නීතිය පාච්චල් කරන ලයිසන් හොරු | දිනමිණ

නීතිය පාච්චල් කරන ලයිසන් හොරු

ලංකාවේ සදාකාලික පාලකයා බවට මහින්ද රාජපක්ෂ පත් කිරීමේ ව්‍යාපාරය ඇනහිට තිබේ. පසුගිය ජනාධිපති මැතිවරණය අතර, එක්තරා රාජ්‍ය බැංකුවක සභාපතිවරයෙක් මැතිවරණය ගැන තම අධ්‍යක්ෂ මණ්ඩලයට මෙසේ කියා ඇත.

“මෛත්‍රිපාල කොහේ දිනන්නද? මිනිහෙක්ද? ලංකාවේ හැම නගරයකම රැස්වීම් පවත්වන්න පුළුවන් හැම පිට්ටනියක්ම අපි බ්ලොක් කරලා ඉවරයි. හැම පත්තරේකම දැන්වීම් භාර ගන්නා පිටු අපි බුක් කරලා ඉවරයි. එයා යවන හැම දැන්වීමකම මොකක් හරි වෙනස් කරන්න කියලා ඒ පත්‍ර කාරයන් ලවා අපි බල කරනවා. පෝස්ටර් ගහන්න පුළුවන් හැම ඉඩකම අපි පෝස්ටර් ගහලා ඉවරයි. මේ වනවිට රා‍ජ්‍ය මාධ්‍යයට වඩා අපට පුද්ගලික මාධ්‍ය විශ්වාසයි.

මැතිවරණ කොමසාරිස් බැලන්ස් වාගේ ඉන්නවා. අන්තිම දවසේ ගේම දෙනවා. ජනවාරි නවවෙනිදා මෛත්‍රිපාලටයි පොදු විපක්ෂයටයි මතක වස්ත්‍ර පූජා කරන්නවත් අපි ඉඩක් තියන්නේ නැහැ. මතකනේ ෆොන්සේකාට කළ දේ...” මේ හාදයා මේ ප්‍රකාශය කළේ සිය අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් හමුවේ, බැංකුවේ අරමුදලෙන් මිලියන කිහිපයක් කාගේදෝ පුද්ගලික පදනමකට යැවීමට අධ්‍යක්ෂ මණ්ඩලයේ සහාය අවසර ඉල් ලා සිටි අවස්ථාවේය.

දේශපාලනය මොකක් වුණත් ඒ ගැන තමන්ට අනුමැතිය දිය නොහැකි බව අධ්‍යක්ෂවරු කී පසුව ඔහු කීවේ ඉහතින් උපුටා දැක්වූ ප්‍රකාශයයි. ඔහු තම කතාව අවසන් කළේ මෙසේය. “හරි මට කාගේවත් අනුමැතිය වුවමනා නැහැ. මම මේ මුදල යවනවා.” මේ මුදල යැවීම ගැන මූල්‍ය අපරාධ පරීක්ෂණ අංශය පරීක්ෂණ ආරම්භ කර ඇත.

ලංකාවේ සදාකාලික පාලකයා බවට මහින්ද රාජපක්ෂ පත්කිරීමේ සියලු සිහින දැන් අවසන්ව ඇත. මහින්ද බේරා ගැනීමට බිම වාඩිවූ පිරිස් දැන් කියන්නේ කුමක්ද? ප්‍රශ්න කිරීමට පෙර කතානායකවරයා දැනුවත් කරන ලෙසය. කිසි ලෙසකින් මහින්ද රාජපක්ෂ පාලනය කළ හොරමැරකම් යටපත් නො කරනු ඇත.

හොරු ඇල්ලීම

රාජපක්ෂ රෙජිමය සැලසුම් කළ ආකාරයට ජනාධිපති මැතිවරණ ව්‍යාපාරයේ මුළු වියදම දරන ලද්දේ රාජ්‍ය අංශයේ ආයතන විසිනි. ඉහත කී ලෙස රාජපක්ෂවාදීහු රජයේ ආයතනවලින් ගත හැකි අන්තිම සතයත් ලබා ගැනීමට පියවර ගත්හ. මෛත්‍රිපාල සිරිසේන රජයට ඇත්තේ එකී දූෂණ වංචා ගැන පරීක්ෂණ කඩිනම් කළ නොහැකි තත්ත්වයකි.

