රජගල සෙල්ලිපියෙන් මහින්දාගමනය තහවුරුවේ | දිනමිණ

රජගල සෙල්ලිපියෙන් මහින්දාගමනය තහවුරුවේ

අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ ලංකා ගමනයෙන් පසුව ශ්‍රී ලාංකීය ජන සමාජය තුළ ආගමික සංස්කෘතික සමාජයීය වශයෙන් මහත් පෙරළියක් ඇතිවිය.

ශ්‍රී ලංකාවට මහින්ද තෙරුන් සමඟ දූතයින් පැමිණීම පිළිබඳව ඓතිහාසික මූලාශ්‍ර බොහෝමයක් ඇත. මේ ඓතිහාසික සිද්ධිය සනාථ වන සාධක ලැබී ඇත්තේ අම්පාර දිස්ත්‍රික්කයේ රජගලින් ලැබුණු ක්‍රි. පූ. තෙවන සියවසට අයත් බ්‍රාහ්මි සෙල්ලිපියකිනි. එම සෙල්ලිපියෙහි සඳහන් වනුයේ “යෙ ඉම දීප පටමය ඉදිය ආගතන ඉඩික තෙර මහිද තෙරහ තුබේ,” යනුවෙනි.

මෙම දිවයිනට එහි වාසනා මහිමය නිසා පැමිණි මහින්ද සහ ඉට්ඨිය තෙරුන්ගේ ස්තූපය මෙය බව මේ ලිපියෙන් කියැවෙන බව මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතාගේ අදහස වේ. මෙම ලිපිය කොටා ඇත්තේ රජගල කඳුමුදුනේ ඇති ගල් පර්වතයක ය. “ඉදිය අගතන” යන්නට ඍද්ධියෙන් වැඩි යන ඇරුත දියහැකි බව මහ ඇදුරු පරණවිතාන සූරීන්ගේ අදහස වේ.

මෙම ලේඛනය හේතුකොටගෙන අනුබුදු මිහිඳු හිමියන්ගේ ලංකා ගමන ඓතිහාසික සිද්ධියක් ලෙසින් සනාථ වේ. සිංහලයේ අනභිභවනීය ඉතිහාස ග්‍රන්ථය ලෙස සැලකෙන මහාවංශය ද මිහිඳු හිමියන්ගේ ලංකා ගමනය ගැන සඳහන් කරයි. මහින්දාගමනය සම්බන්ධයෙන් මහාවංශයේ කියමන රජගල සෙල්ලිපිය තුළින් සනාථ වේ.

මිහිඳු හිමියන්ගේ නම සමඟ ඉට්ඨිය තෙරුන්ගේ නමද මේ සෙල්ලිපියේ සඳහන්වීමෙන් පෙනී යන්නේ මහාවංශය කියන පරිදි මිහිඳු හිමියන් ඇතුළු ධර්මදූත පිරිස මිහින්තලයට වැඩි බවයි.

මෙම ඓතිහාසික සෙල්ලිපියේ අඩංගු අනෙක් කරුණ ලෙස හැඳින්වෙන්නේ මිහිඳු සහ ඉට්ඨිය තෙරුන්ගේ ස්තූපයක් පිළිබඳ සඳහන්වීමය. ඉන් අදහස් වන්නේ එම ස්තූපය එම තෙරුන් වහන්සේලාගේ ශාරීරික ධාතුන් නිදන් කළ ස්තූපයක් බවය. මහාවංශයේ 45-6 ගාථාවලට අනුව මහින්ද තෙරුන්ගේ පරිනිර්වාණයෙන් පසු උත්තිය රජු උන්වහන්සේලාගේ ශ්‍රී දේහය දවා ධාතුන් ගෙන්වා සෑගිරි වෙහෙරද කරවා සියලු විහාරස්ථානවලට මිහිඳු හිමියන්ගේ ධාතුන් වහන්සේ බෙදා දුන් බවයි.

