අගමැතිට එරෙහි විශ්වාසභංගයට ව්‍යාජ නම් ඇතුළත් කරලා | දිනමිණ

අගමැතිට එරෙහි විශ්වාසභංගයට ව්‍යාජ නම් ඇතුළත් කරලා

විජයානි එදිරිසිංහ

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාවේ ව්‍යාජ නම් ඇතුළත් කර ඇති බව මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා පවසයි.

ඒ අනුව එම විශ්වාසභංගයට නම් 114ක් යොදා ඇති බවත් ඉන් මන්ත්‍රීවරුන් ගණනාවකගේ නම් ව්‍යාජ ලෙස යොදා ඇති අතර පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහාන් රත්වත්ත මහතාගේ අත්සන දෙතැනක යොදා ඇති බවටත් අනාවරණය වී තිබේ.

විපක්ෂය ඉදිරිපත් කර ඇති මෙම විශ්වාසභංග යෝජනාවට මේ ආකාරයෙන් ව්‍යාජ නම් සහ ලොහාන් රත්වත්තගේ නම වංචනික ලෙස දෙතැනක යොදා ඇති බව සම්බන්ධයෙන් විපක්ෂයේ, මන්ත්‍රීවරයකුගෙන් විමසු විට හෙතෙම පැවැසුවේ එම විශ්වාසභංගයට ව්‍යාජ ලෙස නම් ඇතුළත් කර නැති බවත් ලොහාන් රත්වත්තේ මන්ත්‍රීවරයාගේ නම දෙතැනක සඳහන් කර තිබීම ඔවුන් විසින් පිළිගන්නා බවත්ය.

තවද ලොහාන් රත්වත්ත මහතාගේ නම විශ්වාසභංග යෝජනාවේ දෙතැනක ඇතුළත්ව තිබීම පිළිබඳ ඔවුන් පවසන්නේ විපක්ෂය විසින් විශ්වාසභංග පහක් ඉදිරිපත් කර ඇති බවත් ඒ අවස්ථාවේ සිදුවූ අතපසුවීමක් මත එම නම දෙතැනක සඳහන් වී ඇති බවත්ය. කෙසේ වෙතත් එකම මන්ත්‍රීවරයකුගේ අත්සන විශ්වාසභංග යෝජනාවක දෙතැනක යෙදීම වංචනික ක්‍රියාවකි. තවද ඊට ව්‍යාජ අත්සන් යෙදීම වැනි දෝෂ සහගත විශ්වාසභංගයක් විභාගයට ගැනීමේදී එය ගැටලු සහගත තත්ත්වයක් ඇතිවීමට හැකි වේ යැයි විපක්ෂය සැක සිතන බවද විපක්ෂයේ මන්ත්‍රීවරුන් අතර සාකච්ඡාවට භාජනය වී තිබේ.

අදහස් 1ක් ඇත

නව අදහස දක්වන්න