මිහින් ලංකා නොමනා වියදම් | දිනමිණ

මිහින් ලංකා නොමනා වියදම්

ශ්‍රී ලන්කන් ගුවන් සේවය පිළිබඳ විමර්ශන මණ්ඩලය පවසන පරිදි ඔවුන් ශ්‍රී ලන්කන් එයාර් ලයින්ස් අධ්‍යක්ෂ මණ්ඩලය හා ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වය බලය අයුතු ලෙස භාවිත කිරීම, ගුවන්යානා බද්දට ගැනීමේදී හෝ සපයා ගැනීමේදී අක්‍රමිකතා සිදුව ඇති බවට සාධක තිබුණේද, එම ගුවන් සේවය මඟින් රුපියල් මිලියන 25කට වැඩි වටිනාකමකින් යතු භාණ්ඩ හා සේවා සපයා ගැනීමේදී නිසි ක්‍රියා පිළිවෙත අනුගමනය කර ඇතිද, ගුවන් සේවයෙහි මනා ක්‍රියාකාරිත්වයට අහිතකර ලෙස බලපාන බාහිර මැදිහත්වීම් තිබුණේද යන්න තහවුරු කෙරෙන සාක්ෂි තිබේද යන කරුණු විමසා බලා ඇත. මේ ලිපියෙන් ඉදිරිපත් කෙරෙන්නේ එම විමර්ශන මණ්ඩල‍ෙය් වාර්තාවෙන් උපුටා ගත් කරුණු ය.

මෙහි තුන්වැනි කොටස ඊයේ දිනමිණ පුවත්පතෙහි 09 වැනි පිටුවේ පළවිය. මේ එහි අවසන් කොටසයි.

2009 මැයි 25 දිනැති කපිල චන්ද්‍රසේන මහතාට නිමල් රත්නායක විසින් යොමුකරන ලද ඊ‍මේල් පණිවුඩයක සඳහන් වන්නේ MA 60 යානා වෙනුවෙන් GSE, ආවුද, කර්මාන්තශාලා අමතර කොටස්, චීනයේ නිපද වූ උපාංග බටහිර සමාගම් විසින් නිෂ්පාදිත උපාංග, ආසන සඳහා අමතර කොටස් සහ පරීක්ෂණ උපකරණ CATIC විසින් එවා ඇති බවයි.

චීන දූත පිරිස සමඟ පැවැත් වූ රැස්වීමක දී මෙම කරුණු ඉදිරිපත් කර තිබුණත්, එය රජයන් දෙකක් අතර ගනුදෙනුවක් නිසා සමස්ත පැකේජය ලබාගැනීම විනා අන් කළ හැකි දෙයක් නොමැති බව ඔවුන් පවසා ඇත. භාණ්ඩ ලැයිස්තුව ගුවන් යානා 6ක් වෙනුවෙන් බවත්, මේවායේ අවශ්‍යතාව පිළිබඳ සංශෝධන කලින් සිදුකළ යුතුව තිබූ බවත් ඔවුන් හුවා දක්වා තිබේ.

යෝජිත ගුවන් යානා වර්ගය පිළිබඳ ඔවුන්ට පැහැදිලි අවබෝධයක් නැති බවත්, මෙහෙයුම් සංඛ්‍යා ලේඛන නොමැති වූ බවත් එම කණ්ඩායම සඳහන් කර තිබේ. GSE ද්‍රව්‍ය වහාම අවශ්‍ය නොවන ඒවා බව ද ඔවුන් හුවා දක්වා තිබේ. තවද පෙන්වා ඇති ද්‍රව්‍ය ගුවන් යානා දෙකකට පමණක් ප්‍රමාණවත් බවත් පෙන්වා දී ඇත.

සාධාරණ සහ යුක්ති සහගත ලෙස අමතර කොටස් ආනයනය කර ඇත්ද යන්න සහතික කිරීමට තවදුරටත් විමර්ශන කළ යුතුව ඇත.

අදාළ ප්‍රක්ෂේපණ පදනම් වූ ආකාරය පිළිබඳ නිශ්චය කිරීමට මුදල් ගලා යාමේ සටහනක්, ශේෂ පත්‍රයක්, මූල්‍ය සැලසුමක් හෝ සවිස්තරාත්මක උපකල්පනයන් නොවීය. ව්‍යාපෘති කමිටුවේ වාර්තාව, ජී.එස්. විතානගේ (සභාපති), ඩී. විදාන ගමාච්චි, ඩී. එම්. පී. දිසානායක, එයා වයිස් මාෂල් ඊ. පී. ජේ. පී. ද සිල්වා, කපිල චන්ද්‍රසේන සහ එස්. ඒ. චන්ද්‍රසේකර යන සාමාජිකයන් විසින් අත්සන් කර තිබේ.

