මාස හතක් මියන්මාරයේ සිටි ධීවරයන් 17කට නිදහස | දිනමිණ

මාස හතක් මියන්මාරයේ සිටි ධීවරයන් 17කට නිදහස

මාස හතකට ආසන්න කාලයක් අත්අඩංගුවේ සිටි ශ්‍රී ලාංකික ධීවරයන් 17 දෙනෙකු වහාම නිදහස් කිරීමට මියන්මාර් රජය තීරණය කර ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය අවධාරණය කරයි. නීති විරෝධී ලෙස තම මුහුදු සීමාවේ මසුන් මැරීම යන චෝදනාව යටතේ මේ ධීවරයන්ට එරෙහිව නඩු පවරා තිබූ අතර  එම නඩු ඉල්ලා අස්කර ගන්නා බවට ද ශ්‍රී ලාංකික ධීවරයන් සතු වූ යාත්‍රා සියල්ල නිදහස් කිරීමට ද මියන්මාර් ජනාධිපති තෙන් සෙන් මහතා තීරණය කර තිබෙන බව විදේශ කටයුතු නියෝජ්‍ය ඇමැති නීතීඥ අජිත් පී පෙරේරා මහතා ප්‍රකාශ කරයි.
 
නියෝජ්‍ය ඇමැතිවරයා මේ බව සඳහන් කළේ විදේශ කටයුතු අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී ඊයේ (29) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
 
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අජිත් පී. පෙරේරා මහතා සඳහන් කළේ මියන්මාර් අත්අඩංගුවට පත් ශ්‍රී ලාංකික ධීවරයන් කුණාටුවකට හසු වීමෙන් ගසාගෙන ගොස් තිබෙන අතර එම ධීවරයන් නිදහස් කර ගැනීම සඳහා පෞද්ගලික මට්ටමින් මැදිහත් වුවද එය සාර්ථක නොවූ බවත් ඔවුන්ගේ ඥාතීන් විසින් විදේශ කටයුතු අමාත්‍යාංශය වෙත දැනුම්දීමෙන් අනතුරුව මියන්මාර් රජය සමඟ මේ සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ කළ බවත්ය.
 
එහි ප්‍රතිඵලයක් වශයෙන් සති දෙකක් වැනි කාලයක් ඇතුළත අදාළ ශ්‍රී ලාංකික ධීවරයන් පිරිස නිදහස් කර ගැනීමට හැකියාව ලැබී තිබෙන බව පෙන්වාදුන් නියෝජ්‍ය ඇමැතිවරයා ඔවුන්ගේ යාත්‍රා මේ වනවිට අලුත්වැඩියා කරමින් පවතින බවද ඉදිරි දින කිහිපය ඇතුළත එම යාත්‍රාවලින්ම මෙරටට පැමිණීමට නියමිත බවද පැවසීය.
 
මේ අතර ඒ මහතා පෙන්වාදුන්නේ ශ්‍රී ලාංකික ධීවරයන් නිදහස් කර ගැනීමේ කටයුතු සම්බන්ධීකරණය වෙනුවෙන් විදේශ කටයුතු අමාත්‍යාංශ කොන්සියුලර් අංශ ප්‍රධානී ප්‍රදීපා සේරම් මහත්මිය මියන්මාරයට ගොස් සිටින බවත් ඔවුන් ඉදිරි දින කිහිපය තුළ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බවත්ය.

නව අදහස දක්වන්න

Or log in with...