ලංකා හොස්පිට්ල්හි මූල්‍ය වංචා පරීක්ෂණයට 3කගේ විදේශ ගමන් තොරතුරු සොයයි | දිනමිණ

ලංකා හොස්පිට්ල්හි මූල්‍ය වංචා පරීක්ෂණයට 3කගේ විදේශ ගමන් තොරතුරු සොයයි

රෝෂන් තුෂාර

පසුගිය පාලන සමයේ ලංකා හොස්පිට්ල් ආයතනයේ මූල්‍ය වංචාවක් සිදුවූයේ දැයි සිදුකෙරෙන පරීක්ෂණයන්ට අදාළව පුද්ගලයන් තිදෙනෙකුගේ විදේශ ගමන් තොරතුරු කොළඹ මූල්‍ය අපරාධ කොට්ඨාසයට ලබාදෙන්නැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා ආගමන විගමන පාලකවරයාට ඊයේ (08) නියෝග කෙළේය.

ලංකා හොස්පිට්ල් ආයතනයේ ඩී.සී.එස්.එල්. ආයතන කොටස් ඉන්දියානු පෝටීස් නමැති සමාගමට විකිණීමේදී මූල්‍ය අක්‍රමිකතාවක් සිදු වී ඇද්ද යන්න විමර්ශනය කිරීමට අදාළ මෙම පුද්ගලයන්ගේ විදේශ ගමන් තොරතුරු අවශ්‍ය බවට මූල්‍ය අපරාධ කොට්ඨාසය කළ කරුණු දැක්වීමෙන් පසුව මේ නියෝගය නිකුත් කෙළේය.

නාලක හර්ෂ ජීව ගොඩහේවා, දිලිත් සුසන්ත ජයවීර හා වරුණි සොනාලි අමුණුගම යන අයගේ 2011 ජනවාරි 01 දින හා 2011 දෙසැම්බර් 31 දින අතර විදේශ ගමන් තොරතුරු ලබාදෙන ලෙසට ආගමන විගමන පාලකවරයාට නියෝග කරන ලෙස පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය. කරුණු සළකා බැලූ මහේස්ත්‍රාත්වරයා අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 124 වගන්තිය ප්‍රකාරව මේ නියෝගය නිකුත් කෙළේය.

ගෝඨාභය රාජපක්ෂ මහතා සභාපතිත්වය දැරූ 2009 හා 2014 වසර පහක කාලය තුළ ලංකා හොස්පිට්ල් ආයතනයේ මූල්‍ය වංචා සිදුවී ඇති බවට හා මුදල් අයථා පරිහරණය කිරීමක් සිදුවී ඇති බවට එම රෝහලේ පිළිකා විශේෂඥ වෛද්‍ය මෙරියන්ස් ඇලෙක්සැන්ඩර් පෙරේරා කළ පැමිණිල්ලක් අනුව අපරාධ කොට්ඨාසය මේ විමර්ශන ආරම්භ කෙළේය.

පසුගිය පාලන සමයේ ලංකා හොස්පිට්ල් ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ වියදම් අධික බැවින් ලාභය අඩු වූ බවත්, රුපියල් මිලියන ගණනින් වංචා වූ බවටත් සඳහන් කරමින් මේ පැමිණිල්ල ගොනුකර තිබිණි.

පැමිණිල්ලේ වැඩිදුර විභාගය ලබන 02 දින සිදු කිරීමට නියමිතය.


නව අදහස දක්වන්න