ඉහත සඳහක් කැබිනට් තීරණයට අනුව, ලැබි තිබූ CATIC කෙටුම්පත් කොන්ත්‍රාත්තුව පිරික්සුමට ලක්කිරීම සම්බන්ධයෙන් 2009 ජූනි 10 දිනැති ව්‍යාපෘති කමිටු වාර්තාවට අනුව උපදෙස් දී තිබූ බවටත්, කලින් සඳහන් කළ ව්‍යාපෘති කමිටුව විසින් එය අනුමත කර ඇති බවටත් සඳහන් වේ.

කැබිනට් මණ්ඩලය විසින් පත්කරන ලද සාකච්ඡා කමිටුව 2009 අප්‍රේල් 24 දින සහ ඉන් අනතුරුව 2009 මැයි 6 වැනි දින පැවැත් වූ රැස්වීම්වලදී පහත සඳහන් කරුණු ගිවිසගෙන තිබේ.

l MA 60 ගුවන් යානා 4ක් (1 වන වසරේදී 2ක් සහ 2 වන වසරේදී 2ක්) මිලදී ගැනීම නිර්දේශ කිරීමට

l CATIC සාමාජිකයන්ගේ ස්ථාවරය වී ඇත්තේ පැකේජය ගුවන් යානා 6ක් මිලදී ගැනීමට අදාළ වූවක් බවත්, එම නිසා ඉතිරි ගුවන් යානා 2 පසුව මිලදී ගැනීමේ දී සහනදායි ණය පහසුකම නොලැබෙන බවත්ය.

කලාපීය දකුණු ඉන්දීය ගමනාන්ත දක්වා යාමට අතිරේක ගුවන් යානා දෙකක් එක්කිරීමෙන් දේශීය ගුවන් යානයේ මෙහෙයුම් කටයුතු පුළුල් කළ හැකි බවට මිහින් නියෝජිත කපිල චන්ද්‍රසේන පෙන්වා දී ඇත.

චන්ද්‍රසේන මිහින් ලංකා හිටපු ප්‍රධාන විධායක නිලධාරි වූ බව වලංගු කර නැත. ප්‍රක්ෂේපිත ගුවන් ගමන් රටාව සහ කලාපීය ගුවන් ගමන්වලින් අත්කර ගත හැකි ප්‍රතිලාභ සලකන කළ MA 60 වර්ගයේ ගුවන් යානා මෙහෙයවීම වඩා සුදුසු සහ වැඩි ශක්‍යතාවකින් යුතු බව මිහින් ලංකා නියෝජිතයාගේ අදහස වී ඇත. යෝජිත දකුණු ඉන්දීය ගමනාන්තයන් ද ඇතුළත් සවිස්තරාත්මක ව්‍යාපාර සැලැස්මක් මිහින් ලංකා ඉදිරිපත් කර තිබූ අතර 2 වන වසරේදී ගුවන් යානා 2ක් මිලදී ගැනීම සාධාරණීකරණය කර තිබේ.

මිහින් ලංකා සමාගමේ සංශෝධිත මුල්‍ය සැලැස්ම සහ සොයා ගත් කරුණුවල සංක්ෂිප්තය පහත දැක්වේ.

* MA 60 ගුවන් යානය සතියකට ගුවන් ගමන් වාර 9ක් දකුණු ඉන්දීය ගමනාන්ත 3කට යැවීම.

* කැබින් එකට අදාළ 85%ක් ඉක්ම වු වැඩි ඉල්ලුමක් අත්පත් කරගැනීමට.

* වත්මන් කලාපීය මෙහෙයුම් සඳහා භාවිත කරන AB 320 හා සසඳන කළ මෙහෙයුම් පිරිවැය අඩුවීම.

* අතිරේක ගුවන් යානා දෙකෙන් ප්‍රශස්ත ලෙස ප්‍රයෝජනයට යොදවා ගැනීම.

* ලාභදායි ලෙස ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමට තරගකාරී ගමන් ගාස්තු නියම කිරීමේ හැකි බව.

මිහින් ලංකා ආදායම වැඩි කර ගැනීමට අදාළ සජීවි ව්‍යාපාරික ඉඩප්‍රස්ථා සඳහන් කර ඇත.

