කළු ජාතිකයන්ට පොලිසියේ සැලකිලි මදි | දිනමිණ

කළු ජාතිකයන්ට පොලිසියේ සැලකිලි මදි

ඒ.එෆ්.පි
ඇමෙරිකාවේ මෑතදී පැවැත් වූ විරෝධතාවකදී කළු ජාතිකයකු පොලිස් ප්‍රහාරයකින් ඝාතනයට ලක්වීමත් සමඟ ඉතා උණුසුම්කාරී තත්වයක් උද්ගතවී ඇත. ඇඳිරි නීතිය ද නොතකමින් බැල්ටිමෝ නගරයේදී අඟහරුවාදා ප්‍රචණ්ඩකාරී විරෝධතාවක් පවත්වා ඇති අතර ප්‍රචණ්ඩත්වය අවම කිරීම සඳහා බලධාරීන්ට රාත්‍රිය පුරා දැඩි වෙහෙසක් දැරීමට සිදුවූ බව වාර්තා වේ.
 
රාත්‍රිය පුරා පනවා තිබූ ඇඳිරි නිතියේ සාර්ථකත්වය පිළිබඳ විස්තර වාර්තා වී නැත. කෙසේ වෙතත් රාත්‍රී දහය පසු වීමෙන් අනතුරුවත් තරුණ පිරිස් තැනින් තැන එක්රොක්වී සිටි ආකාරය වීඩියෝ පටවලින් දැකගත හැකි වී තිබේ. උදෑසන 6.00ට අවසන් වන ඇඳිරි නීතිය රාත්‍රී 10.00ට යළි පැනවේ. මේ ආකාරයෙන් සතියක් පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වීමට නියමිතය.
 
620,000ක් පමණ ජනතාවක් ජීවත් වන බැල්ටිමෝ නගරයේ ප්‍රචණ්ඩත්වය සහ කොල්ලකෑම් ආරම්භ වූයේ සඳුදායි. ඒ 25 හැවිරිදි අප්‍රිකන්-ඇමෙරිකන් සම්භවයක් ඇති ඝාතනයට ලක්වූ ප්‍රෙඩී ග්‍රේ ගේ අවමගල්‍ය උත්සවය අවසන් වීමත් සමඟයි. ඔහු මිය ගියේ පොලිස් අත්අඩංගුවට ගැනීමේදී ඔහුගේ කොඳුනාරටියට සිදුවු බරපතළ හානි හේතුවෙන් බව නිගමනය කර තිබේ. බැල්ටිමෝහි ආරක්ෂාව තර කිරීම සඳහා ජාතික ආරක්ෂක භටයන් 2000ක් ඇතුළු නීතිය ක්‍රියාත්මක කිරීමේ බලධාරීන් දහසකට වැඩි පිරිසක් යොදවා තිබේ. විරෝධතා අතරවාරයේදී වාහන 140ක් පුළුස්සා දමා ඇති අතර පොලිස් භටයන් 20කට වැඩි පිරිසක් තුවාල ලබා ඇත. මේ අතර 250කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ.
 
වොෂින්ටන් නගරයේදී පැවැත් වූ කතාවකදී ජනාධිපති ඔබාමා පවසා ඇත්තේ ඇමෙරිකාවේ කළු ජාතිකයන් සම්බන්ධයෙන් පොලිසිය කටයුතු කරන ආකාරය පිළිබඳ ගැටලුකාරී තත්ත්වයක් පැන නැඟි ඇති බවයි. මේ අතරම බැල්ටිමෝ හි උද්ගතවී ඇති කලහකාරී තත්ත්වය ඔබාමා හෙළා දැක තිබේ. පසුගිය වසරේදී මිසූරි නගරයේදී කළු ජාතික තරුණයකු ඝාතනයට ලක්වීමත් සමඟ සිතට වද දෙන තත්ත්වයක් උද්ගතවී ඇති බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා ඇත. පොලිසිය විසින් තමන් පිළිබඳ ස්වයං අධ්‍යයනයක් කළ යුතු බවද ඇමෙරිකාවේ ප්‍රථම කළු ජාතික ජනාධිපතිවරයා වන ඔබාමා තවදුරටත් පවසා ඇත. ප්‍රචණ්ඩ සිද්ධීන්ට අදාළ විමර්ශන වාර්තාව ලබන සිකුරාදා අදාළ බලධාරීන්ට බාරදිමට නියමිත අතර පොලිස් නිලධාරීන් හයදෙනකුගේ සේවය තාවකාලිකව අත්හිටුවා තිබේ.

නව අදහස දක්වන්න

Or log in with...