැබූහ. ඉන්පසු තීන්දුව ප්‍රකාශයට පත් කළ විනිසුරුවරයා ලබන මැයි මස 5 දක්වා බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු තිදෙනා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වෙන දිනවල ඒ සඳහා සහභාගි වීමට අවසරය ලබා දුන් අතර ඒ මහතාගේ අසනීප තත්ත්වයන් පිළිබඳ සලකා බලා ඒ අනුව අවශ්‍ය ප්‍රතිපාදන සලසා දෙන ලෙස බන්ධනාගාර නිලධාරීනට නියෝග කළේය.

කොල්ලුපිටිය විශේෂ මූල්‍ය අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන ඊයේ(22) රාත්‍රී 9.15ට පමණ කඩුවෙල අධිකරණයට රැගෙන එන ලද හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතා පිළිබඳ නඩුව විභාගයට ගැනෙන තෙක් විනාඩි පනස් පහක කාලයක් විනිසුරුවරයාගේ නිළ මැදිරිය ඉදිරියේ රැඳී සිටින්නට සිදුවිය.

එම කාලයේ මූල්‍ය අපරාධ කොට්ඨාසයේ නිළධාරීන් විසින් බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව ගොනු කර ඇති චෝදනා ඇතුළත් බී වාර්තාව පිළිබඳ තොරතුරු විනිසුරුවරයාට දැනුවත් කිරීම සිදුවිය.

විනාඩි පනස් පහක් තිස්සේ නිල මැදිරිය ඉදිරියේ සිටි බැසිල් රාජපක්ෂ මහතා තමන්ට තව දුරටත් එම ස්ථානයේ සිටීමට නොහැකි බව පවසමින් විදුලි පංකාවක් ඇති ස්ථානයකට යා යුතු බව පොලිසිය හමුවේ කියා සිටියේය.

ඒ අනුව ඔහුව අසල විදුලි පංකා සහිත මැදිරියක අසුන් ගැනීමට සැලැස්සුව ද විනාඩි පහක් හෝ ඔහුට රැඳී සිටීමට නොහැකි වූ අතර එම කාලයේ විනිසුරුවරයා හිටපු ඇමැතිවරයාව කැඳවනු ලැබීය.

මෙහිදී ජනාධිපති නීතිඥ අනිල් ද සිල්වා මහතා ප්‍රමුඛ නීතිඥ මඩුල්ලක් සමඟ බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු තිදෙනා විනිසුරු නිල මැදිරියට ඇතුළු වූහ.

මෙහිදී බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු නිලධාරීන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනිල් ද සිල්වා මහතා සමඟ නීතිඥවරුන් වන යූ. ආර් ද සිල්වා, සුසිල් ප්‍රේමජයන්ත, නාමල් රාජපක්ෂ, ශාන්ත හේරත්, මේරි ඩික්මන්, චමින්ද කුලරත්න, මනෝජ් ගමගේ සහ සුමිත් විජේසිංහ යන මහත්වරුන් පෙනී සිටියේය.


නව අදහස දක්වන්න

Or log in with...