ඉන්දීය ගමනාන්තයන් වෙත යාමට 2 වන වසරේදී අතිරේක ගුවන් යානා දෙකක් අත්පත් කරගැනීමෙන් මිහින් ලංකා දේශීය ජාලයට ධනාත්මක දායකත්වයක් සහ ලාභදායි බව තවදුරටත් වැඩි කරගත හැකි බව.

තාක්ෂණික ලියකියවිලි මිහින් ලංකා සේවයේ අධ්‍යයනයට ලක්වෙමින් තිබිණි.

CATIC සමාලෝචනයට ලක් කළ ගනුදෙනු පත්‍රිකාව, 2009 මැයි 6 දින සාකච්ඡා කමිටුව විසින් සම්පුර්ණ කර තිබිණි.

2009 ජූනි 1 අංක 2009/18 කැබිනට් සන්දේශයේ

චීනයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ සම්බන්ධීකරණයෙන් ලබා දුන් විශේෂ සහන මූල්‍ය පැකේජය යටතේ මිහින් ලංකා බජට් ගුවන් සේවාව වෙනුවෙන් MA 60 ගුවන් යානා 6ක් මිලදී ගැනීමට, මුදල් සහ ක්‍රමසම්පාදන අමාත්‍යාංශය තුළින් වරාය සහ ගුවන් සේවා අමාත්‍යාංශයට ඇරයුමක් ලැබී තිබේ.

මූලික තාක්ෂණික සමීක්ෂණය සඳහා සාමාජිකයන් 4 දෙනෙකුගෙන් සමන්විත පරීක්ෂණ කණ්ඩායමක් යවා තිබේ. එම පරීක්ෂණ වාර්තාව සැලකිල්ලට භාජනය කළ CANC ගුවන් යානය පිළිබඳ විධිමත් පූර්ණ පරීක්ෂණයක් සිදුකොට එය අධ්‍යයනය කර CANC වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා ව්‍යාපෘති කමිටුව වෙත ඉදිරිපත් කරන ලෙස සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂට CANC නියෝග කර තිබේ. (විමර්ශන කමිටුව මෙම වාර්තාව දුටුවේ නැත)

සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් රෙගුලාසිවලට අනුකූලව විධිමත්ව කටයුතු කර ඇතිය යන පදනම මත ව්‍යාපෘති කමිටුව විසින් ක්‍රියාත්මක කිරීමේ නියෝජ්‍යායතනය වන සීමාසහිත මිහින් ලංකා සමාගමට CATIC ලැබුණ යෝජනාව පරිදි එම වාර්තාව පරීක්ෂා කර අදාළ ගුවන් යානයේ තාක්ෂණික හැකියාව අධ්‍යයනය කර මූල්‍ය සජීවි බව අගයා, මෙහෙයුම් කටයුතු වෙනුවෙන් MA 60 ගුවන් යානයේ සුදුසු බව පරීක්ෂා කර වාර්තා කරන ලෙස ව්‍යාපෘති කමිටුව නියෝග කර ති‍ෙබ්.

පුරෝකතනය කළ සැලැස්ම අනුව, මිහින් ලංකා සේවාවට දේශීය සහ කලාපීය සේවා සැපයීමට 1 වන සහ 2 වන වසරවලදී පිළිවෙළින් ගුවන් යානා 2ක් සහ 4ක් මිලදී ගැනීම ව්‍යාපෘති කමිටුව නිර්දේශ කර තිබේ.

ඉහත සඳහන් කරුණු සහ CANC සමඟ CANC සිදුකළ අවසන් සාකච්ඡා වටය පදනම් කරගෙන 2009 මැයි මස 25 දින MA 60 ගුවන් යානා 6ක් මිලදී ගැනීමට CANC එකඟ වී තිබේ. තවද, ඇමෙරිකන් ඩොලර් 865,742 ක මිල අඩු කිරීමත් NC ලබාගෙන ඇති බවටත් තහවුරු කර තිබේ.

ඒ පහත සඳහන් පදනම මතය.

මිහින් ලංකා සේවයට MA 60 ගුවන් යානා එක් කිරීමෙන් දේශීය සහ කලාපීය ගුවන් ජාලය වඩාත් වාසිදායක කොන්දේසි මත පවත්වාගෙන යා හැකි බව. ජනවාර්ගික ගැටුම් නතරවීමත් සමඟ දේශීය ගුවන් සේවා සැපයීමේ වැඩි විභවතාවක් ඇති නිසා වැඩි ආර්ථික ප්‍රතිලාභ ලබාගත හැකි බවට ඇති සහතිකය.

