ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කිරීමට එක්ව වැඩ කිරීම අනිවාර්යයි | දිනමිණ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කිරීමට එක්ව වැඩ කිරීම අනිවාර්යයි

ගෞරවනීය සහ ප්‍රෞඪ ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කිරීම සඳහා එක්ව වැඩ කිරීමට කාලය එළැඹ ඇතැයි වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ නව නිලධාරි මණ්ඩලය වැඩ භාර ගැනීමේ උත්සවයට එක්වෙමින් පැවසීය.

තවදුරටත් කතා කළ අර්ජුන රණතුංග මහතා මෙසේ ද පැවසීය. බණ්ඩාරනායක මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිර්මාණය කළේ බණ්ඩාරනායක පවුල සඳහා නොවේ. මහින්ද රාජපක්ෂ පවුලටත් නොවේ. රෙජී රණතුංග පවුලටත් නොවේ. බණ්ඩාරනායක මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිර්මාණය කළේ සාමාන්‍ය මිනිසුන් වෙනුවෙන්. එසේ නොවුණා නම් බණ්ඩාරනායක මහතාටත් තිබුණා එක්සත් ජාතික පක්ෂයේම සිටිමින් තමන්ගේ වතුපිටි රැක බලා ගෙන, සුඛෝපභෝගි ජීවිතයක් ගත කරමින් දේශපාලනය කරන්න.

එහෙත් එසේ නොසිට බණ්ඩාරනායක මහතා මේ පක්ෂය නිර්මාණය කළේ සාමාන්‍ය මිනිසුන් වෙනුවෙන් සේවය කරන්න. එහෙත් අවාසනාවකට පසුගිය කාලේ මේ පක්ෂයේ වූ දේවල් මට අනුමත කරන්න බැහැ. පසුගිය කාලේ කුඩු, එතනෝල්කාරයෝ, හොරු - මිනීමරුවෝ සහ ස්ත්‍රී දූෂකයෝ පාර්ලිමේන්තුවට, පළාත් සභාවට සහ පළාත් පාලන ආයතනවලට පැමිණි පක්ෂයක් බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පත්වුණා.

අද අපි මේ තත්ත්වය වෙනස් කළ යුතුයි. ඒ වෙනස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට කළ හැකියි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෛත්‍රීපාල සිරිසේන මහතාට බාර දුන්නේ අපි නෙමෙයි. හිටපු ජනාධිපතිතුමා. ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගෞරවනීය සහ ප්‍රෞඪ ඉතිහාසය ආරක්ෂා කිරීම සඳහා සියලු දෙනා සහාය දැක්විය යුතුයි...” යැයි ද අර්ජුන රණතුංග අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ නව නිලධාරී මණ්ඩලය වැඩ භාර ගැනීමේ අවස්ථාවට ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ලක්දාස් පනාගොඩ සහ උප සභාපති අසිත විජේසේකර මහත්වරු ද සහභාගි වූහ. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අර්ජුන රණතුංග අමාත්‍යවරයා පැවසුවේ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සේවක වැටුප් වැඩි කිරීම සඳහා විශාල සටනක් කිරීමට තමන්ට සිදුවූ බවයි. වැටුප් වැඩි කිරීමට කළගුණ සැලකීමක් වශයෙන් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ඵලදායිතාව වැඩි කිරීම සඳහා සියලු සේවකයින් කැපවිය යුතු බව ද අර්ජුන රණතුංග අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.


නව අදහස දක්වන්න

Or log in with...