පෝට් සිටි ව්‍යාපෘතිය රජයේ ස්ථාවරය පැහැදිලි කිරීමට කල් දෙයි | දිනමිණ

පෝට් සිටි ව්‍යාපෘතිය රජයේ ස්ථාවරය පැහැදිලි කිරීමට කල් දෙයි

කොළඹ වරාය නගර සංවර්ධන (පෝට් සිටි) ව්‍යාපෘතිය සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය කවරේද යන්න පැහැදිලි කිරීම සඳහා නීතිපතිවරයාට ලබන ජූනි මස 15 වැනිදා තෙක් කල් ලබා දීමට අභියාචනාධිකරණය ඊයේ (29) තීරණය කෙළේය.
 
එම ව්‍යාපෘතිය සම්බන්ධ ආයතන සහ ඒ සම්බන්ධ කටයුතු කරන බලධාරින්ගෙන් අදාළ උපදෙස් ලබා ගැනීම සඳහා ප්‍රමාණවත් කාලයක් අවශ්‍ය බව නීතිපතිවරයා වෙනුවෙන් අධිකරණය හමුවෙහි පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් අර්ජුන ඔබේසේකර මහතා කියා සිටියේය.
 
 ඒ සඳහා ප්‍රමාණවත් කාලයක් ලබා දෙන ලෙස ඒ මහතා අධිකරණයෙන් ඉල්ලා සිටි‍ෙය්ය.
 
කොළඹ වරාය නගර සංවර්ධන(පෝට් සිටි) ව්‍යාපෘතිය, එහි ඉදිකිරීම් කටයුතු අත්හිටුවන සහ අවලංගු කරන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සමක් කැඳවූ අවස්ථාවේදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා මෙම ඉල්ලීම කෙළේය.
 
සීමාසහිත පාරිසරික යුක්ති කේන්ද්‍රය විසින් ගොනු කළ මෙම පෙත්සම අභියාචනාධිකරණ සභාපති විනිසුරු විජිත් මලල්ගොඩ මහතා ඉදිරියෙහි කැඳවන ලදී.
 
ශ්‍රී ලංකා වරාය අධිකාරිය, වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්, මධ්‍යම පරිසර අධිකාරිය, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය, චයිනා හාබර් ඉංජිනේරු සමාගම සහ නීතිපතිවරයා මෙම පෙත්සම මගින් වගඋත්තරකරුවන් කොට සිටිති.
 
කොළඹ ගාලුමුවදොර පිටිය ඉදිරිපිට අක්කර 575ක මුහුදු ප්‍රදේශයක් පුරවා නගරයක් ඉදිකිරීමේ ව්‍යාපෘතියක් චයිනා හාබර් ඉංජිනේරු සමාගම විසින් සිදු කරන බව පෙත්සමෙහි දැක්වේ.
 
ඒ සම්බන්ධ පරිසර තත්ත්ව වාර්තා 2014 සැප්තැම්බර් මාසයේ කැඳවා තිබේ. එම වාර්තාව අනුව අක්කර 300ක පමණ ප්‍රමාණයක් පිරවීම අනුමත කර ඇතැයි සඳහන් වේ. එහෙත් අක්කර 575ක ප්‍රමාණය දෙගුණයක් වන පරිදි අක්කර 1000ක ප්‍රමාණයක වරාය නගරයක් ඉදිකිරීම චීන සමාගම විසින් සිදු කරන බව පෙත්සමෙහි සඳහන් කර ඇත.
 
එම මුහුදු ප්‍රදේශය පිරවීම සඳහා කළුගල් කියුබ් මිලියන 120ක ප්‍රමාණයක් පමණ යොදාගන්නා බවත් සඳහන් ය.
 
මෙම ව්‍යාපෘතිය ආයෝජන මණ්ඩලය හෝ වරාය අධිකාරිය විසින් අනුමත කර ඇති බව පැවසුනද මුහුද පිරවීමට හෝ විදෙස් සමාගමකට එවැනි කටයුත්තක් කිරීමට ලබා දීමට එවැනි අනුමැතියක් ලබා දීමටද එම ආයතන දෙකටම නොහැකි බව පෙත්සමෙහි සඳහන් වේ. එසේම රටක් සතු ඉඩම් ප්‍රමාණය හෝ අලුතින් ගොඩ කරන ගොඩබිමක් විදෙස් සමාගමකට දීමේ හැකියාවක් නැතැයි පෙත්සම්කාර ආයතනය සඳහන් කරයි.
 
එසේම මෙම ව්‍යාපෘතිය නිසා මුහුදු වෙරළ, මත්ස්‍ය සම්පත, කොරල් පර, මුහුදු ජීවීන් ඇතුළු පරිසර පද්ධතියට විශාල හානියක් වන බවද එහි සඳහන් වේ.
 
නිසි පරිසර ඇගයීම් වාර්තාවලින් හෝ අනුමැතියකින් තොරව එම ව්‍යාපෘතිය පවත්වාගෙන යාම නීති විරෝධී බව පැවසේ.
 
එබැවින් මෙම ව්‍යාපෘතිය අවලංගු කරන ලෙසද, වෙරළ සංරක්ෂණ පනත ඇතුළුව පවතින නීතියට අනුකූල වන පරිදි නව පරිසර තත්ත්ව වාර්තා කැඳවන ලෙස බලධාරීන්ට නියෝග කරන්නැයිද පෙත්සම මගින් අධිකරණයෙන් ඉල්ලා ඇත.
 
මෙම කරුණු සලකා බැලූ අධිකරණය මෙම සංවර්ධන ව්‍යාපෘතිය සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය අධිකරණයට පැහැදිලි කරන ලෙස නීතිපතිවරයාට මීට පෙර නියෝග කළේය. ඒ සඳහා ඊයේ (29) දින තෙක් කල් ලබා දී තිබුණි.
 
ඒ අනුව පෙත්සම ඊයේ යළි කැඳවනු ලැබූ අතර රජයේ ස්ථාවරය පැහැදිලි කිරීමට කල් වේලා අවශ්‍ය බව නීතිපතිවරයා අධිකරණයට දන්වා සිටියේය.
 
නීතිඥ රවීන්ද්‍රනාත් දාබරේ මහතා පෙත්සම්කාර ආයතනය වෙනුවෙන් පෙනී සිටියේය.
 
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් අර්ජුන ඔබේසේකර මහතා නීතිපතිවරයා වෙනුවෙන්ද නීතිඥ මයුර ගුණවර්ධන මහතා චයිනා හාබර් ඉංජි‍ෙන්රු සමාගම වෙනුවෙන් ද පෙනී සිටියහ.

නව අදහස දක්වන්න

Or log in with...