මේ අනුව රජගල පිහිටි පැරණි විහාරයේද මිහිඳු හිමියන්ගේ ධාතු කොටසක් තැන්පත් කර ඇති බව මේ ලිපියෙන් හෙළි වේ.

මහින්දාගමනයේ සත්‍යතාව පිළිබඳ ලිඛිත තොරතුරු හෙළිවන ඉතා වැදගත් අභිලේඛනයක් මිහින්තලයෙන් හමුවී ඇත. එය ක්‍රි. ව. දෙවන සියවසට අයත් ගිරි ලිපියකි.

මහාදාඨික මහානාග රජුගේ ප්‍රදානයන් පිළිබඳ මේ ගිරි ලිපියේ සඳහන් වේ.

මහින්ද, ඉට්ඨිය, උත්තිය සහ භද්‍රසාල යන තෙරුන්ගේ ප්‍රතිමා වන්දනය පිළිබඳව ද මේ ලිපියෙන් කරුණු අනාවරණය වේ. මෙතෙක් ශ්‍රී ලංකාවේ සොයාගෙන ඇති අභිලේඛන අතුරින් ක්‍රි. පූ. තෙවන සියවසේ සිට පළමු සියවස දක්වා කාලය නිර්ණය කළහැකි බ්‍රාහ්මී ලෙන් ලිපි 1300ක් පමණ සොයාගෙන ඇත. මේ ලිපි සියල්ලම මහා සංඝයා වහන්සේට වාසය සඳහා ලෙන් පූජා කිරීම පිළිබඳවය.

දෙවනපෑතිස් රජුගේ මහාරිට්ඨ ඇමැති පැවිදිවූ පිරිසට කණ්ඨක චෛත්‍යය ස්ථානයෙහි අටසැට ලෙනක් පිළිසකරකොට එම භික්ෂු පිරිසට පුජා කළ බව සඳහන් වේ. කණ්ඨක චෙත්‍ය අසලින් මහා සංඝයාට පිදූ ලෙන් රාශියක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින් සොයාගෙන ඇත.

මිහින්තලේ කණ්ඨක චෛත්‍ය අසලින් ලැබෙන ලෙන් ලිපිවල “ගමිණි උර්‍ත මහරක්ධ” යනුවෙන් සඳහන්ව ඇත. මෙහි මහ රක්ධ යනු නියත වශයෙන්ම සාමාන්‍ය වැසියකු නොවේ. එකල රට පාලනය කළ මහ රජතුමන්හට පුළුවන. මහාවංශයේ රජවරුන් අතර “උර්‍ත හෙවත් උත්තිය” නම් රජකු ගැන සඳහන් වේ. මේ අන් කිසිවකු නොව දෙවනපෑතිස් මහරජුගේ සොහොයුරු “උත්තිය” බව මහාවංශය කියයි. දෙවනපෑතිස් රජුගේ ඇවෑමෙන් පසු උත්තිය රජවිය. උත්තිය රජු ඓතිහාසික පුද්ගලයකු බව මේ ලෙන් ලිපි පරිශීලනය කිරීමෙන් තහවුරු කෙරේ.

මිහින්තලේ ඇති තවත් ලෙන් ලිපි දෙකක “මහරක්ධ ගාමිණීතිස” යනුවෙන් සඳහන්ව ඇත. මේ අන් කිසිවකු නොව දේවානම්පියතිස්ස රජු වශයෙන් පරණවිතාන මහතා හඳුනාගෙන ඇත.

මිහින්තලේ ඇති සිව්වන මිහිඳුගේ පුවරු ලිපි දෙක ලක්දිව ජනතාවගේ සැලකිල්ලට භාජනය වූ සුවිශේෂ ගණයේ ලිපි දෙකකි. එසේවීමට හේතුවී ඇත්තේ මේ බෞද්ධ සිද්ධස්ථානය පාලනය කිරීම පිණිස බොහෝ කෙත්වතු පිරිනැමීමෙන් හා එහි අභ්‍යන්තරික ජීවිතය පිළිබඳව කරුණු විදහා දැක්වෙන වැදගත් අණ පනත් මේ ලිපියෙහි අඩංගුවී තිබෙන නිසාය.

