විශාලතම විදුලිය වංචාවේ කම්හල් හිමියාට වන්දි හා දඩ | දිනමිණ

විශාලතම විදුලිය වංචාවේ කම්හල් හිමියාට වන්දි හා දඩ

නීති විරෝධී ලෙස විදුලිය ලබාගෙන ලංකා විදුලිබල මණ්ඩලයට විශාලතම අලාභය වන කෝටි එකයි විසිපන්දහසක් පාඩු සිදු කිරීමේ චෝදනාවට වරදකරු වූ බලන්ගොඩ ෂර්වුඩ් තේ කර්මාන්ත ශාලාවේ අයිතිකරුට දඩ මුදල් සහ වන්දි මුදල් ගෙවීමෙන් පසු ලබන 11දා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියෝග කරන ලදී. විදුලිය වංචනික ලෙස ගැනීම සම්බන්ධව වරදකරු වූයේ බලන්ගොඩ පින්නවල ෂර්වුඩ් කර්මාන්ත ශාලා හිමිකරු වන හවුපේ ලියනගේ නිශාන්ත නැමති අයෙකි.

නීති විරෝධී ලෙස විදුලිය ගෙන ලංකා විදුලිබල මණ්ඩලයට සිදු කළ රුපියල් කෝටි එකයි විසි දෙලක්ෂයක  මුදල් වන්දියක් වශයෙන් සහ දඩ වශයෙන් රුපියල් පනස්දහසක මුදලක් ගෙවන ලෙස විත්තිකරු චෝදනාවට වරදකරු කරමින් බලන්ගොඩ මහේස්ත්‍රාත් ලලිත් කන්නන්ගර මහතා පසුගිය 28දා නියෝග කර තිබුණි.

දඩ නියම කිරීමෙන් පසු තම නීතිඥයින් මඟින් දඩ මුදල සහ අලාභ මුදල චෙක්පත් දෙකක් මඟින් ගෙවීමට අධිකරණයෙන් ඉල්ලා සිටියද ‍එය ප්‍රතික්ෂේප කළ බලන්ගොඩ මහේස්ත්‍රාත්වරයා දඩ හා වන්දි අත්පිට මුදල් වලින් ගෙවන ලෙසත් මුදල් ගෙවීමෙන් අනතුරුව මුදල් ගෙවූ බවට නිකුත් කරන රිසිට්පත් මීළඟ නඩු දිනය වූ ජුනි 11 දින අධිකරණයට පෙනී සිට ඉදිරිපත් කරන ලෙස නියෝග කරන ලදී.

ලංකා විදුලි බල මණ්ඩලයේ විමර්ශන නිලධාරී පී.ඩී. අජිත්, එස්.චන්දන, නන්දික පෙරේරා, සිසිර කුමාර, බදු පරීක්ෂණාගාරයේ විදුලි ඉංජිනේරු තාරක මහතා ඇතුළු නිලධාරීන් හා කහවත්ත ඉංජිනේරු කාර්යාලයේ නිලධාරීන් එක්ව වැටලීම සිදු කර බලන්ගොඩ පොලිසිය පැමිණිලි කර සැකකරු අත්අඩංගුවට ගෙන බලන්ගොඩ පොලිසියේ සැරයන් සේනාරත්න මහතා සමඟ නඩු පවරන ලදී.

රත්නපුර විශේෂ එන්.පී. රාජදොරේ


නව අදහස දක්වන්න