අධිකරණ වාර්තාකරණය: මාධ්‍ය මහත්වරුනි ! වගකීමෙන් ලියන්න | දිනමිණ

අධිකරණ වාර්තාකරණය: මාධ්‍ය මහත්වරුනි ! වගකීමෙන් ලියන්න

රෝෂන් තුෂාර

අපි විවිධ ක්ෂේත්‍රයන් නියෝජනය කරන්නෙමු. නමුත් අප කාටත් එකම ඉලක්කයක් තබේ. එය ප්‍රජාතන්ත්‍රවාදයයි. කෙටියෙන් කිවහොත් “විවිධත්වයෙන් සම්මුතියකට පැමිණීම” ලෙස එය අර්ථ ගැන්වේ. ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික ලක්ෂණය එය ය. ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික අරමුණ නම් ජනතාවගේ නිත්‍යානුකූල බලාපොරොත්තු සාක්ෂාත් කර ගැනීම ය.

මෙම අරමුණු සාක්ෂාත් කරගැනීමේදී මාධ්‍යවේදියා සතු වගකීම, කාර්යභාරය මෙතෙකැයි සීමා කළ නොහැකිය.

පසුගිය කාලයේ මාධ්‍යවේදීන් වාර්තාකරණයේ යෙදුණු ආකාරය අපි දුටුවෙමු. එහිදී අප දුටුවේ ප්‍රවෘත්ති වාර්තාකරණය වැරදි ලෙස කරන එකම කළ යුතු දේ යැයි සිතමින් කරන සංස්කෘතියකි. මෙය බරපතළ කාරණයකි.

ප්‍රජාතන්ත්‍රවාදයේ අරමුණු සාක්ෂාත් කිරීම විධායකයට තනිවම කළ නොහැකිය. එසේම ව්‍යවස්ථාදායකට ද අධිකරණයටද එය තනිවම කළ නොහැකිය.

එදා අප ඉගෙනගත් ප්‍රජාතන්ත්‍රවාදය අද සම්පූර්ණයෙන් වෙනස් වී තිබේ. දේශපාලන විද්‍යාඥයෝ අපට ඉගැන්වූයේ ව්‍යවස්ථාදායකය, විධායකය හා අධිකරණය යන කුලුනු තුන මත රඳා පවතින “රන් දොවොල” ප්‍රජාතන්ත්‍රවාදය බවයි.

අද එය යල්පැනගිය න්‍යායකි. ප්‍රජාතන්ත්‍රවාදයට අලුත් මාතෘකා දෙකක් නැතිනම් කුලුනු දෙකක් එක් වී තිබේ. එනම් නිදහස් මාධ්‍ය හා සහභාගීත්ව ප්‍රජාතන්ත්‍රවාදය.

පැරණි ක්‍රමයට අනුව ක්‍රියාත්මක වන රටවල ප්‍රජාතන්ත්‍රවාදය අසාර්ථක වී ඇත. අලුත් කුලුනු දෙක එක්කර ගත් රටවල ප්‍රජාතන්ත්‍රවාදය දියුණු වී ඇත. එසේම එම රටවල් ආර්ථික වශයෙන් ද දියුණු වී ඇත. මේ නිසා අද ප්‍රජාතන්ත්‍රවාදය කුලුනු පහක් මත රඳා පවතින බව පැවසිය හැකිය. මේ අතරින් අද මගේ අවධානය යොමුවන්නේ අධිකරණය පිළිබඳ ය.

මේ කුලුනු පහෙන් එකක් දුර්වල වුවහොත් ප්‍රජාතන්ත්‍රවාදය රඳා පවතින්නේ නැත. එදා මොන්ටෙස්කියුගේ න්‍යාය අනුව ලෝකයට බලතල බෙදීමේ කාර්යය හඳුන්වා දෙන ලදී. විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණය එකිනෙක ආයතනයන්ගෙන් ස්වාධීනව කටයුතු කරන්නේ කෙසේද යන්න එමඟින් පැහැදිලි කර දී ඇත.

