ටිරාන්ගේ පෙත්සම තවදුරටත් සලකා බලන්න පෙර විනිසුරු මඬුල්ලම | දිනමිණ

ටිරාන්ගේ පෙත්සම තවදුරටත් සලකා බලන්න පෙර විනිසුරු මඬුල්ලම

නෙල්කා මැදගෙදර

තමා අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම තව දුරටත් සලකා බැලීම එම පෙත්සම මීට පෙර කැඳවූ විනිසුරු මඩුල්ල ඉදිරියේම සිදුකිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (11) තීරණය කෙළේය.

ඒ අනුව එම පෙත්සම මීට පෙර කැඳවූ විනිසුරු මඩුල්ලෙහි සාමාජිකයන් වූ අගවිනිසුරු කේ. ශ්‍රී පවන්, රෝහිණී මාරසිංහ සහ ඊවා වනසුන්දර යන මහත්ම මහත්මීන් ඉදිරියෙහි ලබන ජුනි මස 29 වැනිදා මෙම පෙත්සම කැඳවන ලෙස නියම විය.

ඊයේ (11) දින තෙක් අලස් මහතා අත්අඩංගුවට නොගන්නා බවට දී තිබූ සහතිකවීම ලබන 29 වැනිදා තෙක් පවත්වාගෙන යාමට නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් යසන්ත කෝදාගොඩ මහතා අධිකරණය හමුවෙහි එකඟතාව පළ කෙළේය.

රෝහිණී මාරසිංහ, බුවනෙක අලුවිහාරේ, උපාලි අබේරත්න යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියෙහි මෙම පෙත්සම ඊයේ (11) කැඳවන ලදී.

එම අවස්ථාවේදී මෙම පෙත්සම මීට පෙර අගවිනිසුරුවරයා ප්‍රමුඛ විනිසුරු මඬුල්ලක් හමුවෙහි කැඳවූ බවද පෙත්සම සම්බන්ධයෙන් කරුණු දැක්වීම් ද සිදුකිරීමෙන් පසුව පෙත්සම්කරු අත්අඩංගුවට නොගැනීමට එකඟතාවක් ඇතිවූ බවද දෙපාර්ශ්වයේ නීතිඥවරු දැනුම් දුන්හ. ඒ අනුව එම විනිසුරු මඩුල්ල ඉදිරියේම පෙත්සම සලකා බැලීම උචිතබවට ඔවුහු සඳහන් කළහ.

ඒ අනුව පෙත්සම නැවත එම විනිසුරු මඬුල්ල ඉදිරියේම සලකා බැලීමට තීරණය විය.

පුවත්පත් ආයතනයක හිමිකරුවකු සහ හිටපු ජනාධිපතිවරයාගේ සමීපතම හිතවතකු වන තමන් කුමන හෝ අවස්ථාවක පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමේ අවදානමක් ඇති බැවින් එය වළක්වන ලෙස ඉල්ලා මෙම පෙත්සම ටිරාන් අලස් මහතා ගොනු කර සිටියේය.

රාඩා ආයතනයේ විධායක නොවන සභාපතිවරයා ලෙස 2005 වසරේ සිට තමා කටයුතු කළ බවත් 2007 වසරේ දී එම ආයතනය ගොඩනැගීමේ අමාත්‍යාංශයට පවරාගත් බවත් පෙත්සම්කරු පවසයි. එසේ කළ කිසිදු ව්‍යාපෘතියකට තමා සම්බන්ධ නොවූ අතර ඒ පිළිබඳ චෝදනා එල්ල නොවූ බවද ඔහු පවසයි.

එසේ තිබියදී ඇමැතිවරයෙකුගේ දේශපාලන උවමනාව මත තමා අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇති බැවින් එමගින් සිය මූලික අයිතීන් උල්ලංඝනය විය හැකි බවට ඔහු සඳහන් කර සිටියේය. මෙම පෙත්සම මීට පෙර සලකා බැලූ අවස්ථාවේදී ටිරාන් අලස් මහතා අත්අඩංගුවට ගැනීමට තරම් ඔහුට එරෙහි චෝදනා ඇති බව නීතිපතිවරයා සඳහන් කෙළේය.

එහෙත් විමර්ශනවලට සහාය දීමට ටිරාන් අලස් මහතා කැමැත්ත පළ කළ අතර පෙත්සම ඊළඟට කැඳවන දිනය තෙක් ඔහු අත්අඩංගුවට නොගැනීමට නීතිපතිවරයා එදින එකඟතාව පළ කෙළේය.

ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටියේය.


නව අදහස දක්වන්න