ලෝකය එපා කියද්දී ඉන්දුනීසියාව කුඩු ජාවාරමුන් වෙඩි තබා මරයි | දිනමිණ

ලෝකය එපා කියද්දී ඉන්දුනීසියාව කුඩු ජාවාරමුන් වෙඩි තබා මරයි

ඒ.එෆ්.පි
ලෝක ප්‍රජාවේ උරණ වීම නොතකා ඉන්දුනීසියාව විසින් මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ වූ විදේශිකයන් හත් දෙනකු වෙඩි තබා මරා දැමීමට කටයුතු කර තිබේ. ඉන්දුනිසියාවේ මත්ද්‍රව්‍ය උවදුර ව්‍යාප්ත වීමත් සමඟ එරට ජනාධිපති ජොකෝ විඩූඩු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණීය දඬුවම ලබා දිය යුතුය යන දැඩි ස්ථාවරයේ පිහිටා කටයුතු කළ අතර ඒ සම්බන්ධයෙන් ප්‍රබල හඩක් නැඟූ අයෙකි.
 
මරණ දණ්ඩනයට ලක්වු අය අතර ඔස්ට්‍රේලියන් ජාතිකයන් දෙදෙනකු, අප්‍රිකන් ජාතිකයන් හතර දෙනකු සහ බ්‍රසීල ජාතිකයකු වු බව වාර්තා වේ.
 
දොළොස් දෙනකුගෙන් සැදුම් ලත් වෙඩික්කරුවන් කණ්ඩායමක් විසින් එල්ල කළ වෙඩි ප්‍රහාරවලින් මොවුන් ඝාතනය කර ඇත්තේ මධ්‍යම ඉන්දුනිසියාවේ නුසකන්බන්ගන් දූපතේ බන්ධනාගාරයකදීය. මධ්‍යම රාත්‍රියේදී මරණීය දණ්ඩනය ලබා දුන් විදේශිකයන් හත් දෙනාට අමතරව ඉන්දුනීසියන් ජාතිකයකුට ද මරණීය දණ්ඩනය ලබා දී තිබේ. කෙසේවෙතත් පිලිපීන ජාතික කාන්තාවකට අවසන් පැයේදී මරණීය දණ්ඩනයෙන් බේරීමට හැකි විය.
 
ඇන්ඩෘ චාන් සහ මයුරන් සුකුමාරන් නැමැති ඔස්ට්‍රේලියන් ජාතිකයන් දෙදෙනාට ජීවිත දානය ලබා දෙන ලෙස ඔස්ට්‍රේලියන් අගමැති ටෝනි ඇබට් විසින් කරන ලද ඉල්ලීම ඉන්දුනිසියා රජය ප්‍රතික්ෂේප කර තිබේ. ඒ හේතුවෙන් ඉන්දුනීසියාවේ සිටි ඔස්ට්‍රේලියන් තානාපතිවරයා යළි ඔස්ට්‍රේලියාවට කැඳවා ඇත. මේ අතර බ්‍රසිල ජාතිකයාට මරණීය දඬුවම ලබාදීම සම්බන්ධයෙන් එරට රජය ද දැඩි කනස්සල්ල පළකර ඇත. එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බැන් කි මූන් ද මේ අයට සමාව ලබාදෙන ලෙස ඉල්ලා තිබු අතර, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණීය දණ්ඩනය ලබාදීම ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය විසින් ද දැඩි සේ හෙළා දැක තිබේ.
 
මේ අතර පිලිපීන ජාතික මේරි ජේන් වෙලසෝට අවසන් මෙහොතේදී සමාව ලැබීම සම්බන්ධයෙන් පිලිපීනය උද්ධමනයට පත්වී සිටී. පිලිපීනයේ ඉන්දුනීසියා තානාපති කාර්යාලය ඉදිරියේ යාඥා කරමින් සිටි පිලිපීන ජාතිකයන් එම ආරංචිය ඇසූ මොහොතේ ප්‍රීතිඝෝෂා පවත්වා ඇත. දෙවියන් වහන්සේ තමන්ට සවන් දුන් බවත් හාස්කම් සිදුවන බවත් පවසමින් ඹවුන් හඬ නඟා තිබේ.

නව අදහස දක්වන්න