පසුගිය කාලයේ අපේ රටේ බලතල බෙදීමක් නොතිබිණි. මෙය බරපතළ ගැටලුකාරී තත්ත්වයක් විය. බලතල බෙදීම ව්‍යවස්ථාවේ පැවතිය ද ව්‍යවස්ථාවේ තිබූ විධායක ජනපතිගේ බලතල තුළින් අධිකරණයත්, ව්‍යවස්ථාදායකයත් ගිලගන්නා පරිසරයක් නිර්මාණය විය. මේ තුළ ජනමාධ්‍යවේදයත්, ජනමාධ්‍යවේදියාත් ගිලගෙන තිබුණා පමණක් නොව සහභාගීත්ව ප්‍රජාතන්ත්‍රවාදය යන්න දැකිය නොහැකි විය.

මේ නිසා අප රටේ දේශපාලන අවබෝධය ඇති සියල්ලන්ගේ ම මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරන්න යනුවෙන් ඉල්ලා සිටියෙමු. 19 වන ව්‍යවස්ථා සංශෝධනය ඕපපාතිකයක් නොවන්නේ ඒ හේතුවෙනි. දීර්ඝ කාලයක් තිස්සේ පැවති ජනතා ප්‍රාර්ථනාවක් ඉෂ්ට කිරීමක් ලෙස එය හැඳින්විය හැකිය.

එක් එක් පක්ෂවල විවිධ මත දරන නියෝජිතයින්ගෙන් සැදුම්ලත් ව්‍යවස්ථාදායකය ස්වාධීන නොවේ. ඒ අයට ස්වාධීනව කටයුතු කිරීම ද සීමා සහිතය. විධායකය ද ස්වාධීන නොවන අතර එය ද දේශපාලනීකරණ වී ඇත. මේ ආයතන දෙකම දේශපාලනඥයන් විසින් මෙහෙයවන විට අධිකරණය සම්පූර්ණයෙන් ස්වාධීන විය යුතුය. එසේ නොවුණොත් ඒ රටේ පාලනය කඩා වැටේ. එමනිසා අද අප මේ උදාකරගත් නිදහස ජනතාව ඉතා අපහසුවෙන් දිනා ගත් නිදහසකි.

ප්‍රජාතන්ත්‍රවාදයේ මුල්ගල මැග්නාකර්ටා ගිවිසුම වේ. බ්‍රිතාන්‍යයේ රජතුමා සහ මහජනතාව අතර තිබුණු ගැටුමින් දිනාගත් එය 1215 පෙබරවාරි මසදී අත්සන් කරන ලදී. අද වන විට එයට අවුරුදු 800 ක් පමණ ගත වී ඇත. එම ගිවිසුමේ දෙවැනි වගන්තියේ අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳ සඳහන් වේ.

අප කාටවත් යුක්තිය විකුණන්නේ නැත. සරලව පැවසුවහොත් තීන්දු දීමේදී පගාගන්නේ නැත. අපි කාටවත් යුක්තිය ප්‍රතික්ෂේප නොකරන්නෙමු. එසේම අපි කාටවත් යුක්තිය ප්‍රමාද නොකරන්නෙමු. අධිකරණය ස්වාධීන ආයතනයක් ලෙස ස්ථාපිත වූයේ මේ අනුවය. මෙයට ජීවය ලබා දුන්නේ හෙන්රි බ්‍රැක්ටන් විනිසුරුතුමායි. එවක තිබූ නීතිය අනුව රජතුමා කිසිම මිනිසෙක් යටතේ ඉන්නා අයෙකු නොවේ.

නමුත් හෙන්රි බ්‍රැක්ටත් විනිසුරුතුමා පැවසූයේ මෙය වැරදි සහගත දෙයක් බවය. එතුමාගේ අදහස වූයේ රජතුමා කිසිම අයකුට යටත් නැති බව ය. නමුත් රජතුමා දෙවියන්ට සහ නීතියට යටත් බව ඔහු පැහැදිලි කර ඇත.

