යේමනයේ හව්ති කැරලිකරුවන් දඩයමට තිත | දිනමිණ

යේමනයේ හව්ති කැරලිකරුවන් දඩයමට තිත

යේමනයේ හව්ති කැරලිකරුවන්ට එරෙහිව සෞදි අරාබිය ප්‍රමුඛ ගල්ෆ් රටවල් විසින් දියත් කළ තීරණාත්මක කුණාටුව යනුවෙන් නම් කළ මෙහෙයුම නිම කළ බව සෞදි අරාබිය පවසයි. මාර්තු 26 ඇරඹි මාසයක් පමණ පුරා පැවැති එම මෙහෙයුමට ඇමෙරිකා‍වේ සහාය ද ලැබිණි. කැරලිකරුවගේ ක්‍රියාකාරිත්වය සීමා කිරීමේ සීමිත මෙහෙයුම් පමණක් මින් ඉදිරියට දියත් කරන බව සෞදි අරාබිය පවසයි.

රියාඩ්හි පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මෙම කරණු අනාවරණය කර ඇත්තේ සභාග හමුදා බ්‍රිගේඩියර් ජෙනරාල් එහමඩ් අසිරි විසිනි.

නව මෙහෙයුම් අදියර නම් කර ඇත්තේ බලාපොරොත්තු දැල්වීම යන නමිනි . එහි මූලික අරමුණ හව්ති කැරලිකරුවන්ගෙන් එල්ල වන ප්‍රහාරවලින් සාමාන්‍ය වැසියන් බේරා ගැනීමත් කැරලිකරුවන් විසින් භූමිය අත්පත් කර ගැනීම වළකාලීමත්ය.

හිටපු යේමන ජනාධිපති සලේට පක්ෂපාති හව්ති ප්‍රමුඛ කැරලිකරුවන් විසින් සනා අගනුවර සහ සහ උතුරු යේමනයේ විශාල ප්‍රදේශයක සිය අණසක පතුරුවා තිබේ. දෙවන අධියරේ තවත් අරමුණක් වී ඇත්තේ රටින් පිටමං වී සිටින යේමන ජනාධිපති අබ්ඩ් රාබෝ හාඩිට යළි යේමනයට පැමිණීමට උචිත පරිසරයක් ගොඩනැඟීමයි.

අල් අරාබියා සහ අල් ජසිරා රූපවාහීනි ජාලය ඹස්සේ කළ කතාවකින් හාඩි නිත්‍යානුකූල රජය බලයේ පිහිටු වීමට සෞදි ප්‍රමුඛ සභාග හමුදා දෙන ලද සහයෝගයට ස්තුතිය පළකර තිබේ. යුද ගැටුම් හේතුවෙන් දුගී රාජ්‍යයක් වන යේමනය කඩා වැටීමට ආසන්න වී තිබිණි. එහෙත් හව්ති කැරලිකරුවන් තවමත් ඒඩන් වරාය නගරය අල්ලා ගැනීමේ සටන අත්හැර නැත. අඟහරුවාදා සභාග හමුදා දියත් කළ ගුවන් ප්‍රහාරයකින් ඉබබ් නගරයේ සටන්කාමීන් 20 දෙනෙක් ඝාතනයට ලක්වූහ.

හව්ති කැරලිකරුවන්ගේ හමුදා ශක්තිය බිඳදැමීමට හැකිවූ බව සභාග හමුදාව පවසයි. දැන් වැඩි අවධානයක් යොමු කර ඇත්තේ කඩා වැටුණු යේමන රාජ්‍ය යළි ගොඩනැංවීමටයි. දේශපාලනමය ක්‍රියාදාමයකින් ස්ථාවර සහ සුරක්ෂිත යේමනයක් ගොඩනඟන බව බලධාරීහු පවසති.

මේ අතර ඉරාන ජනාධිපති රව්හානි පවසා ඇත්තේ සභාග හමුදා යේමනයේ ප්‍රහාරයක් දියත් කළේ ඉරාකයේ, සිරියාවේ සහ ලෙබනනයේදී සෞදි අරාබිය අසාර්ථකවීම හේතුවෙන් ඇතිවූ මානසික අසමතුලිතතාව මඟහරවා ගැනිමට බවයි. ඉරානය, යේමනයේ හව්ති කැරලිකරුවන්ට ආධාර සපයන බවට චෝදනා එල්ල වී තිබේ. ඉරානය කැරලිකරුවන්ට නැව් මඟින් අවි ආයුධ සැපයීම වැළැක් වීමට ඇමෙරිකාව අරාබි මුහුදට යුද නෞකා දෙකක් එවා තිබේ.


නව අදහස දක්වන්න

Or log in with...