මූල්‍ය විමර්ශන කොට්ඨාසය ගැන කරුණු දක්වන්න නීතිපතිට අවස්ථාවක් | දිනමිණ

මූල්‍ය විමර්ශන කොට්ඨාසය ගැන කරුණු දක්වන්න නීතිපතිට අවස්ථාවක්

මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය සහ එය ස්ථාපිත කළ ගැසට් නිවේදනය පිළිබඳ කරුණු දැක්වීමට නීතිපතිවරයාට අවස්ථාවක් ලබාදීමට තීරණය කළ අභියාචනාධිකරණය එම කොට්ඨාසය සහ එය පිහිටවූ ගැසට් නිවේදනයට එරෙහිව ගොනුකළ පෙත්සම් සම්බන්ධ නොතිසි නීතිපතිවරයාට ලබා දෙන ලෙස ඊයේ (11) නියෝග කෙළේය.

මූල්‍ය අපරාධ කොට්ඨාසය මේ වන විට සමාජ කතා බහට ලක්වන සහ බලපෑමක් කරන මාතෘකාවක් බවට පත්ව ඇති බැවින් ඒ සම්බන්ධ තීන්දුවක් හෝ නියෝගයක් ලබාදීමට පෙර පුළුල් කරුණු විමසීමක් කළ යුතු බවට අධිකරණය තීරණය කෙළේය. පෙත්සම සම්බන්ධ නොතීසි අධිකරණය මඟින් නිකුත් කිරීමට පෙර කරුණු දැක්වීමට නීතිපතිවරයා ඇතුළු වගඋත්තරකරුවන්ට අවස්ථාව දිය යුතු බවට තීරණය විය.

ඒඅනුව එම පෙත්සම් සහ නොතීසි නීතිපතිවරයා වෙත කඩිනමින් ලබාදීමට පෙත්සම්කරුවන්ගේ නීතිඥවරයා එකඟතාව පළ කෙළේය.

පෙත්සම් ජුනි මස 17 වැනිදා කැඳවීමට ද තීරණය විය. අභියාචනාධිකරණ සභාපති විනිසුරු විජිත් මලල්ගොඩ මහතා සහ විනිසුරු එච්.සී. ජේ. මඩවල මහත්මිය ඉදිරියෙහි මෙම පෙත්සම කැඳවන ලදී. ඇල්ලේ ගුණවංශ හිමියන් සහ මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා සහ කලාකරුවකු වන රොහාන් වැලිවිට මහතා විසින් මෙම පෙත්සම් ගොනු කර තිබුණි.

පොලිස්පතිවරයා පෙත්සම්වල වගඋත්තරකරු වේ.

පෙත්සම්කරුවන් සඳහන් කරන පරිදි පසුගිය රජය සමයේ සිදුකළ වංචා දූෂණ විමර්ශනය කිරීම සඳහා ඉකුත් පෙබරවාරි මස 13 වැනිදා පොලිස්පතිවරයා විසින් වෙනම පොලිස් ඒකකයක් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය නමින් පිහිටුවා තිබේ.

ඒ සඳහා වන ගැසට් නිවේදනය 1901/20 දරන අංකය යටතේ නිකුත් කර ඇත. පොලිස් ආඥා පනතේ 55 වගන්තිය යටතේ එවැනි ඒකකයක් පිහිටුවීමට පොලිස්පතිවරයාට බලයක් නැතැයි පෙත්සම් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා සඳහන් කෙළේය. විමර්ශන කොට්ඨාසය පිහිටවූ අරමුණ සම්පූර්ණයෙන් දේශපාලනික බවට පෙත්සම්කරුවන්ගේ නීතිඥවරයා සඳහන් කෙළේය. දූෂණ, මූල්‍ය අපරාධ ඇතුළු කරුණු සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා වෙනම පොලිස් ඒකක සහ ආයතන තිබියදී වෙනත් කොට්ඨාසයක් කැබිනට් තීරණයක් මත ගැසට් මගින් ස්ථාපිත කිරීම නීතිවිරෝධී බවට පෙත්සම්කරුවන් වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නීතිඥ උදිත ඉහළහේවා මහතා සඳහන් කෙළේය. එය පොලිස් ආඥාපනතට මෙන්ම පවතින නීතියටද පටහැනිව කටයුතු කිරීමක් බවට ඒ මහතා සඳහන් කෙළේය.

එබැවින් එය නීතිවිරෝධී බවට ප්‍රකාශ කරන ලෙස ඔහු ඉල්ලා සිටියේය.


නව අදහස දක්වන්න