මෙහෙයුම් ක්‍රියාත්මක කරන ඒජන්සිය විසින් සිදුකරන ලද ව්‍යාපාර ඉඩ ප්‍රස්ථා ඇගැයීම අනුව EXIM බැංකුවෙන් අවම වශයෙන් වසර පහක ණය සහන කාල සීමාවක් ලැබෙන බව උපකල්පනය කර තිබේ. (මුදල් ගලා යාමේ සටහනක් සහ ඇස්තමේන්තුගත ශේෂ පත්‍රයක් සහිත මුදල් යෙදවීමේ සැලැසුමකින් තොර මෙවැනි සැලසුමකට ඇත්තේ ආන්තික වටිනාකමකි.)

පහත සඳහන් කරුණු වෙනුවෙන් අනුමැතිය ලබා ගැනීම නිර්දේශ කර තිබේ.

* ඇමෙරිකන් ඩොලර් 106ක මුළු මුදලට මාස 18ක් ඇතුළත MA 60 ගුවන් යානා 6ක් මිලදී ගැනීම.

* වසර 5ක සහන කාලයක් සහ පිළිගත හැකි පොලී කොන්දේසි මත 20 අවුරුදු ණයක් ලබාගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට විදේශ සම්පත් අධ්‍යක්ෂට නිර්දේශ කිරීම.

ඇමැති චමල් රාජපක්ෂ කැබිනට් පත්‍රිකාවට අත්සන් තබා ඇත. 2009 ජූනි 10 දිනැති කැබිනට් තීරණයෙන් ඉහත කැබිනට් පත්‍රිකාව අනුමත කර තිබේ. චීනය විසින් සහනදායි කොන්දේසි මත ණයක් ලබාදී ඇති බවත්, අදාළ කොන්දේසි පිළිබඳ සාකච්ඡා සිදුවෙමින් පවතින බවත් එහි වැඩිදුරටත් සඳහන් වේ.

ප්‍රසම්පාදන කමිටුව, කපිල චන්ද්‍රසේන, එස්. ඒ. චන්ද්‍රසේකර, පරාක්‍රම දිසානායක, එයා වයිෂ් මාෂල් ඊ. ජී. ජේ. පී. ද සිල්වා සහ ඩී. විදානගමාච්චි යන අයගෙන් සමන්විතය. ව්‍යාපෘති කමිටුව විසින් යෝජනා කර තිබූ සංශෝධන පිළිබඳ සලකා බැලීමට ඔවුන් 2009 ජූනි 18 දින CANC හමුවී තිබේ.

ගුවන් යානා සංඛ්‍යාව 6 දක්වා ඉහළ දැමීමට කරන ලද සංශෝධනය අනුව 2010 දී රුපියල් මිලියන 4,062ක් වුත්, 2011 දී රුපියල් මිලියන 8,125ක් වුත්, ප්‍රාග්ධන වියදමක් සහිත සංශෝධිත ඇස්තමේන්තුවක් සහිත ව්‍යාපෘති පැතිකඩක් මිහින් ලංකා ප්‍රධාන විධායක නිලධාරි විසින් ඉදිරිපත් කර තිබේ.

මේ අතර, කිසිදු වගවීමකින් සහ රාජ්‍ය ව්‍යවසාය දෙපාර්තමේන්තුවේ මාර්ගෝපදේශ නොතකා හරිමින්, මිහින් ලංකා වෙත 2009 වැය ශීර්ෂවලින් වෙන් කර තිබූ මුදලින් ඉතිරිය වූ රුපියල් මිලියන 3,000 කිසිදු සාධාරණීකරණය කිරීමකින්, මුදල් ගලා යාමේ අවශ්‍යතා සහ සිදුකළ යුතු අනෙකුත් ගෙවීම් සැලකිල්ලට ගැනීමෙන් තොරව මුදා හරින ලෙස මිහින් ලංකා ඉල්ලා තිබේ. 2009 අගෝස්තු 26 දිනැති ගිවිසුමට අනුව, MA 60 ගුවන් යානා 6 මිලදී ගැනීම සහ ආසන අංක යෙදිය යුතු පිළිවෙළ සහ පින්තාරු කළ යුතු ලාංඡන පිළිබඳව තහවුරු කරන ලෙස, 2009 සැප්තැම්බර් 15 දිනැති ෆැක්ස් පණිවුඩයෙන් CATIC ඉල්ලා තිබේ.

2010 අගෝස්තු 20 දිනැති කපිල චන්ද්‍රසේන මහතා අමතන ලද ලිපියෙන් කලින් ගෙවා පියවා නොතිබූ මුදල් පියවීම සඳහා රුපියල් මිලියන 1680 මුදලක් මිහින් ලංකා අය වැය ඇස්තමේන්තුවලින් වෙන් කර ඇති බවට උපදෙස් දී තිබේ.