පසු කලකදී මහා බ්‍රිතාන්‍යයේ පළමු චාල්ස් රජුට එරෙහිව රාජද්‍රෝහි චෝදනාවක් ඉදිරිපත් විය. එය විභාග කළ 101 කින් යුත් ජූරි සභාවේ සභාපති ධුරය හෙන්රි විනිසුරුතුමාට හිමි විය.

විනිසුරුතුමාගේ අර්ථ නිරූපණය අනුව රජු එල්ලා මැරීමට තීරණය කෙරිණි. නීතියේ ආධිපත්‍යය හිස එසවීම ආරම්භ වූයේ එලෙසය.

අප කාටවත් යටත්විය යුතු නැත. නමුත් නීතියට යටත්විය යුතු ය. තවත් ආකාරයකින් එය විග්‍රහ කරන්නේ ගරුකිරීම යනුවෙනි. ගරු කළ නොහැකි කෙනා යටත් කළ යුතු ය.

ප්‍රජාතන්ත්‍රවාදය යනු නීතියේ ආධිපත්‍යයයි. රටක නීතියක් ක්‍රියාත්මක කරන විට උතුරු නැ‍ඟෙනහිර බටහිර දකුණ යනුවෙන් වෙනසක් නැත. රටක නීතියේ ආධිපත්‍යය තිබේ නම් ජනපති සහ හිඟන්නා යනුවෙන් ‍ෙබදිය නොහැකිය. අප ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නීතියේ ආධිපත්‍යය සහතික කර ඇත. නීතියේ ආධිපත්‍යය රැකීමට නම් ප්‍රජාතන්ත්‍රවාදය රැකිය යුතුය. ප්‍රජාතන්ත්‍රවාදය රැකීමට නම් ජනතාව නිවැරැදි තීන්දු ගත යුතුයි.

ප්‍රජාතන්ත්‍රවාදය යනු බුද්ධිමතාගේ පාලනය නොවේය යන්න අමතක නොකළ යුතුය. රටක කතිරය ගසන සියයට 51 ක් මෝඩයෝ නම් තේරී පත්වන්නේ ද මෝඩයෝ පිරිසකි. හැදෙන්නේ මෝඩයන්ගේ පාලන ක්‍රමයකි. රටක සියයට 51 ක් බුද්ධිමතුන් නම් තේරී පත්වන්නේ ද බුද්ධිමතුන් ය. හැදෙන්නේ බුද්ධිමතුන්ගේ ආණ්ඩුවකි. ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රශස්ත යැයි පැවසිය නොහැකි ය. ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රශස්ත ද නැති ද යන්න තීරණය වන්නේ ජනතාවගේ බුද්ධි මට්ටම මත ය. එසේ නම් ජනතාවගේ බුද්ධි මට්ටම ප්‍රශස්තභාවයට ගෙන යාමේ වගකීම ඇත්තේ කා හට ද? ඒ වගකීම ඇත්තේ ජනමාධ්‍යවේදියාටය.

ඒ නිසා ජනමාධ්‍යවේදියෝ පෙරහරේ ඉදිරියෙන් යන කසකාරයෝ වෙති. සමාජය ඉදිරියට ගෙන යා යුත්තේ කුමන දිසාවට ද? පාර පෙන්වන්නේ ජනමාධ්‍යවේදියෝ ය. අපේ නිදහසේ අරගලයේදී ද මාධ්‍යවේදියා සිටියේ ඉදිරියෙනි. එදා ජනමාධ්‍යවේදියා සිටියේ දේශපාලනඥයාට වඩා ඉදිරියෙනි. වරෙක මා හට නවදිල්ලි නුවර ලෝක පුවත්පත් මණ්ඩලයේ සම්මන්ත්‍රණයක් ඇමතීමට අවස්ථාව ලැබිණි.

