සුළං කුරුල්ලෝ සමඟ හෙමින් ඉගිල්ලී ගිය මල් සුවඳ | දිනමිණ

සුළං කුරුල්ලෝ සමඟ හෙමින් ඉගිල්ලී ගිය මල් සුවඳ

ලන්ත්‍රා උපදින්න තිබුණේ ඉන්දියාවේ එහෙමවුණානම් ඔබ තමා භාරතයේ මහා ගායකයා’.. හරූන් ලන්ත්‍රාට මොහොමඩ් රාෆි එසේ කීවේය. එවන් ඔහු දැන් අප අතර නැත. පසුගිය විසි එක්වැනිදා දැයෙන් සමුගත් හරූන් ලන්ත්‍රාගේ දේහයට ජාතික කලාභවනේදී මහජන ගෞරව දැක්වීමෙන් අනතුරුව එදිනම කැලණියේදී මේ ප්‍රවීණ ගායන ශිල්පියාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදුකෙරුණේ සුවිශාල කලාකරුවන් සහ රසික පිරිසකගේ සහභාගිත්වයෙන් යුතුවය.

ගුවන් විදුලියේ සරල ගී ගායනයෙන් කලා ලොවට පිවිසි හරූන් ලන්ත්‍රා කුමාර් චිත්‍රපට පසුබිම් ගායනයට පිවිස තිබුණේ ප්‍රේම තරගය චිත්‍රපටයෙනි. මුල් අවදියේදී ගොපලු හඬ චිත්‍රපටයට ගැයූ ‘මගෙ නාමලී’ සහ සැනසුම කොතැනද චිත්‍රපටයට ගායනා කළ ‘සුළං කුරුල්ලෝ’ ගීත නිසා අතිශය ජනාදරයට පත් ලන්ත්‍රාගේ එම ගීත ඇතුළු ගී රැසක්ම අදටත් අතිශය ජනප්‍රියය.

මැව්වාද කවුරු ප්‍රේමේ, පිරුණා හද සන්තානේ, හදමල් පඳුරේ හසරාණි ආදරේ, ආනන්ද මේ රෑ හරි හැඩයිනේ, බටලී තාලේ මගේ ආදී ගී රැසක් ඒ අතර වෙයි.

අශෝකා, මා ආලය කළ තරුණිය, හැංගි හොරා, හිතට හිත, රන්රසී, සීගිරි කාශ්‍යප, සෝබන සිත, පුංචි බබා, වීදුරු ගෙවල්, සුදු දුව ආදී ලන්ත්‍රාගේ මධුර මනෝහර ගායනයෙන් රසවත් වූ චිත්‍රපට රාශියක් බව පවසන විචාරකයින්ම බොහෝ චිත්‍රපටවල සාර්ථකත්වයට හරූන් ලන්ත්‍රාගේ ගායනය ද අතිශයින් බලපෑ බවත් අවධාරණයකොට තිබිණ.

‘මගෙ නාමලී’ නමින් මුල්ම කැසට් පටය 1994 වර්ෂයේදී නිකුත් කළ ඔහු ඊට තෙවසරකට පසුව ‘සුළං කුරුල්ලෝ’ ද ඉනික්බිතිව රන්රස කැසට් පටයෙන් ද සිය ගායන කෞශල්‍ය විදහා පෑවේය. තෝට්ටකාරි ද්‍රවිඩ චිත්‍රපටයට ගීත ගායනය වෙනුවෙන් ද සම්මානයට පාත්‍ර වූ හරූන් අතිදක්ෂ තබ්ලා වාදන ශිල්පියකුද විය.

මාධ්‍ය සහයෝගිතා පදනමෙන් පිරිනැමූ සම්මානයට (1991) අමතරව ‘ගීත කෝකිලයා’ අරුත දෙන ‘මූෂික්නූරි’ සම්මානයෙන්ද කතෝලික සිනමා පර්ෂද (1993) මෙන්ම ජාතික චිත්‍රපට සංස්ථාවෙන් පිරිනැමූ ජනාධිපති පුරෝගාමී සම්මානයෙන්ද පිදුම් ලැබූ අතර සිංහල සිනමාවට පිදූ දායකත්වය උදෙසා සරසවිය සම්මානයෙන් පිදුම් ලැබීමට අමතරව සංස්කෘතික අමාත්‍යාශය මඟින් ප්‍රදානය කෙරුණු කලාභූෂණ සම්මානයෛන්ද පිදුම් ලබා සිටියෙකි. මං හිතන්නේ මට මීට වඩා සළකන්න තිබුණා. ඒත් දැන් ඒකටත් පරක්කු වැඩියි.

මං ජීවිතේ හුඟක් කඩඉම්වලින් පැරදිච්ච මිනිහෙක්, මට දැන් කොයි දේත් එපාවෙලා......? ඒ ගායනයෙන් හරිහම්බකරගැනීමට නොසිතූ මේ සරල සැහැල්ලු ජීවිතයක් ගත කළ දරුමල්ලන් ද ‍ නොවූ කලාකරුවා සිය සැඳෑසමයේදී ජාතික පුවත්පතකට කළ ප්‍රකාශයකි.

ඉනික්බිතිව පෙනීම දුබල බිරිය සමඟ හුදෙකලා ජීවිතයක් ගත කළ හරූන්ගේ දුක සැප බලන මුවාවෙන් පැමිණි පිරිසක් ඔහුට ආධාර උපකාර වශයෙන් ලැබී තිබූ මුදල් ද සොරාගැනීමෙන් පසුව ඔහු බලවත් කලකිරීමකට පත්ව සිටි බවත් හරූන් ලන්ත්‍රාගේ වියෝවෙන් ශෝකවන බොහෝ දෙනා අවධාරණය කරති. ලංකාවේ බිහිවූ ප්‍රේමණීයම හඬකට හිමිකම් කියූ ලන්ත්‍රා, අපේ රටේ රසිකයන්ට නොනිමි මතක පෙළක් හිත තුළ තැන්පත් කළේය. ජීවත් වූ ලන්ත්‍රාට වඩා මිය ගිය ලන්ත්‍රා හෙට දිනයේ වැදගත් වනු ඇත්තේ එවැන්නකු යළි බිහි නොවන නිසාමය.


නව අදහස දක්වන්න

Or log in with...