තවද එකී ප්‍රතිපාදනවලින් එතෙක් වියදම් කර ඇත්තේ රුපියල් මිලියන 567.8ක් බවත්, නැව් සංවර්ධන අරමුදලට පියවිය යුතුව රුපියල් මිලියන 300 ඇතුළත් බවත්, පියවිය යුතුව තිබූ ඉතිරි මුදල වූ රුපියල් මිලියන 1112.2ක මුදල වසර අවසානයට පෙර පියවන ලෙසත් එහි වැඩිදුරටත් සඳහන් වේ. නැව් සංවර්ධන අරමුදලට කිසිදු සබඳතාවක් නැති ගෙවීමක් කිරීමත්, එය අනුමත කරන ලද්දේ කා විසින්ද යන්න තහවුරු කරගැනීමට තවදුරටත් විමර්ශන කළ යුතුව ඇත. මේ සම්බන්ධයෙන් කිසිදු සාර්ථක පැහැදිලි කිරීමක් කිරීමට කළමනාකාරිත්වය අපොහොසත් විය.

අංක 2010/07 හා 2010.5.11 දිනැති වරාය සහ ගුවන් සේවා අමාත්‍යාංශයේ කැබිනට් සන්දේශය අනුව ජනවාර්ගික යුද ගැටුම් අවසන් වීම සහ ආරක්ෂක තත්ත්වය වඩා යහපත් වීම හේතුවෙන් මහා මාර්ග ඔස්සේ උතුරු සහ නැ‍ඟෙනහිර ප්‍රදේශ කරා යන ගමනා ගමන සේවා දියුණු වී ඇති හෙයින් MA 60 ගුවන් යානා මිලදී ගැනීම 6 සිට 2 දක්වා අඩුකරන ලෙස (ගුවන් යානා 6ක් මිලදී ගැනීමට මුලින් සැලසුම් කර තිබිණි.) මුදල් සහ ක්‍රම සම්පාදන අමාත්‍යාංශය තීරණය කර තිබූ බව එම කැබිනට් සන්දේශයේ සඳහන් වේ. එමගින් නිගමනය කරන ලද්දේ කලාපීය සහ දේශීය මෙහෙයුම් කටයුතු සඳහා මිහින් ලංකා ව්‍යාපාරික සැලැස්ම සඳහා ගුවන් යානා දෙකක් පමණක් ප්‍රමාණවත් බවයි.

තවද, ඉහත කී CANC විසින් CATIC ලැබුණ තාක්ෂණික සහ මූල්‍ය වාර්තා ඇගැයීමට සහ ඒ පිළිබඳ සාකච්ඡා කිරීමටද කැබිනට් අනුමැතිය ලැබීමෙන් අනතුරුව CATIC සහ වරාය සහ ගුවන් සේවා අමාත්‍යාංශය අතර ගිවිසුමක් අත්සන් කිරීමටද කැබිනට් සන්දේශයෙන් අනුමැතිය අපේක්ෂා කර තිබේ. 2009 නොවැම්බර් 9 දිනැති CATIC ෆැක්ස් පණිවුඩයෙන් MA 60 ගුවන් යානා 6 ටම අදාළ පින්තාරු විස්තර පැහැදිලි කර තිබේ.

ශ්‍රී ලංකා ගුවන් සේවාවෙන් සේවා සපයන දේශීය ගුවන් සේවා සැපයීම වෙනු‍වට, මාලදිවයින සහ දකුණු ඉන්දීය ගමනාන්තයන් වෙත MA 60 ගුවන් යානා ගමන් කරවීමට තමා අදහස් කරන බව, 2009 නොවැම්බර් 24 දිනැති මිහින් ලංකා ලිපියෙන් කපිල චන්ද්‍රසේන මහතා වරාය සහ ගුවන් සේවා අමාත්‍යාංශයට ලිඛිතව තහවුරු කර තිබේ. එම ගුවන් යානාවලට වානිජ ගුවන් යානා ලෙස ගුවන් සේවා අමාත්‍යාංශයෙන් බලපත්‍ර ලබා නොදෙනු ඇති බවද ඔහු දැන සිට ඇති බව පෙනී යයි.