අනුරාධපුරයට සැතපුම් අටක් දුරින් පිහිටි මිහින්තලාපව්ව පසු කාලයෙහි චේතිය පබ්බත නමින් සෙස්ගිරි හෝ සෑගිරි පර්වතය හැටියට මුඛ පරම්පරා‍ගත අනුව එයි. අම්බස්ථල නම් මේ පර්වත මුදුනෙහි මිහිඳු මාහිමිපාණන් වහන්සේ ස්ථිරව වැඩහුන් බවට තොරතුරු අනාවරණය වෙයි. දේවානම්පියතිස්ස රජු විසින් (ක්‍රි. ව. 307 – 267) චේතිය පබ්බතාරාමයෙහි බෝධියක් රෝපණය කර මෙහි දිරාපත්වූ ගොඩනැගිලි පිළිසකර කරවූ බව මහා වංශයෙහි සඳහන් වේ. මිහිඳු මහරහතන් වහන්සේ උත්තිය රජු දවසේ (ක්‍රි. ව. 267 – 257) පිරිනිවන් පෑවේ ද චේතිය පබ්බතාරාමය නොහොත් මිහින්තලයේම බව සඳහන් වේ.

අනුරාධපුර රාජධානියේ රජ කළ සෑම රජ කෙනෙකුම පාහේ මිහින්තලය වැඩි දියුණු කිරීම සඳහා රාජ්‍ය අනුග්‍රහය ලබාදී ඇති බවට ඓතිහාසික තොරතුරු හෙළිකරයි. කණරජානුතිස්ස රජු විසින් සෑගිරි වෙහෙර පොහෝගෙයි ඇතිවූ ආරවුලක් සමථයට පමුණුවා රාජද්‍රෝහී භික්ෂූන් සැටනමක් සෑගිරියෙහි කණිර ගුහාවෙහි සිරකර තබන ලද බව සඳහන් වේ.

මිහින්තලයේ භික්ෂූන් වහන්සේ දෙ‍දහසක් පමණ වැඩ සිටි බව පාහියන්ගේ සටහන්වල සඳහන් වේ. මේ භික්ෂූන් වහන්සේ අතුරින් රටවැසියන්ගේ අසහාය සත්කාර ගෞරවයට පාත්‍රවූ ධර්ම ගුප්ත නම් තෙර කෙනෙකු වැඩහුන් බවත් උන්වහන්සේ ගල්සෙනසුනෙහි සතළිස් වසරකටත් වැඩි කාලයක් වැඩහුන් බව කියනු ලැබේ.

හතරවන මිහිඳු රජුගේ පුවරු ලිපියේ බී පැත්තේ පේළි (13) ආරාම පාලක හිමියන්ට දවස් පතා එක් සහල් නැලියක් ද වැසි ආරම්භ වීමත් සමඟම බණකීම සඳහා රන් එක් කළදකුත් දියයුතු බව සඳහන්කොට තිබේ. භාරකාර ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට ජීවනෝපාය සඳහා ඉඩම් පස්කිරියකුත් දිනපතා එක් සහල් නැලියකුත් දියයුතු බවට මේ පුවරු ලිපියේ සඳහන් වේ.

බුදුරජාණන් වහන්සේගේ අනුගාමී බුද්ධ පුත්‍රයකු වූ මිහිඳු මහරහතන් වහන්සේ ද ගස්කොළන් පණමෙන් ආරක්ෂා කළ බවට තොරතුරු අනාවරණය වේ. සිව්වන මිහිඳු රජුගේ පුවරු ලිපියේ ද පේළි (50 – 54) හි තල්ගස්, මී ගස් ආදී පලදරන ගස් කැපීම තහනම් බව සඳහන්කොට ඇත.

