කොටකෙතන පළමු ද්විත්ව ඝාතනයේ විත්තිකාර අඹු සැමි යුවළ 29දා තෙක් රිමාන්ඩ් | දිනමිණ

කොටකෙතන පළමු ද්විත්ව ඝාතනයේ විත්තිකාර අඹු සැමි යුවළ 29දා තෙක් රිමාන්ඩ්

කුමුදු හෙට්ටිආරච්චි

රත්නපුර කොටකෙතන සිදු වූ පළමු ද්විත්ව ඝාතන සිද්ධියේ විත්තිකරුවන් වන අඹු සැමි යුවළ ලබන 29 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරය භාරයේ තැබීමට කොළඹ මහාධිකරණ විනිසුරු සරෝජනී කුසලා වීරවර්ධන මහත්මිය ඊයේ (08) නියෝග කළාය.

නඩුව ඊයේ කැඳවූ අවස්ථාවේ බන්ධනාගාර නිලධාරීන් විසින් විත්තිකරුවන් වන ලොකුගම් හේවගේ දර්ශන හෙවත් රාජු හා අශෝකා චාන්දනී කුමාරි හෙවත් (බට්ටි) නමැති අය අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණි.

කොටකෙතන ප්‍රදේශයේ පවතින වත්මන් තත්ත්වය අනුව විශේෂයෙන් එම ප්‍රදේශයේ සිදුවූ ඝාතන රැල්ල පිළිබඳව ජනතාව තුළ මතුව ඇති විරෝධය සලකා මෙම නඩුව හැකි ඉක්මනින් විභාගයට ගැනීමට දින නියම කරන ලෙස නඩුවේ පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින රජයේ අධිනීතිඥ ලක්මාලි කරුණානායක මහත්මිය ඉල්ලා සිටියාය.

රජයේ අධිනීතිඥවරිය විසින් එම ඉල්ලීම සිදු කරනු ලැබුවේ නඩුවේ විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න මහතා අභියාචනාධිකරණයේ වෙනත් නඩුවකට පෙනී සිටින බව පවසමින් නඩුව කැඳවීමට වෙනත් දිනයක් ලබා දෙන ලෙසට නීතිඥ උදාර මුහන්දිරම් මහතා කළ ඉල්ලීම මතය.

ජනතාව උද්ඝෝෂණය කරන්නේ මෙම නඩුව ඉක්මනින් විභාගයට ගැනීමට පවසා නොව පොලිසියට හරිහමන් විධිමත් පරීක්ෂණ නොකර අහිංසක පුද්ගලයන් හට නඩු දැමීම නතර කරන ලෙසට ඉල්ලමින් යැයි පවසා සිටි නීතිඥ උදාර මුහන්දිරම් මහතා තම සේවාදායකයන්ද දැනට තුන්වසරකට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාරය භාරයේ පසුවන බවද පැවසීය.

2012/01/31 හෝ ඊට ආසන්න දිනකදී රත්නපුර කොටකෙතන පන්සල පාරේදී නයනා නිල්මිණි (52) නැමැත්තිය හා ඇගේ දියණිය වන 17 හැවිරිදි කාවින්ද්‍යා චතුරංගි සෙල්ලහේවා ඝාතනය කිරීම ඇතුළු අධිචෝදනා දෙකක් යටතේ නීතිපතිවරයා විසින් විත්තිකාර අඹු සැමි යුවළට එරෙහිව මෙම නඩුව පවරා ඇත.


නව අදහස දක්වන්න