චීනයේ EXIM බැංකුවේ කැපීපෙනෙන අන්දමින් ඒක පාර්ශ්වීය වූ සහතික සහ කොන්දේසි සහිත කෙටුම්පත් සහන ණය ගිවිසුම විදේශ සම්පත් දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කර තිබේ. ඒ සම්බන්ධයෙන් මිහින් ලංකා විසින් යළි සාකච්ඡා පවත්වා ඇති බවක් පෙනී නොයයි.

මෙම කැබිනට් පත්‍රිකාවේ සඳහන් කරුණු විනිවිද බවින් තොර බව පෙනී යයි. මීට සැබෑ හේතුව වූයේ සිවිල් ගුවන් සේවා දෙපාර්තමේන්තුව විසින් වානිජ ගුවන් සේවා ක්‍රියාත්මක කිරීමට ලබාදෙන අනුමැතිය MA 60 ගුවන් යානා වෙනුවෙන් සිවිල් ගුවන් සේවා දෙපාර්තමේන්තුවෙන් ලබා ගැනීමට නොහැකි වීම හේතුවෙන් මෙවැනි අඩුකිරීම් සිදුකළාද යන්න තහවුරු කර ගැනීමට තවදුරටත් විමර්ශන කළ යුතුව ඇත. කවර හෝ අවස්ථාවකදීවත් මිහින් ලංකා වෙත එම ගුවන් යානා ලැබී නැති බවත්, එකී සේවාව මඟින් කිසිදු ගනුදෙනුවක් සිදුකර නැති බවත් විශ්වාස කරන අතර, හිටපු ප්‍රධාන විධායක නිලධාරි කපිල චන්ද්‍රසේන මහතාද එය සනාථ කර තිබේ.

විධිමත් සවිස්තරාත්මක පරීක්ෂා කිරීම් සිදුකළ බවට වාර්තා නිකුත් කර තිබුණත්, සිවිල් ගුවන් සේවා දෙපාර්තමේන්තුවෙන් හෝ මීට අදාළ ලියකියවිලි සොයා ගැනීමට විමර්ශන කණ්ඩායමට නොහැකි විය. තවද MA 60 ගුවන් යානා සම්බන්ධයෙන් CATIC සමඟ ඇති කරගත් ගිවිසුම් ණයවර ලිපි, රක්ෂණ සහ පරිවාහක ගාස්තු, තත්ත්ව/ප්‍රමිති සහ අනුකූලතා සහතිකවල පිටපත් හෝ ලියකියවිලි හෝ වාර්තා ලබා ගැනීමටද නොහැකි විය.

දෙවන වර ප්‍රශ්න කිරීමේදීත් කලින් ලබා දුන් තොරතුරුම කපිල චන්ද්‍රසේන යළිත් වරක් අවධාරණය කළේය. මිහින් ලංකා සේවයට අදාළ වාර්තා පිරික්සීමට අධ්‍යක්ෂ මණ්ඩල හෝ ජ්‍යෙෂ්ඨ කළමනාකරණ රැස්වීම්වල වාර්තා පිරික්සීමට හෝ සභාපතිවරයාගෙන් ප්‍රශ්න කිරීමට අපට නොහැකි විය. මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කළ හැකි වුයේ එවකට හිටපු මිහින් ලංකා ප්‍රධාන විධායක නිලධාරියාගෙන් පමණී.

සත්තාවත් සාක්ෂි සහ විශ්වාස

MA 60 ගුවන් යානා වානිජමය ගුවන් යානා වශයෙන් විධිමත් ලෙස සහතික කිරීමට අවශ්‍ය තරම් අපේක්ෂිත ආරක්ෂක ප්‍රමිති සහ වෙනත් ප්‍රමිති යන කරුණු පදනම් කරගෙන එම ගුවන් යානා වානිජ මෙහෙයුම් සඳහා අවශ්‍ය පිරිවිතරයන් CATIC වලින් ලබා ගත් MA 60 ගුවන් යානා සපුරා නොතිබූ බැවින්, සිවිල් ගුවන් සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා මෙම ගුවන් යානා වානිජමය මෙහෙයුම් සඳහා අනුමත කිරීම ප්‍රතික්ෂේප කළ බව සනාථ නොකළ මූලාශ්‍ර ඇසුරින් විශ්වාස කළ හැකිය.

මිහින් ලංකාවලට හෝ වෙනත් වානිජ ගුවන් සේවයකට එම ගුවන් යානා ශ්‍රී ලංකාව තුළ භාවිත කිරීමට හැකි නොවනු ඇති බවට ද විශ්වාස කෙරේ.