අද ජනතාව කියන්නේ හොරුන් අල්ලන්නේ නැති බවය. ඒ අතර, රාජපක්ෂ පාලනයේ වංචා දූෂණ යටපත් කිරීමට මහා වෑයමක් දියත් වෙමින් පවතී. සතිය ආරම්භයේ පාර්ල‍ිමේන්තුවේදී එළි බැස්සේ ඒ ව්‍යාපාරයේ කොටසකි. මේ වනවිට ඇවන්ගාර්ඩ් සෙල්ලම යටපත් වී ඇත. දැන් වැරදි කාරයන් වී ඇත්තේ ඒ වංචාව ගැන ඔත්තුව දුන් අය නොවේද?

මහින්ද රාජපක්ෂට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළොත් ලේ උඩ පීනන බවට සමහරු දිවුරනු පෙනිණ. එසේ උඩ පැන්න සමහර අයගේ කැරැට්ටුව රටට ඔප්පු වී හමාරය. ඒවා හෙළිදරව් කළේ දේශපාලන පක්ෂ හෝ සිවිල් ව්‍යාපාර විසින් නොවේ. ඔවුන් සමඟ දීග කෑ නියම් සහ අනියම් භාර්යාවන් විසිනි. මහින්ද වෙනුවෙන් මැරෙන්න ලේ බොන්න කටමැත දෙඩූ දේශ හිතෛශීයෙකුට එරෙහි දික්කසාද නඩුවක තොරතුර අති ප්‍රසිද්ධය.

ඒවා ප්‍රසිද්ධ කළේ ඔහුගේම සහෝදර කැබිනට් මිතුරෙකි. එකී නඩුව අවසන් වන තෙක් ඔහුගේ භාර්යාව රුපියල් මිලියනයක මාසික නඩත්තුවක් ඉල්ලා සිටියාය. 1980 ගණන්වල දේපළ වෙ‍ෙළඳ ව්‍යාපාරයක අලෙවි කළමනාකරුවෙකු ලෙස රුපියල් 2350.00 මාසික වැටුපක් ලද මේ හිටපු ඇමැතියා 2013දී අධිකරණයකදී මාසිකව රුපියල් දස ලක්ෂයක මුදලක් බිරියට ගෙවන්න එකඟ වුණාද නැද්ද යන්න දන්නෝ දනිති. මේ සිද්ධිය සිහිපත් වුණේ ගෙවුණු සඳුදා, අඟහරුවාදා පාර්ලිමේන්තුවේදී මහින්ද වෙනුවෙන් ක්‍රියාත්මක කැරැල්ලේදී හිස දන් දීමට සූදානම් බව කී සිරි සඟබෝ කෙනෙක් නිසාය‍. මේ අය මේ දත කන්නේ මහින්දට ඇති ආදරය නිසා නොවේ. මහින්ද ගොඩ දමා හිරේ නොවැටී බේරෙන අදහස ඇතිවය.

සිරගෙය බිඳීම

එතනෝල්කාරයන් කුඩු කාරයන් පිරිවරා නව වසරක් රට විනාශ කළ රාජපක්ෂ පාලනය ගැන එළිදරව් වන තොරතුරු මාධ්‍ය සංදර්ශන නොවේ. විමල් වීරවංශ නිතර කියන්නේ ඔහුගේ අඹුව අධිකරණයට ඉදිරිපත් කිරීම මහා අපරාධයක් බවය. ඒ සමඟ ෂශී වීරවංගෙන් අල්ලස් හෝ දූෂණ කොමිසම ප්‍රශ්න කිරීම වීරවංශ පරම්පරාවට කෙරුණ මහා අවමානයක් බවය. අමතර උප්පැන්න, හැඳුනුම්පත් පාවිච්චි කරන්නෝ සොරු තක්කඩි මිස කුල කාන්තාවෝ නොවෙති.

