20 සම්මතවීමෙන් පසුව පාර්ලිමේන්තුව විසුරුවා හරින්න - අර්ජුන රණතුංග | දිනමිණ

20 සම්මතවීමෙන් පසුව පාර්ලිමේන්තුව විසුරුවා හරින්න - අර්ජුන රණතුංග

සුභාෂිණී සේනානායක

 විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහි වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිටින දූෂිත පුද්ගලයන් බැවින්, පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුත්තේ, 20 සංශෝධනය සම්මත වීමෙන් පසුව පමණක්ම බව වරාය හා නාවික කටයුතු ඇමැති අර්ජුන රණතුංග මහතා ප්‍රකාශ කරයි.

අර්ජුන රණතුංග මහතා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (31) වේයන්ගොඩ, තල්ගස්මොටේ ප්‍රදේශයේ පැවැති ජන හමුවකට එක්වෙමිනි. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ඇමැතිවරයා මෙසේද කීය.

“අපේ පක්ෂය ඇතුළෙත් ඉන්නවා ත්‍රස්තවාදියෝ. ඔවුන් පක්ෂය බලයට එනවට කැමති නෑ. 19 වැනි සංශෝධනය සම්මත කරන අවස්ථාවේ හොරකම් කළ මැති ඇමැතිවරු බොහෝමයක් ඒකට විරුද්ධ වුණා. එය කඩාකප්පල් කරන්න උත්සහ කළා. අද මේ 20 වැනි සංශෝදනයටත් වෙලා තියෙන්නේ එයයි. පිට පක්ෂවලට වඩා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ‍යේ එක කොටඨාසයක් හදනවා විස්ස සම්මත වීම වැළැක්වීම සඳහා. පසුගිය කාලෙම මේ මනාප ක්‍රමයත් එක්ක මේ රටේ පාර්ලිමේන්තුවට ආවේ සූදුකාරයෝ, කැසිනෝකාරයෝ, බුකිකාරයෝ, එතනොල් ව්‍යාපාරිකයෝ එහෙමත් නැතිනම් කසිප්පු මුදලාලිලා, හොරකම් කරපු මිනිස්සු.

මේ ඕනම කෙනෙකුට මුදල් තියෙනවනම් පාර්ලිමේන්තුවට එන්න පුළුවන්. නමුත් මේ ක්‍රමවේදය නතර කරන්න තමයි අපි 20 වැනි සංශෝදය ගේන්න හදන්නේ. මේකට ප්‍රධානම වශයෙන් විරුද්ධ වෙන්නේ පහුගිය කාලේ හොරකම් කළ පිරිස.

අපේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මැති ඇමතිවරු. මේ නිසා අපි ජනාධිපතිතුමාට බලකරමින් කියා සිටියා පාර්ලිමෙන්තුව විසුරුවනවා නම් කොහොමහරි 20 වැනි සංශෝධනය ක්‍රියාත්මක කරලා එය විසුරුවන්න කියලා. මොකද එතකොට මහජනතාව ඉස්සරහට ගිහිල්ලා අපිට පෙන්නන්න පුළුවන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය.” යනුවෙන් එම ජනහමුවේදී අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා වැඩිදුරටත් පැවසීය.


නව අදහස දක්වන්න