විදේශ ණය යටතේ මිහින් ලංකා සේවයට MA 60 යානා දෙකක් අත්පත් කරගැනීමට 2011 අය වැය ලේඛනයෙන් වෙන් කළ රුපියල් මිලියන 1,500ක මුදල ආරක්ෂක සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්ගේ නියෝගයක් මත, සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම්ගේ අත්සනින් යුත්, 2011.12.30 දිනැති ලිපියෙන් එම මුදල ගුවන් හමුදාවට මාරු කිරීමට කටයුතු යොදා ඇති බවටද සාක්ෂි හෙළිදරව් විය.

එම ගුවන් යානා දෙක වානිජමය නොවන අගය වැඩි කිරීමේ කාර්යයන් උදෙසා ගුවන් හමුදාව විසින් ඵලදායි ලෙස ප්‍රයෝජනයට ගන්නේ ද යන බව තහවුරු කරගැනීමට විමර්ශන කණ්ඩායමට නොහැකි විය.

ආයෝජන මණ්ඩල සොයා ගැනීම්

(අ) MA 60 ගුවන් යානා මිලදී ගැනීමේදී විනිවිදභාවය පිළිබඳ හුදු හිත් රාමුව සහ ප්‍රමිතීන්, තරගකාරී ප්‍රබවස්ථාන, පිළිගත් ප්‍රසම්පාදන ක්‍රියාපටිපාටින් සහ වැදගත් රාජ්‍ය දේපළ මිලදී ගැනීමට අදාළ විධිමත් රාජ්‍ය මූල්‍ය රාමුව තුළ සිදුකර නොමැති බවට මතයක් ගොඩනගා ගැනීමට අවශ්‍ය බැලූ බැල්මට පෙනෙන සාක්ෂි තිබේ.

(ආ) තවද, ප්‍රධාන පෙළේ ප්‍රාග්ධන වියදම් කිරීමේ දී සහ ඒ ලබාගැනීමේදී කළ යුතුව තිබූ සාධාරණ සහ සුපරික්ෂාකාරී සමාලෝචන ප්‍රමිති ද මේ අවස්ථාවේදී සපුරා නැත.

(ඇ) ලබැදියා ගැටුම් ද පැහැදිලිය. මිහින් ලංකා හිටපු ප්‍රධාන විධායක නිලධාරි විසින් දෙන ලද පරස්පර විරෝධී සාක්ෂි, ගනුදෙනුවට අදාළ කටයුතු අනපේක්ෂිත කඩිනමකින් සිදුකිරීම, සංශෝධනය කිරීම සහ වෘත්තීයමය නොවන ශක්‍යතා වාර්තා මත නිලධාරින්ට පීඩනයක් එල්ල කිරීම සහ ඕනෑවට වඩා සුබවාදී උපකල්පනයන් මත මෙම ගනුදෙනුව සිදුකිරීම හේතුවෙන් එය දූෂිත ගනුදෙනුවක් බවට සැක කිරීමට අතිරේක හේතු සාධක වේ.

(ඈ) ස්වාධීන වලංගු කිරීමකින් තොරවීමත්, සහ අභ්‍යන්තර පාලන ක්‍රියාපිළිවෙත නොතකා කටයුතු කිරීමත් හේතුවෙන් ඉහත සොයා ගැනීම් තවදුරටත් තහවුරු ‍ෙව්.

(ඉ) මිහින් ලංකා හිටපු ප්‍රධාන විධායක නිලධාරි කපිල චන්ද්‍රසේන මහතා විසින් සැපයු තොරතුරුවලින් ඔහු විමර්ශන කණ්ඩායමට වැරදි තොරතුරු ලබා දෙන බව සනාථ විය.

(ඊ) දේශපාලන වශයෙන් නිරාවරණය වී ඇති පුද්ගලයන් සමඟ සමීප සබඳතා ඇති ප්‍රධාන පෙළේ පුද්ගලයන් විසින් ගන්නා ලද පියවර, අයුක්ති සහගත සහ අවිධිමත් යහපාලන ක්‍රියාපිළිවෙත් හේතුවෙන් අදාළ අමාත්‍යාංශවල ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ ප්‍රධාන ගණකාධිකාරවරයා නිකුත් කර ඇති නියෝග සහ මඟපෙන්වීම් උල්ලංඝනය කර ඇති බැවිනුත්, පාලන දාමයේ සිටින සෙසු නිලධාරින් විසින් දෙන ලද අනතුරු ඇඟවීම් නොතකා හැරීමත් නිසා මෙය මුලසිටම ව්‍යාජ ගනුදෙනුවක ස්වරූපයෙන් යුත්, විනිවිද නොපෙනෙන සුළු දූෂිත ගනුදෙනුවක් සිදුකිරීමේ ස්ථිර අධිෂ්ඨානයෙන් සිටි අය විසින් මෙය මිහින් ලංකා තුළින් එවීමට කටයුතු කළ පැකේජයක් ද යන්න පිළිබඳ සෑහෙන සැකයක් ඇත.