ප්‍රංශ විප්ලවය අතර බැස්ටිල් සිර‍ ගෙය බිඳ අසාධාරණයට ලක්වූවන් නිදහස් කර ගත්තේ ප්‍රංශ ජනතාව විසිනි. ඒ විප්ලවය ලෝකයේ මානව අයිතිවාසිකම් පිළිබඳ තබන ලද්දේ වි‍ශිෂ්ට සටහනකි. අදටත් ඒ විප්ලවය මානව වංශයට ආශ්වාදයකි. එහෙත් බැස්ටිල් සිරගෙය කඩා එළියට පැමිණි අය මුලින් ඉල්ලා සිටියේ ප්‍රජාතන්ත්‍රවාදය නොවේ. සොරුන්ට ‍මංකොල්ල කාරයන්ට දරුණු පාලකයන්ට එරෙහිව ක්‍රියා කරන ලෙසය.

ජනවාරියේ ලංකාවේ පැවතියේ ඡන්දයක් නොවේ. සත්තකින්ම කැරැල්ලකි. එය බැස්ටිලය නොවිය හැකිය. එහෙත් වැලිකඩ සිරගෙය තුළදී පෝලිම් ගස්වා වෙඩි තබා මැරූ මිනිසුන්ට ඒ කැරැල්ලට එක්වීමට නොහැකි විය. ඔවුන් ජීවත්ව සිටියා නම් ලංකාවේ පසුගිය වසර නවයක කාලය තුළ රට කෑ ලුවි ලා මාරි ඇන්ටොනයිට්ලා මෙලහට පස් යටය. ඔවුන් ඉනෙහි එල්ලෙන ඇඳිවත් රෙදි කඩමාලු අතින් අල්ලාගෙන අපට මේ වනන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ සාධාරණත්වයේ කොඩි නොවේ. හිට්ලර් ලෝකය ලේ විලක් කොට කෙළින් කරන්ට ගිය ජාති වාදයේ රතු කොඩිය බව අප තේරුම් ගත යුතුය. රටේ හතර කොන ඉදි කෙරුණ මාලිගා සඳහා බදු කාසි වැය කළ නිසා මතුවන අය වැය හිඟය පියවීමට හාල් ඇටයේ බෙහෙත් පෙත්තේ මිල ඉහළ දමන්ට රාජපක්ෂ පාලනයට සිදු විය.

එදා රුපියල් 2500කින් ජීවත් විය හැකිය කියා බඩගින්නේ සිටි එවුන්ගේ නැති බැරිකම සමච්චලයට ලක්කළ එකා මහින්ද නීතියෙන් බේරාගන්න කතා කළේය. ජම්බෝ කැබිනෙට්ටුව අඩුකොට සීනි මිල, හාල් මිල, ඉන්ධන මිල, බෙහෙත් මිල අඩුකළ අතුරු අය වැය සමච්චල් කළේ කොත්තමල්ලි කතා කියමිනි. ගුරු මාරුවෙන් ප්‍රශ්න පත්‍ර අලෙවියෙන් පවා සල්ලි උපයා ගත් රාජපක්ෂ පාලනයේ කාලකන්නි මුරකාරයන් මේ තැත් කරන්නේ රටේ නීතිය යටපත් කිරීමටය. රාජපක්ෂලා යටත් විජිත පාලනය නිසා පිරිහුණු උඩරට ප්‍රදේශ වැඩි දියුණු කිරීමට පිහිටවූ උඩරට ගැමි පුනරුත්ථාපන දෙපාර්තමේන්තුව විනාශ කළහ.

අගමැති දි.මු.ජයරත්න පිහිටවූ උඩරට සංවර්ධන අධිකාරිය විනාශ කළහ. ඒ ආයතන බැසිල් රාජපක්ෂකරණයකොට ඇටවූ දිවි නැඟුම දෙපාර්තමේන්තුව කළ විනාශය දැන් හෙළිවී ඇත. දිනේෂ්ලා වාසුලා බන්දුලලා මහින්දානන්දලා රෝහිතලා පාර්ලිමේන්තු භූමිය පේමන්ට් එකක්කොට කෑ ගැසුවේ පිළිකා රෝගියෙකු වකුගඩු රෝගියෙකු වෙනුවෙන් නම් අපට හිත හදාගෙන අනේ අපොයි කියන්න පුළුවන. ඔවුන් කතා කළේ මහින්ද රාජපක්ෂ වෙනුවෙනි. ඒ රාජපක්ෂට අසාධ්‍ය රෝගයක් වැළඳුණ නිසා නොවේ. ඔහු පසුපස එළවන නීතියෙන් ඔහුව බේරා ගැනීම සඳහා ය.

