දින සියයෙන් හැමදේම හදන්න බැහැ | දිනමිණ

දින සියයෙන් හැමදේම හදන්න බැහැ

පසුගිය දින සීයේ සිදුවූ වැදගත්ම දේ බය සැක නැතිව ජීවත් වෙන් පුළුවන් පරිසරයක් නිර්මාණය වීමයි. පසුගිය කාලේ වගේ විරුද්ධවාදීන් සුදු වෑන්වලින් අරගෙන යන්නේ නැහැ. ඒ කාලේ හාමුදුරුවරු පස්සෙන් පවා සී.අයි.ඩිය පැන්නුවා. ‍එහෙම බයක් සැකක් දැන් නැහැ. විදේශගතව හිටිය මාධ්‍යවේදීන් ආපහු රටට ආවා. රජයේ මාධ්‍යවල පවා විපක්ෂයටත් අදහස් දක්වන්න අවස්ථාව ලැබෙනවා. හැම දේටම වැඩිය ඒ නිදහස වටිනවා.

ආර්ථික පැත්තෙන් බැලුවොත් ‍ඉන්ධන මිල අඩුවීම ජීවන වියදම අඩු වෙන්න හේතුවක්. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 14ක මිල පහත වැටුණා. ඒක ජනතාවට ලැබුණු බලවත් සහනයක්. ඇති කළ ක්‍රමයේ ගැටලු තිබුණ වුණත් තේ, රබර්, වී වලට සහතික මිලක් ලබා දීම හොඳ දෙයක්. ජනරාල් සරත් ‍ෆෝන්සේකාට, ශිරානි බණ්ඩාරනායක මහත්මියට සාධාරණය ඉටු වුණා.

මේ සියල්ලටම වඩා ප්‍රමුඛතාව ලැබිය යුතු කාරණය වන්නේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම, ස්වාධීන කොමිසන් සභා යළි බලගැන්වීම හා මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම කියන යෝජනා තුනයි. මේක කරගත්තොත් විශිෂ්ට ජයග්‍රහණයක්. මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා බලයට පත්කළ ජනතාවගේ ප්‍රාර්ථනාව මේ යෝජනා තුන දිනවීමයි.

එතැනට එනකොට දින 100 ගෙවිලා ඉවරයි. ‍වැඩසටහන හොඳ වුණත් එහි තිබෙන බොහෝ දේවල් ක්ෂණිකව කරන්න බැහැ. පනත් කෙටුම්පතක් සම්මතවීමට අවස්ථා කිහිපයක් පසු කළ යුතුයි. අධිකරණය ඉදිරියේ අභියෝගයට ලක් වෙන්න පුළුවන්. අවශ්‍යතාව තිබුණට කඩිමුඩියෙ කරන්න බැහැ.

අලුත් ගමන තවම පටන් ගත්තේ නැහැ. ඒක පටන් ගන්නේ 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත වූ දවසටයි. දැන් පේන විදිහට ඒක වුණත් 100%ක්ම අපි හිතන විදිහට කරගන්න බැහැ. ඒකට හේතුව සමහර කාරණා සඳහා ජනමතවිචාරණයක් අවශ්‍යවීමයි. මේ මොහොතේ හැටියට එය වුණත් ප්‍රමාණවත්. පසුගිය දින 100 ඇතුළේ කරපු වැඩවලින් පහර වැදුණ පිරිසකුත් ඉන්නවා. ජනතාව ප්‍රතික්‍ෂේප කරපු ඒ උදවිය බලයට එන්න විවිධ කතා ගොතනවා.

ඊළාම්වාදය හිස ඔසවනවා කියන චෝදනාවත් ඒ වගේ එකක්. සිංහල අපි බුක්ති විඳින නිදහස දෙමළ, මුස්ලිම් ජනතාවටත් ලැබිය යුතුයි. ගැටලු මතු වෙන්නේ එහෙම නොවෙනව නම් තමයි. යුද්ධය ඉවර කරලා හත් අවුරුද්දක් ගියා. උතුරේ‍ දෙමළ පවුල් 19,000ක් තවමත් ඉන්දියාවේ සරණාගතයෝ හැටියට ජීවත් වෙනවා. ඔවුන්ටය අයත් ඉඩම් යළි ලබාදීම හෙළා දකින උදවිය ඒ මිනිස්සුන්ට ඉන්න කියන්නේ අහසෙද? උතුරේ ජනතාව දකුණ සමඟ එකට ජීවත් වෙන්න කැමැති බව පසුගිය ජනාධිපතිවරණයේදි තහවුරු කළා.

ඔවුන් අපිත් සමග නිදහස් දිනය සැමරුවා. මේවා දින සියයයේ ජයග්‍රහණ. ඒ සහෝදරත්වය ඉස්සරහට රැගෙන ආ යුතුයි. බෙදුම්වාදය මතු වෙන්නේ ඒ බැඳීම නැති වූ විටයි.

මේ රටට හිස ඔසවන්න පුළුවන් හොරකම, වංචාව, අල්ලස, දූෂණයට තිත තියපු දවසටයි. දූෂණයට වැට බැඳීම විරුද්ධවාදීන් මර්ධනය කිරීමක් නෙවෙයි. තරාතිරම, පක්ෂ පාට බලන්නේ නැතිව අල්ලස් ගත්ත අයට දඬුවම් කළ යුතුයි. මේ කාරණය හිටපු ජනාධිපතිට පමණක් නෙවෙයි. අලුත් ආණ්ඩුවේ ඇමැතිවරුන් හා නිලධාරීන්ටත් අදාළයි. මහබැංකු බැඳුම්කර සිද්ධිය දින 100 කිරි කළයට වැටුණ ගොම බින්දුවක්. අපේ රටේ කොයි තරම් දුරට දූෂණය මුල් බැහැ ගෙන තියෙනවද කියලා මේ සිද්ධියෙන් පැහැදිලියි. ස්වාධීන කොමිසන් සභා තිබුණ නම් මේවට විරුද්ධව පියවර ගන්න තිබුණා. දින 100න් කේතුමතී රාජධානියක් හදන්න බැහැ.


නව අදහස දක්වන්න

Or log in with...