සිංහල සංස්කෘතියේ අතීත යට ගියාව වර්තමානයට ඉතිරිකර ඇත්තේ ද සෙල්ලිපිපුවරු ලිපි, ටැම්ලිපි හා ගිරිලිපි, සෙල්ලිපි නමින් හැඳින්වෙන මේ පුරාවස්තු සිංහල සාහිත්‍ය වාරිකර්මාන්තය, රාජ්‍ය පාලනය පිළිබඳව අතීත යට ගියාව හෙළිදරව් කරයි. මේ සෙල්ලිපි සිංහල සාහිත්‍ය පිළිබඳව ප්‍රශ්න රාශියකට පිළිතුරු දෙයි. සිංහල භාෂාවේ අක්ෂර පරිණාමය විදහාපායි.

මිහිඳු හිමියන් ප්‍රමුඛ දූත පිරිස මිහින්තලයට පැමිණීමත් සමඟම එවකට ලාංකේය සමාජය තුළ මුල් බැසගෙන පැවති මිත්‍යා විශ්වාස බැහැර වීමට අඩිතාලම දැමිණි.

එදා දේවානම්පියතිස්ස මහ රජු දවස මිහිඳු හිමියන් විසින් මෙරටට ගෙන එනු ලැබූ බුදු දහම ප්‍රචලිත කිරීම සඳහා පූර්ණ රාජ්‍ය අනුග්‍රහය ලැබුණු බවට ඓතිහාසික තොරතුරු රැසක් අදත් ඉතිරිව ඇත. මිහිඳු හිමියන් වෙතින් පැවදිවී ‍විවේක හරණය සඳහා පන්සීයක් වෛශ්‍යයන් අනුරාධපුර වෙස්සගිරි ආරාම සංකීර්ණයේ වැඩ හුන් බවට ඓතිහාසික තොරතුරු ඇත.

මිහිඳු හිමියන් මිහින්තලයේ ස්ථිරවම වැඩ සිටියත් උන්වහන්සේ දිනපතාම ධර්ම දේශනා පැවැත්වීම සඳහා අනුරාධපුරයට වැඩම කර ඇත. ශ්‍රී ලංකාවේ ශාසනික ඉතිහාසයත් ශාසනික බෞද්ධ අධ්‍යාපනයත් අතර ඇත්තේ දිගුකලෙක සිට පැවත එන අන්‍යෝන්‍ය සම්බන්ධතාවයකි.

“මහරජ යම් දිනෙක හෙළදිව මවුපියන්ට දාව හෙළදිව උපන් දරුවෙකු හෙළදිව පැවදිව හෙළදිවදීම විනය උගෙන හෙළදිව දීම උගත් විනය උගන්වයි ද බුදුසසුනේ මුල්බැස ගැනීම සිදුවන්නේ එවිටය.” යනුවෙන් මිහිඳු හිමියන් දේවානම්පියතිස්ස මහ රජුට කළ ප්‍රකාශය අනුව විමසා බලනකල බුදුසසුනත් බෞද්ධ අධ්‍යාපනයත් අතර පවත්වනා සම්බන්ධතාවය කෙබඳු දැයි අවබෝධ කර ගත හැකිය.

ලක්දිවට බුදු දහම පතුරුවා හළ කේන්ද්‍රස්ථානය වූයේ මිහින්තලයයි. එසේ වුවත් බෞද්ධ අධ්‍යාපනයේ මූලස්ථානය වූයේ අනුරාධපුර මහා විහාරයයි. මිහිඳු හිමියන් විසින් මෙරටට ගෙන එන ලද ත්‍රිපිටකයන් එහි ආට්ඨි කථාත් මහා විහාරයේ එවකට වැඩ සිටි සිංහල භික්ෂූන් වහන්සේලා විසින් සිංහල භාෂාවට නඟන ලද බව බුද්ධ ඝෝෂ හිමියන් සිංහල අට්ඨිකතා පාලි භාෂාවට නඟන ලද අවස්ථාවේ ප්‍රකාශ කර ඇත.

 

අශෝක සේනාරත්න
අනුරාධපුර සමූහ

නව අදහස දක්වන්න