යුද්ධය දිනීම

යුද්ධයට විරුද්ධව පාවිච්චි කරන යුද පිටියේදී පත්තුවන තුවක්කුවට සාමය අපේක්ෂා කරන්නෝ අකමැති නැත. සමහර විට ගරු කරති. මිනීමරු හිට්ලර් විනාශ කරන්නට මිත්‍ර ජාතින් දෙවන ලෝක සංග්‍රාමයේදී පත්තු කළ වෙඩි සාමය අගයන ලෝකයා දුටුවේ මල් වෙඩි මෙනි.

මිනීමරු ප්‍රභාකරන් මියගියේ 2009 බව සැබෑය. එහෙත් ඔහු නන්දිකඩාල් කලපුවට කොටු කරන සටන තිස් වසරක් පරණ එකකි. ඒ යුද්ධය දිනා ගැනීම පිණිස ලංකාවේ දකුණේ ජනතාවගේ දූ දරුවන් දස දහස් ගණනක් ජීවිත පූජා කළහ. 2009 උදාවූ සාමය ලංකාවේ පරම්පරා ගණනක ජනතාව කළ කැප කිරීමේ ප්‍රතිඵලයකි. ඒ යුගයේ මියගිය අප්‍රකට රණ විරුවන් දහස් ගණනකි. ඔවුන් අතර ප්‍රභාකරන්ට එරෙහිව සටන් මෙහෙයවූ කොබ්බෑකඩුව, විජය විමලරත්න ආදි යුද විරුවන් හෙළූ ලේ දහදිය අප්‍රමාණය.

ඒ සටන දිනා ගැනීමට රටේ දේශපාලනය මෙහෙයවූ ගාමිණී දිසානායක, ලලිත් ඇතුලත්මුදලි ආදිහූ ජීවිතයෙන් වන්දි ගෙවූහ. තිස් අවුරුදු යුද්ධය ජයග්‍රහණය කාගේවත් පිනුමක් විජ්ජාවක් නොවේ. ඒ බව මේ රටේ ජනතාව සදා සිහිපත් කළ යුතුව ඇත. ප්‍රභාකරන්ට සිය ඊළමේ මායිම් වැඩි දියුණු කර ගැනීමට අවහිරවූ ගැමි ජනතාව මැරුම් කෑවේ අත ආයුධයක් හෝ නොමැතිවය. ප්‍රභාකරන් කෙන්ට් ෆාම් ,ඩොලර් ෆාම්වල ජීවත් වූ මේ රටේ පුරවැසියන් කැති ගෑවේ ඔවුන්ගේ කිරි කැටි දරුවන්ද සමඟය. කොළඹ බස් බෝම්බ පිපිරුණේ, මහ බැංකුව ගිනි තැබුවේ, අනුරාධපුර නගරය ලේ විලක් කළේ, ශ්‍රී මහා බෝධිය අමු සොහොනක් කළේ ප්‍රභාකරන් විසිනි.

ඒ මියගිය හැම ජීවිතයක්ම තිස් අවුරුදු යුද්ධයට ගොදුරු වූවන් බව අප අමතක කළ යුතු නැත. ඒ ප්‍රභාකරන් 2002දී සාම ගිවිසුමක් හරහා හිර කළේ රනිල් වික්‍රමසිංහ විසිනි. 2005 දී වඩා මහින්ද හොඳ බව ප්‍රභාකරන් තීරණය කළේ රනිල් ප්‍රභා ගිවිසුම ඊළමට විනයක් වූ බව දැනගෙනය.

