නෙළුම් කුලුනේ විදුලි සෝපානය සහ තරප්පු ඉදිකිරීම: වාරණය අත්හිටුවනවා ද නැද්ද තීරණය 17 දාට | දිනමිණ

නෙළුම් කුලුනේ විදුලි සෝපානය සහ තරප්පු ඉදිකිරීම: වාරණය අත්හිටුවනවා ද නැද්ද තීරණය 17 දාට

රෝෂන් තුෂාර

‘නෙළුම් කුළුනේ’ විදුලි සෝපාන හා තරප්පු ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව මයික්‍රෝ සමාගමට හැර වෙනත් සමාගමකට පැවරීම වළක්වමින් කොළඹ දිසා අධිකරණය නිකුත්කර ඇති ‘වාරණ නියෝගය’ අත්හිටුවනවාද? නැද්ද යන්න පිළිබඳ නියෝගය ලබන 17 දින නිකුත් කරන බව කොළඹ සිවිල් අභියාචන මහාධිකරණය නියෝග කළේය.

සෝපාන ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව සම්බන්ධයෙන් වන සිය කරුණු දැක්වීම අද (12) දින ලිඛිතව අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද සිවිල් අභියාචනාධිකරණය නඩුවේ පාර්ශවකරුවන්ට නියෝග කළේය.

විදුලි සංදේශ නිරීක්ෂණය හා විනෝද පහසුකම් සැපයීම ප්‍රධානකර ගනිමින් චීනයේ ආධාර ඇතිව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ස්ථාපිත කරන මේ නෙළුම් කුලුනේ තරප්පු පෙළ හා විදුලි සෝපාන ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව තමන් සතු බව සඳහන් කරමින් මයික්‍රෝ හෝල්ඩින්ස් සමාගම කොළඹ දිසා අධිකරණයේ පසුගියදා නඩු පැවරීය.

අඩි 350ක් උස කුලුන ඉදිකරන චීනයේ චයිනා නැෂනල් ඉලෙක්ට්‍රොනික් ඉම්පෝට් ඇන්ඩ් එක්ස්පෝට් කෝපරේෂන් ආයතනය හා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වගඋත්තරකරුවන් කරමින් පැවරූ මේ නඩුව සලකා බැලූ කොළඹ දිසා අධිකරණය අදාළ කොන්ත්‍රාත්තුව මයික්‍රෝ සමාගමට හැර වෙනත් සමාගමකට පැවරීම වළක්වමින් වාරණ නියෝගයක් පසුගිය 04 දින නිකුත් කළේය.

පැමිණිලිකාර මයික්‍රෝ සමාගමට සෝපාන ඉදිකිරීමේ බලය ලබාදී නොමැති බවත්, එම සමාගම සමඟ නිශ්චිත ගිවිසුමක් ඇතිකරගෙන නොමැති බැවින් නිකුත්කැර ඇති වාරණ නියෝගය අත්හිටුවන ලෙසට විදුලි සංදේශ නියාමන කොමිෂම අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ප්‍රධාන කොන්ත්‍රාත්කාර චීන සමාගම කරුණු දක්වමින් කියා සිටියේ සෝපාන ඉදිකිරීමේ ගිවිසුම් හා කොන්ත්‍රාත් ලබාදීමේ බලය කොමිෂන් සභාව සතු බවත්, සිය සමාගමට ඊට බලයක් නොමැති බවත්ය.

පැමිණිලිකාර මයික්‍රෝ සමාගම කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කළේ සෝපාන ඉදිකිරීම සම්බන්ධයෙන් වගඋත්තරකාර සමාගම වරින්වර තමන් වෙත ලිපි ඉදිරිපත් කර ඇති බවත්, එම ලිපි ප්‍රකාරව තම සමාගම සෝපාන ඉදිකිරීම් කටයුතුවලට භාණ්ඩ ආනයනය කර ඇති බවත් ය.

මේ අනුව වගඋත්තරකාර චීන සමාගමේ හා විදුලි සංදේශ නියාමන කොමිෂමේ විරෝධතා ප්‍රතික්ෂේප කළ කොළඹ ප්‍රධාන දිසා විනිසුරු හර්ෂ සේතුංග මහතා වාරණ නියෝගය යළි දීර්ඝ කරමින් වගඋත්තරකරුවන්ට අතුරු තහනම් දැන්වීම් නිකුත් කළේය. වාරණ නියෝගය දීර්ඝකර නඩුව අතුරු තහනමක් නිකුත් කිරීමේ නඩු විභාගයට තැබීමට විරුද්ධව වගඋත්තරකාර කොමිෂම සිවිල් අභියාචනා මහාධිකරණයට අභියාචනා පෙත්සමක් ගොනු කළේය.

අදාළ අභියාචන පෙත්සමට මයික්‍රෝ හෝල්ඩින්ස් සමාගම විරෝධතා ඉදිරිපත් කිරීම හේතුවෙන් වාරණ නියෝගය අත්හිටුවීමේ නියෝගයක් අභියාචනාධිකරණය නිකුත් නොකළ අතර පාර්ශ්වකරුවන්ට සිය ලිඛිත කරුණු අද (12) දින ඉදිරිපත් කරන ලෙස නියෝග කළේය.

මයික්‍රෝ සමාගම වෙනුවෙන් නීතිඥ දිල්ශාන් ජයසූරිය, හිරාන් ජයසූරිය හා චානක මානවඩු මහත්වරු පෙනී සිටියහ.

විදුලි සංදේශ නියාමන කොමිෂම වෙනුවෙන් ‍ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා හා එරාජ් ද සිල්වා මහත්වරු ද චීන සමාගම වෙනුවෙන් නීතිඥ පාලිත කුමාරසිංහ මහතා ද පෙනී සිටියහ.


අදහස් 1ක් ඇත

නව අදහස දක්වන්න