එහිදී හින්දුස්ථාන් පත්‍රයේ ප්‍රධාන කර්තෘ මා සමඟ කතාබහක යෙදිණි. එතුමා පවසා සිටියේ ජනමාධ්‍යවේදියෙකු බවට පත්වීමට හැකි වූයේ එවක ලේක්හවුස් ආයතනයේ වැඩ කළ ප්‍රශස්ත ජනමාධ්‍යවේදීන් නිසා බවය. ජනමාධ්‍ය කුමක්ද යන්න පිළිබඳ ඉගෙනීමට හැකි වූයේ ඔවුන්ගෙන් බව ද ඔහු පැවසූයේ එම මාධ්‍යවේදීන්ගේ නම් කීපයක් ද සඳහන් කරමිනි.

මේ නිසා ප්‍රශස්ත මට්ටමේ ජනමාධ්‍යවේදීන් සිටි රටක් ලෙස අපි ආසියාවේ සහ ලෝකයේ ප්‍රසිද්ධ වී සිටිමු.

ජනමාධ්‍යවේදියකුට පෙරහරේ ගමන් කරන කසකාරයා මෙන්ම පෙරහර අවසානයේ අලි බෙටි එකතු කරන කසළ ශෝධකයා වීමට ද හැකිය. එයට කිසිම තහනමක් නැත. එය තීරණය කළ යුත්තේ ද මාධ්‍යවේදියා විසින්ම ය.

නීතියේ ආධිපත්‍යය රැකීමට අධිකරණ‍ෙය් ස්වාධීනත්වය රැකිය යුතුය. 1689 දී අධිකරණයට මැදිහත් වේය යන බි‍යෙන් එංගලන්තයේ ජනතාව පෙළපාලි ගියහ. ජනතාවට සහතිකයක් දෙන ‍ෙතක් රජතුමාගේ ඔටුන්න පිළි නොගන්නා බව ඔවුහු පැවසූහ. විනිසුරුවන්ගේ ධුර කාලයට අත නොතබන බවට පොරොන්දු වනතුරු රජතුමා වශයෙන් පිළි නොගන්නා නැති බව ද පැවසූහ.

අධිකරණයේ අයිතිය රටට ආදරය කරන මිනිසුන් විසින් අපහසුවෙන් දිනාගත් එකකි. එම අයිතිය ආරක්ෂා කර ගැනීම අපගේ වගකීමකි.

අධිකරණ තීන්දු විවේචනය කළ හැකි ද?

පසුගිය වකවානුව තුළ අධිකරණයට අපහාස කරන වාර්තා සිය දහස් ගණන් පළවිණි. නමුත් ඒවා අධිකරණය වෙත ගෙන නොගිය බැවින් ගැටලු මතු නොවිණි.

උසාවියේ වැරැදිකරුවන් වී පැමිණෙන අයට මල්මාලා දැමීම, දෝෂාභියෝග නඩු ඇසීමේදී මිනිස්සු කැති පොලු රැගෙන උසාවිය වටකරගෙන සිටීම වැනි දේ සිදු විය. ඒවා රාජ්‍ය අනුග්‍රහයෙන් කෙරුණ බැවින් කිසිවක් කළ නොහැකි විය. එවැනි අධිකරණයක් ද තිබිණි.

අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳ ගැටලු තිබිණි. විශේෂයෙන් පත්කිරීම් පිළිබඳ දේශපාලනික ඇඟිලි ගැසීම් පිළිබඳ අධිකරණ නඩු තීන්දු, හෙජින් තීන්දුව, කුණු කූඩයට දැමීම උදාහරණ ය. මේ නිසා අධිකරණය පිළිබඳ ජනතා ගරුත්වය ගිලිහී ගොස් තිබිණි.

එකල ඇතැම් නඩු නරකම නම්, වගඋත්තරකාර පාර්ශ්ව වෙනුවෙන් පෙනී සිටින නීතිඥයන් මෙය ජනාධිපතිගේ ව්‍යාපෘතියක් බව අධිකරණයට පවසයි. එවැනි අවස්ථාවක මූලික අයිතිවාසිකම්පතට අවසර ලැබෙන්නේ නැත. නඩුව ඩිස්මිස් යනුවෙන් සටහන් කෙරේ.