එහෙත් අද පෙළහර පාන මහින්ද ප්‍රභාකරන් මුදලට ගෙන උතුරේ ජනතාවගේ සාධාරණ ඡන්දයට වින කැටීය. එසේ කොට 2005 දී ජනාධිපති මැතිවරණය දිනාගත්මහින්ද රාජපක්ෂට ඉහත කී තිස් අවුරුදු යුද්ධයේ අවසන් වෙඩිල්ල තබන නියෝගය දීමට ඉඩ ලැබිණ. ඒ අවසන් යුද්ධය අතර, උතුරේදී නොව කොළඹ හමුදා මූලස්ථානයෙදී හමුදාපති සරත් ෆොන්සේකා බෝම්බ ප්‍රහාරයකින් නැඟිට්ටේ සිය බඩවැල් අතැතිවය.

එදා ඔහු එතනදි මියගියා නම් තිස් අවුරුදු යුද්ධ ජයග්‍රහණයක් ගැන අපට කතා කළ නොහැකි වනු ඇත. ඒ සියල්ල අවසානයේ අපි යුද්ධය දිනා ගතිමු. ගෙවුණු සඳුදා බන්දුලලා, මහින්දානන්දලා වීරවංශලා පෙනී සිටියේ යුද වීරයා වෙනුවෙනි. රට දිනා ගත් මිනිසා ඔහු විය හැකිය. එහෙත් කොපමණ දෝ රණවිරු සොල්දාදුවන් නීතිය හමුවේ අපරාධ කරුවන් නොවීද? මහින්ද තනියම ගන්න හැදූ මේ යුද ජය ඔහුටම සාපයක් විය. යුද ජයෙන් රජ සිහිනයක තනිවුණු මහින්ද රට පාලනය කළේ විකාරයෙනි. සත්තකින්ම යුද්ධය කළේ රණවිරුවන් විසිනි. මේ අනුව මහින්ද සියලු සොරකම්වලට පළමුව ජනතාවගෙන් යුද ජය සොරා ගත්තේ ය.

තිත්ත ඇත්ත

ඒ යුද්ධය අවසන් වී 2010 ජනාධිපති මැතිවරණයට සරත් ෆොන්සේකා ඉදිරිපත් විය. ඒ මහින්දට එරෙහිවය. එය ප්‍රජාතන්ත්‍රවාදි රටක හිමිකමකි. සරත් ‍ෙෆාන්සේකා 2010දී පැරදිණ. මහින්ද 2015 දී පැරදිණ. 2010 දී පැරදුණ සරත් ෆොන්සේකාට තෙමසක් තුළ කුමක් වීද? 2015 දී පැරදුණු මහින්දට සිදුව ඇත්තේ කළ වංචා දූෂණ ගැන කට උත්තරයක් දීමට පමණකි. ෆොන්සේකාට සාපේක්ෂකව මහින්ද වාසනාවන්තයෙකි.

එහෙත් අර කී බන්දුලලා, මහින්දානන්දලා වීරවංශලා ෆොන්සේකා යුද වීරයෙක් ලෙස නොසලකති. මේ සිද්ධි අතර, ගෙවුණු සඳුදා මහින්ද රාජපක්ෂ මාධ්‍ය අමතා ඇත්තක් කීය. තමා සිදුවූ බොහෝ දූෂණ වංචා යටපත් කළ බවය. මිනිසුන් බේරා ඇරිය බවය. නීතිය ක්‍රියාත්මක නොකළ බවය. ඔහු එසේ කීවේ මහත් පසුතැවි‍ල්ලෙනි. ජනතාව තමන් කළ කී දේ ගැන තැවෙන මිනිසෙක් ගෙදර යවා ඇත.

ඔහු අගමැති කරන්න දැඟලීම වෙනම කතාවකි. ඔහු කළ වැරැදි පසුපස නීතිය හඹා එනවිට ඔහු බේරා ගන්න පාර්ලිමේන්තු බලය කිළිටි කරන දූෂීතයන්ට නීතිය යටපත් කළ හැකිද? දැන් ජනතා විනිශ්චය දී හමාරය. ඒ විනිශ්චය කුමක්ද? යමෙකු සොරකම් කළා නම් සොයා නඩු පවරා දඬුවම් දෙනු යන්නය. විදේශ නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා කී පරිදි ජනාධිපතිකම අවසන් කොට ගෙදර ගියපසුව නීතියට කොකා පෙන්වන්න කාටවත් බැරිය.


නව අදහස දක්වන්න

Or log in with...