(උ) අවසාන වශයෙන් කිව යුතුව ඇත්තේ, එම ගුවන් යානා කඩිමුඩියේ ගුවන් හමුදාවට මාරු කිරීමත් නිසා තත්ත්ව ප්‍රමිති සපුරා නොතිබීම ‍ෙහ්තුවෙන් ගුවන් යානා අත්පත් කරගැනීමේ ක්‍රියාදාමයට සම්බන්ධ වූ අයට ගැලවී යාමට හැකිවීම සඳහාත් වෙනත් අයගෙන් මිල ගණන් කැඳවීමකින් තොරව ගුවන් යානා අත්පත් කර ගෙන ඇති නිසාත් එම ගුවන් යානා අත්පත් කරගත් කාරණාව වෙනුවෙන් සිදුකළ ආයෝජනයක් බව තහවුරු කිරීමේ නොහැකියාව නිසාත්, මෙවැනි ගැලවී යාමට හැකි ක්‍රියාපිළිවෙතක් අනුගමනය කර ඇතැයි පෙනී යයි.

(ඌ) ආයෝජන මණ්ඩලය විසින් ශ්‍රී ලංකා ගුවන් සේවයේ සහ මිහින් ලංකා සේවයේ සභාපතිවරයාගෙන් ප්‍රශ්න කරන ලදුව, එම ගනුදෙනුව, අමාත්‍යාංශ නිලධාරින්, දේශපාලන වශයෙන් නිරාවරණය වී ඇති පුද්ගල ජාලය සමඟ එක්වී එවකට හිටපු ප්‍රධාන විධායක නිලධාරි කපිල චන්ද්‍රසේන මහතා විසින් සිදුකරන ලද ගනුදෙනුවක් බවත්, තමා එම ගුවන් යානා මිලදී ගැනීමේ දී සම්බන්ධ නොවු බවටත්, එම ගනුදෙනුවේදී තමාට කිසිම තැනක් නොතිබූ බවත් ආයෝජන මණ්ඩලය ඉදිරියේ සභාපතිවරයා පිළිගෙන තිබේ.

මිහින් ලංකා සේවාවට එම ගුවන් යානා ප්‍රයෝජනයට ගැනීමේ හැකියාව නැති බවත්, සිවිල් ගුවන් සේවාවේ අවම ආරක්ෂක අවශ්‍යතා ප්‍රමිතීන් සපුරා නැති බැවින් එම ගුවන් යානා වෙනුවෙන් වානිජ බලපත් නොලැබෙනු ඇති බවත් තමා මුලසිටම දැන සිටි බව ඔහු වැඩිදුරටත් පවසා තිබේ. තවද, අදාළ මිලදී ගැනීම දූෂිත එකක් බවත්, ඒ සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයාට එක් වතාවකට වඩා දැනුම් දුන් බවත්, එම මිලදී ගැනීමෙන් තම අත් පිරිසිදුව තබාගැනීමට ඉඩ සලසන ලෙස ඉල්ලා සිටි බවත් සභාපතිවරයා ආයෝජන මණ්ඩලයට පවසා ඇත.

නිර්දේශ

(අ) අපරාධ ආධීනතාව සම්බන්ධයෙන් MA 60 ගුවන් යානා මිලදී ගැනීම සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් පැවැත්විය යුතු බව ආයෝජන මණ්ඩලය නිර්දේශ කිරීම.

(ආ) අදාළ ආයතනවල (මුදල් සහ ක්‍රමසම්පාදන, ආරක්ෂක සහ නාගරික සංවර්ධන සහ වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ) අදාළ කාලසීමාව තුළ තනතුරු හෙබවූ ප්‍රධාන ගණකාධිකාරිවරුන්ගෙන් අදාළ කාලසීමාව තුළ තමන් විසින් ඉටුකළ කාර්ය භාරය පිළිබඳ පැහැදිලි කරන ලෙසත්, ගුවන් යානා මිලදී ගැනීමට අදාළ තීරණවල සහ නියෝගවල විනිමය යුක්තිසහගත බව පැහැදිලි කරන ලෙස ඉල්ලා සිටීමටත් වැඩිදුර නිර්දේශ කිරීම.


නව අදහස දක්වන්න

Or log in with...