ඇතැම් නඩුවලද නීතිඥයන් පවසන්නේ මෙය ආරක්ෂක ලේකම්වරයාගෙන් පැමිණි ඕඩරයක් බවයි. එය ඇප්ලිකේෂන් ඩිස්මිස් යනුවෙන් තීන්දු කෙරෙණු අප දැක ඇත. අපේ රටේ අධිකරණ යථාර්ථය වූයේ එය ය.

ඒ අඳුරු අතීතය අද අපට නැත. අධිකරණය ස්වාධීන කිරීම ඔබේත්, මගේත් සියලු දෙනාගේම යුතුකමකි.

අධිකරණ පුවත් වාර්තා කිරීමේදී වගකීමෙන් කළ යුතුය. සාධාරණ තීන්දුවක් දීමේ ඉඩකඩ අහුරන, අධිකරණයට අගතියක් වන වාර්තාකරණ අප දැක තිබේ.

අධිකරණය පිළිබඳ විශ්වාසය කඩාවැටීමේදී ප්‍රජාතන්ත්‍රවාදය ද කඩාවැටේ. කවුරුන් හෝ කුමක් හෝ පැවසුවහොත් එය ඒ අයුරින්ම පළකිරීම ජනමාධ්‍යවේදියාගේ වගකීම නොවේ.

අධිකරණයට අපහාසයක් වන යම් දෙයක් පැවසුවහොත් එය පළකරන මාධ්‍ය ආයතනය පළමු වගඋත්තරකරු වෙයි.

එස්. බී. දිසානායක මහතාගේ නඩුවේදී එතුමාට දඬුවම් ලැබිණි. නමුත් එම ප්‍රවෘත්තිය පළකළ මාධ්‍ය ආයතනයට හෝ ප්‍රවෘත්ති අධ්‍යක්ෂකට දඬුවම් ලැබුණේ නැත. ගැටලුව ඇත්තේ එතනය. වගකීම ඇත්තේ මාධ්‍යයටය.

පසුගිය කාලේ අධිකරණයේත් ප්‍රශ්න තිබිණි. විනිශ්චයකාරවරුන්ගේ දරුවන්ගේ මංගල උත්සවයට අත්සන් කළේ ද අරලියගහ මන්දිරයේදීය. එවිට අධිකරණයේ ස්වාධීනත්වයක් තිබේද? ජනතාව අධිකරණ තීන්දු පිළිගනියි ද? ඒ නිසා අප අද ගෞරවනීය සමාජයක් ස්ථාපිත කළ යුතුය. ඒ සඳහා අපේ අවංකත්වය, කැපවීම අවශ්‍ය වේ. මාධ්‍යවේදීන්ගේ අවංකත්වය අවශ්‍ය වේ. සිද්ධිය පාරිශුද්ධව ජනතාව ඉදිරියේ තැබිය යුතුය. මාධ්‍යවේදියාගේ මතය වෙනම ඉදිරිපත් කළ යුතුය. මේ ‍ෙදක පටලවා ගතහොත් ජනමාධ්‍ය ආචාරධර්ම උල්ලංඝනය වේ.

ජනමාධ්‍යවේදියාගේ ශක්තිය කොතරම් දැයි පැවසුවහොත් අමෙරිකාවේ ජනාධිපතිවරු දෙදෙනෙක් ගෙදර යැවීමට තරම් ඔවුන් බලවත් විය. මහජන පෙළගැස්ම තිබෙන්නේ ජනමාධ්‍යවේදියා අතය. මාධ්‍යවේදියා විනිසුරුවෙකු ලෙස අධිකරණයක් විදිහට ස්වාධීන විය යුතුය. සාමකාමී සංහිඳියාවෙන් යුතු රටක් බිහිකිරීමට හැක්කේ මාධ්‍යවේදියාටය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වූ දේශනයක් ඇසුරිනි.


නව අදහස දක්වන්න