ගින්දරී ගින්දර වගේ | දිනමිණ

ගින්දරී ගින්දර වගේ

1995 දී චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් ලෙස පළමු පියවර තැබූ උදයකාන්ත වර්ණසූරිය සිය 20 වැනි චිත්‍රපටය එළි දක්වන්න සූදානම්. බහුභාර්යා, චැලෙන්ජර්, රන්දිය දහර, ගිනි අවි සහ ගිනිකෙළි, රන් කෙවිට, කොස්තාපල් පුඤ්ඤසෝම ඇතුලු චිත්‍රපට රැසක නිර්මාණකරුව, වූ උදයකාන්ත මෙවර සැරසෙන්නේ ගින්දර වගේ නිර්මාණයක් ප්‍රේක්ෂකයන්ට තිළිණ කරන්න.

ඒ බහුබූතයෝ 2 ගින්දරි. හෙට (24) සිට රීගල් ප්‍රමුඛ රිත්මා මණ්ඩලයේ සිනමා ශාලාවන්හි හිරගත වන ගින්දරී ගැන කතා කරන්න උදයකාන්ත වර්ණසූරිය රසමංජරිය හා මෙසේ එක් විය.

ගින්දරී කියන්නේ මේ චිත්‍රපටයේ කතා නායිකාව බහුබූතයෝ චිත්‍රපටයේ දෙවැනි කොටස ලෙසයි ගින්දරී චිත්‍රපටය නිර්මාණය කළේ. බහුබූතයෝ නැරැඹූ අය දන්නවා මේ චරිතය කවුද කියලා. නැවැත කෙටියෙන් මතක් කරනවානම් ගමක වෙසෙන යකැදුරකු ළඟ සිටින ඉතාම රූමත් යක්නියක් ගැන තමයි බහුභූතයෝ කතාව නිර්මාණය වුණේ.

අපි ජනසාහිත්‍යයේ පවා අහලා තියෙනවානේ යක්කු බැඳ ගෙන වැඩ ගත්තා කියලා. මේ ටිකිරි කියන තරුණියත් අන්න ඒ වගේ බැඳගෙන වැඩ ගන්න යකින්නියක්. පස්සේ ගමට අහම්බයෙන් වගේ පැමිණි මාධ්‍යවේදින් දෙදෙනකු සමඟ නගරයට එනස මේ යකින්න සහ මාධ්‍ය‍වේදීන් දෙදෙනාට ඒ හරහා සිදුවුණ අකරතැබ්බ, තමයි බහුභූතයෝ හරහා ඉදිරිපත් කළේ. එතැනදිත් මට මේ සමාජයේ ජීවත්වන මිනිසුන් අතරේ ඉන්න මිනිස් වෙස්ගත් අමනුෂ්‍යයන් ගැනත් ව්‍යාංගයෙන් කතා කළා. ගින්දරීත් ඒ කතාවේම දිගුවක්.

එතකොට ගින්දරී කියන නම යෙදුවේ ඇයි?

මේ ටිකිරි කියන යකින්න ඉතාම රූමත් ඇස් දෙක කඩාගෙන යන ලස්සනක් තියෙනවා කියන එක පැහැදිළි වෙන්නයි ගින්දරි කියන නම යෙදුවේ. ඇයගේ වැඩත් ගින්දර වගේ තමයි. චිත්‍රපටය නැරැඹූ විට එය තේරුම් ගන්න පුළුවන්. තව දෙයක් වෙන්නේ මේ යකින්නට පුළුවන් කටින් ගින්දර පිට කරන්න. ගින්දරී නම යොදන්න එයත් හේතුවක්.

බහුභූතයෝ හි සිටි පිරිසමද ගින්දරී සමඟ එක්වන්නේ?

ප්‍රධාන චරිත නම් ඒවාමයි. සෙසු චරිත නම් වෙනස් වුණා. බහුභූතයෝ 2 නිසා ප්‍රධාන චරිත වෙනස් කරන්න බැහැ. මහේන්ද්‍ර පෙරේරා, රොඩ්නි වර්ණකුල, පබෝධා සංදීපනි මෙහි ප්‍රධාන චරිත තුන. ශ්‍රියන්ත මෙන්ඩිස්, රිචඩ් මානමුදලි, රත්නා සුමනපාල, සුසිලා කෝට්ටේගොඩ, උදේනි චන්ද්‍රසිරි, ලෝචනා ඉමාෂි, සරත් චන්ද්‍රසිරි, ජීවන් හදුන්නෙත්ති ඇතුලු නළු නිළියන් රැසක් මෙහි රංගනයට එක් වුණා.

