වෙලේ සුදා සමඟ හිතවත්කම් පෑ නිළියන්ගේ නම් වහාම හෙළි කරන්න | දිනමිණ

වෙලේ සුදා සමඟ හිතවත්කම් පෑ නිළියන්ගේ නම් වහාම හෙළි කරන්න

ජාත්‍යන්තර කුඩු ජාවාරම්කරුවකු වූ වෙලේ සුදා සමඟ සම්බන්ධතා පවත්වාගෙන ගිය නිළියන් හය දෙනකු ගැන රහස් පොලිසිය ප්‍රකාශ කරන්නේ නම් ඔවුන්ගේ නම් ගම් ඇතුළු අදාළ විස්තර හෙළි කරන ලෙස නළු නිළියන් ඇතුළු කලාකරු­ෙවා් රැසක් පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටිති.

එම මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ නිළියන් හෝ වෙනත් කලාකරුවන් වෙතොත් ඔවුන්ගේ නම් හෙළි නොකිරීම නිසා මෙම ජාවාරමට සබඳතා නැති නිළියන් හය දෙනකුගේ නම් අන්තර්ජාලයෙන් හා ඇතැම් මාධ්‍යවල සඳහන් වී තිබීමෙන් ඒ පිළිබඳ දැඩි මානසික පීඩනයටත් අපහසුතාවයටත් පත්ව සිටින බව එම නිළියෝ ඊයේ (22) මාධ්‍ය සාකච්ඡාවකදී පැවසූහ.

මොහාන් ලාල් මඩවල, සේමිණී ඉද්දමල්ගොඩ, නදීකා ගුණසේකර, දිල්හානි ඒකනායක, ලෝචනා ගමගේ, ධර්මසිරි බණ්ඩාරනායක, ලක්ෂ්මන් විජේසේකර, අනුර රාජගුරු ඇතුළු නළු නිළියෝ මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වූහ.

පසුගිය දිනවල මෙම නිළියන් වෙලේ සුදා සමඟ හිතවත්කම් පවත්වමින් හෙරොයින් ජාවාරමට සම්බන්ධ බවට ප්‍රවෘත්ති එම මාධ්‍ය වල පළ වී තිබී ඇත.

එම මඩ ප්‍රචාරය කළ පුද්ගලයා මෙම නළු නිළියන් මේ වන විට හඳුනාගෙන ඇත. ඔහුගේ එම මඩ ප්‍රචාරයට එරෙහිව මොවුන් රහස් පොලිසියට පැමිණිල්ලක් කැර තිබේ.

‍එහෙත් රහස් පොලිසිය මේ වන තෙක් ඒ පිළිබඳ කිසිදු පරීක්ෂණයක් ආරම්භ කැර නැති බව ඔවුහු පවසති.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී නීතිඥ රුවන් ගුණසේකර මහතාගෙන් සේමිණී ඉද්දමල්ගොඩ මහත්මිය මේ පිළිබඳ විමසූ විට හේ ප්‍රකාශ කැර ඇත්තේ මෙම වෙබ් අඩවිවල පළ වූ අසත්‍ය ප්‍රකාශවලින් එම නළු නිළියන්ට සිදු වී ඇත්තේ අපහාසයක් බැවින් ඊට ‍එරෙහිව නඩු පැවරීමට රහස් පොලිසියට බලයක් නොමැති බව පැවසීය.

කෙසේ වෙතත් පොලිසිය බොහෝ අවස්ථාවල කලා ලෝකයේ විවිධ චරිතවල සිටින පිරිස් වැරදි අසභ්‍ය කර්තව්‍යයන්වල යෙදී පොලිසියට හසු වූ අවස්ථාවල ඔවුන්ගේ අනන්‍යතාවය හෙළි නොකර පොදුවේ නළු නිළියන් ලෙස පවසා ඒවා මාධ්‍ය තුළ පළවීම නිසා සමස්ත නළු නිළි ලෝකයම අපහසුතාවයට ලක්ව ඇති බව පවසති.

මෙහිදී මොහාන් රාජ් මඩවල මහතා පැවසුවේ මෙම මඩ ව්‍යාපාරය තුළින් කලාකරුවන්ගේ ජීවිතවලට අපහාසයට වඩා අපරාධයක් සිදු වී ඇති බවයි. ඔවුන්ගේ දූ දරුවන්ට, ස්වාමිපුරුෂයන්ට, දෙමාපියන්ට, සහෝදර සහෝදරියන් ඇතුළු පවුලේ සාමාජිකයන්ට පොදුවේ අවමානයකට පත්වීමට සිදු වී ඇති බවයි.


නව අදහස දක්වන්න

Or log in with...