ලක්ෂ 30ක කප්පම් ගන්න දරුවකු පැහැරගෙන - පියා ලක්ෂ 10ක් දී දරුවා බේරාගනී | දිනමිණ

ලක්ෂ 30ක කප්පම් ගන්න දරුවකු පැහැරගෙන - පියා ලක්ෂ 10ක් දී දරුවා බේරාගනී

විජයානි එදිරිසිංහ

වව්නියාව ප්‍රදේශයේ දී පෙරේදා (10) දහවල් පස්හැවිරිදි දරුවකු පැහැරගෙන ගිය කණ්ඩායමක් දරුවා ආපසු ලබාදීම සඳහා රුපියල් ලක්ෂ තිහක මුදලක් ඉල්ලා තිබේ. මුදල් නොදුන්නහොත් හෝ පොලිසියට දැන්වුවහොත් දරුවා මරා දමන බවට එම කණ්ඩායම විසින් තර්ජනය කළ නිසා දරුවාගේ පියා ඒ පිළිබඳ පොලිසියට පැමිණිලි කර නැත.

පසුව ඊයේ පස්වරු වන විට දරුවාගේ පියා රුපියල් ලක්ෂ 30 ලබාදීමට නොමැති බව පවසා එය රුපියල් ලක්ෂ 10 දක්වා අඩු කරගෙන තිබේ. එම මුදල් වව්නියාව අයිස් ක්‍රීම් පාරට ගෙන එන ලෙසට කළ දැනුම්දීම මත දරුවාගේ පියා එම මුදල් රැගෙන එහි ගොස් ඇත. අනතුරුව ‍එම මුදල් පාර්සලය අසල කැලයකට විසිකර ඉදිරියට යන ලෙසට දැනුම් දීමෙන් පසු පියා ඒ ආකාරයෙන්ම මුදල් වීසි කර ඉදිරියට යන විට දරුවා එම මාර්ගයේ ඉදිරිපස ස්ථානයක සිට මුණ ගැසී තිබේ.

අනතුරුවා දරුවාගේ පියා එම සිද්ධිය වව්නියාව පොලිසියට දැනුම් දී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී නීතිඥ රුවන් ගුණසේකර මහතා කීය.


නව අදහස දක්වන්න