කොස්තාපල්පුඤ්ඤසෝම චිත්‍රපටයේ සාර්ථකත්වය නිසා හාස්‍ය චිත්‍රපටවලට රස වැටුණද?

හාස්‍යට මම කැමැතියි. ඒ වගේම ප්‍රේක්ෂකයෝත් කැමැතියි. බහුබූතයෝ, කොස්තාපල් පුඤ්ඤසෝම සාර්ථක වුණේ ඒ නිසා. මම බාල බොළඳ විදිහට හාස්‍ය යොදා ගන්නේ නැහැ. කරන දේ ප්‍රමිතියට කරනවා. ඒ නිසා මගේ චිත්‍රපට කිසිවක් මෙතෙක් අසාර්ථක වුණේ නැහැ.

නමුත් කොස්තාපල් පුඤ්ඤසෝම’ තිරගත වෙමින් තියෙන විටම ඩි.වි.ඩී.තැටි ලෙස නිකුත් වීමත් එක්ක යම් පසුබෑමක් වුණා නේද?

එහෙම දෙයක් වුණා. නමුත් චිත්‍රපටය අසාර්ථක නැහැ. ඉස්සර වගේ නෙමෙයි දැන් චිත්‍රපටය සිනමාශාලාවට එනකොටම එක ඩි.වී.ඩී. තැටි වලටත් යනවා. මෙය නිර්මාණකරුවාට කරන අසාධාරණයක් වුණත් මෙය පාලනය කිරීමත් ලේසි නැහැ. ඩී.වී.ඩී. කියන්නේ දැන් පුළුල් ව්‍යාපාර ක්ෂේත්‍රයක් වෙලා සිනමා ක්ෂේත්‍රයටත් අභියෝගයක් වන තරමටම. ඒත් සැබෑවටම කලාව රසවිඳින අය දන්නවා සිනමා ශාලාවක චිත්‍රපටයක් නරඹන එකෙයි, ඩි.වී.ඩී. තැටියකින් චිත්‍රපටයක් බලන එකයි අතරේ තියෙන වෙනස.

ඇඟට දැනෙන්න චිත්‍රපටයක් බලන්න පුළුවන් සිනමා ශාලාව තුළ පමණයි. හැබැයි ප්‍රේක්ෂකයාගේ ඇඟට දැනෙන දෙයක් ඒ චිත්‍රපටය තුළ තිබිය යුතුයි. චිත්‍රපටයක් කරන එක ලේසි නැහැ. එක දුවනවා කියන එකත් අවධානමක්. නමුත් ඒ අවධානම මට හැම මොහොතේම අභියෝගයක්. අභියෝගවලට මුහුණ දෙන්න මම කැමැතියි.

මෙතෙක් ඔබ කළ නිර්මාණ විවිධයි. නමුත් එක ළඟ එක හාස්‍ය චිත්‍රපට නිර්මාණය කිරීම හරහා ඒ ලේබලයම වදීද?

එහෙම වෙන එකක් නැහැ. මම චිත්‍රපට අධ්‍යක්ෂණයට පිවිසිලා වසර 20ක් වෙනවා. ඒ විස්සටම මම කළ තුන්වැනි හාස්‍ය චිත්‍රපටය තමයි ගින්දරී. පළමු දෙකම අති සාර්ථක වුණා. ඒ අතරතුර මධුර චාරිකා චිත්‍රපටය කළේ එක රාමුවකට කොටු නොවී හාස්‍යට පමණක් ඇබ්බැහි නොවී විවිධත්වය ඇති කිරීමට. හාස්‍යට කැමැති වුණාම ඒ තුළ පමණක්ම නිර්මාණය කිරීමට බලාපොරොත්තුවක් නැහැ.

නමුත්අවධානම තරමක් අඩු කරගන්න ආර්ථික වශයෙන් හයියක් ලබා ගන්නනම් මිනිස්සු කැමැති දේ ප්‍රමිථියට ලබා දෙන්න ඕනේ. චිත්‍රපටයක් සාර්ථක වෙනවා කියන්නේ එය කර්මාන්තයටත් විශාල හයියක්. මම අවුරුද්දට එක චිත්‍රපටයක් කරනවා. අවුරුද්දක් කියන්නේ මාස දෙකක් තුනක් නොවෙයිනේ. තරමක දීර්ඝ කාලයක් සාමාන්‍යයෙන් එක චිත්‍රපටයක රූපගත කිරීම්, එඩිට් කිරීම් කළාට පස්සේ මම තව අලුත් නිර්මාණයක් ගැන නිදහසේ හිතනවා. ඒ මගේ හැටි. ඒක හාස්‍ය වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්.

රන් කෙවිටේ ගොපලු යකා, බහුභූතයෝ, ගින්දරී මේ අමනුෂ්‍ය චරිතම යොදා ගන්නේ ඇයි?

මේ චරිත අපට අදාළ දේවල්නේ. අපේ ජනකතා වල එහෙම තියෙන චරිත. අදටත් ගම්වල ගොපලු යකා ගැන කතා තියෙනවා. අපට අවේණික දේවල් අරන් දෙයක් නිර්මාණය කිරීමේ වරදක් නැහැනේ. ඔන්න ඩ්‍රැකියුලා, මකරා අපට යොදාගන්න බැහැ. ඒවා අයිති වෙනත් රටවලට.

මේ යක්කු, ප්‍රේතයෝ, භූතයෝ අපට සමීපයිනේ. හාස්‍ය අතරින් සමාජයට යම් පණිවිඩයක් දෙන්නත් ඔබ උත්සහා කරනවාද?

කොස්තාපල් පුඤ්ඤසෝම හරහා මට උත්සහ කළේ පොලිස් නිලධාරින් අතරත් අහිංසක, මිනිස්කම් හඳුනන අය ඉන්නවා කියන එක විනෝදාත්මකව ඉදිරිපත් කරන්න. ගින්දරි හරහා මම උත්සහා කරන්නේ දේශපාලනයේ ඉන්න දුෂ්චරිත, දූෂිත දේශපාලනය හා ඒ තුළ එන අප්‍රසන්න දේවල් හාස්‍යන් සමඟ ප්‍රේක්ෂකයාට පැහැදිලි කරන්න.

ඔබේ හාස්‍ය නිර්මාණ තුනටම මහේන්ද්‍ර පෙරේරාව යොදාගෙන තිබෙනවා. එයට විශේෂ හේතුවක් තියෙනවාද?

මහේන්ද්‍ර විශිෂ්ට නළුවෙක්. ඕනෑම ආකාරයේ චරිතයක් අවබෝධයෙන් රඟපාන්න ඔහුට පුලුවන්. ඒ හැකියාව මම හඳුනාගෙන තිබෙනවා.

රන්කෙවිට වගේම ගින්දරිත් තාක්ෂණික ප්‍රයෝග භාවිත කළාද?

මෙවැනි චරිත වලට ඩිජිටල් තාක්ෂණය යොදා ගන්න වෙනවා. නැතුව බැහැ. නමුත් ප්‍රේක්ෂකයාට එය තාක්ෂණික ප්‍රයෝගයක් කියන දේ නොදැනෙන්න යොදා ගන්න ඕනේ. අද කාලයේ සිනමාවට තාක්ෂණය අත්‍යවශ්‍යමයි. ඩිජිටල් ප්‍රක්ෂේපණ තාක්ෂණය තිබෙන සිනමාශාලා තිබෙන්නේ 6යි.

සමස්ත සිනමාශාලා සියල්ල නව තාක්ෂණයට අනුගත විය යුතුයි. අනෙක් රටවල් එක්ක බල‍නකොට අපි තවම මන්දගාමියි. ඒ නිසා මෙයට රජයේ අවධානයන් යොමුවෙලා මේ ගමන වේගවත් වනවානම් තමයි හොඳ.

ගින්දරීගෙන් පසු...

කොස්තාපල් පුඤ්ඤසෝම 2 කරන්න බලාපොරොත්තු වනවා. ඊට පස්සේ දෙයක් තවම හිතලා නැහැ.


නව අදහස දක්වන්න

Or log in with...